චෙන්නායි දුම්රියේ බෝම්බ
පිපිරීම ජයලලිතා වසන් කිරීම

තමිල්නාඩුවේ චෙන්නායි දුම්රිය ස්‌ථානයේ නතර කර තිබූ බැංගලෝර් - ගුහාවති සීග්‍රගාමී දුම්රියේ සිදු වූ ද්විත්ව බෝම්බ පිපිරීම සම්බන්ධව නවදිල්ලි විමර්ශන කාර්යාංශයේ සහය තමිල්නාඩු රජය ප්‍රතික්‍ෂේප කළේ මන්ද යන්න ගැන දැඩි සැකයක්‌ මතු වී ඇත.

මෙම පිපිරීමෙන් එක්‌ කාන්තාවක්‌ මියගියාය. මේ නිසා නවදිල්ලි ත්‍රස්‌ත කාර්යාංශය එකී පිපිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පිළිබඳව තොරතුරු විමසුවත් එකී තොරතුරු ලබා දීම ප්‍රතික්‍ෂේප කර තිබේ. නව දිල්ලියට මෙම බෝම්බ පිපිරීමට අදාළ තොරතුරු ලබා දීමට මහ ඇමැතිනි ජයලලිතා මුළුමනින්ම එරෙහි විය. මේ වන විට හෙළිවී ඇත්තේ අල්උම්මා නැමැති ඉස්‌ලාමීය අන්තවාදී සංවිධානය ඊට සම්බන්ධ බවයි. මේ පසුබිම මැද ත්‍රස්‌ත ජාලයකට සම්බන්ධ බව කියන මුස්‌ලිම් ජාතිකයෙකු චෙන්නායිහිදී අසු විය. මොහු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්‍ෂයේ දේශපාලකයෙකු වූ ගනේෂන් ශ්‍රී ලංකාව අන්තවාදීන් පුහුණු කරන බව පළ කළේය. එහෙත් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා එකී චෝදනාව මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. ශ්‍රී ලංකාවට එරෙහි කොටි හිතවාදීන් රැසක්‌ තමිල්නාඩුවේ සිටින බව රහසක්‌ නොවේ. මෙම බෝම්බ පිපිරීම ගැන අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට අදාල තොරතුරු තමිල්නාඩු පොලිසියද හෙළි කර නොතිබීමෙන් එය මැතිවරණයට සමගාමීව දියත් වූ මෙහෙයුමක්‌ද යන්න දැඩි සැකයක්‌ පවතී. මෙහිදී සනාථ වූයේ තමිල්නාඩු මහඇමැතිනී ජයලලිතා ත්‍රස්‌තවාදී ක්‍රියා සමග දේශපාලන ක්‍රියාවේද යෙදී සිටින බවයි. ඉන්දීය ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය චෙන්නායි බෝම්බ පිපිරීමට අදාළ තොරතුරු ඉල්ලා සිටියත් තමිල්නාඩු පොලිසිය එකී තොරතුරු සපයා නැත. ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ පැවසූවේ තමිල්නාඩු පොලිසිය කිසිදු තොරතුරක්‌ ලබා දීමට එකඟ වූයේ නැති බවයි.

මේ පසුබිම මැද මහ ඇමැතිනි ජයලලිතා තවදුරටත් පවසන්නේ තමිල්නාඩුවේ නීතිය හා සාමය රැකීමේ කටයුතුවලට නවදිල්ලියේ මැදිහත්වීමක්‌ අවශ්‍ය නැති බවයි.

ඇගේ මෙම ප්‍රකාශය නවදිල්ලි පාලනයට එල්ල වූ අභියෝගයකි. ඇය රජිව් ගාන්ධි ඝාතනයට අදාළ කොටි ක්‍රියාකාරීන්ව මුදා හැරීමට උත්සාහ කළාය. තමිල්නාඩුවට පැමිණි ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට කොටි හිතවාදීන් හිරිහැර කරද්දී ඇය බලා සිටියාය.

මේ තත්ත්වය මැද ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාවට ඡන්දය දීමෙන් වැලකීමට ඉන්දීය රජය ක්‍රියා කිරීම ඇගේ නොසතුටට හේතු විය.

මේ අතර කොටි සංවිධාන 15 ක්‌ හා කොටි හිතවාදීහු 425 ක්‌ තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයට එරෙහිව ඉන්දීය රජය සහය පළකිරීම ගැනද ඇගේ විවේචනයට හේතු විය.

මේ තත්ත්වය මැද භාරතීය ජනතා පක්‍ෂය පැවසුවේ අගමැති අපේක්‍ෂක නරේන්ද්‍ර මෝඩි එල්ල කර එකී බෝම්බ පිපිරීම සිදු වූ බවයි. එහෙත් ඊට අදාළ සාධක සනාථ වී නැත.

එහෙත් සනාථ වන ප්‍රධාන කරුණ නම් ඇය ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියානු බලධාරීන් තුළ ගිනි ඇවිලවීමට දරන උත්සහයයි.

චෙන්නාහි පිපිරවීම් සිදු කළේ කවුදැයි සොයා ගැනීම ඉන්දීය " රෝ" බුද්ධි සේවාවට දුෂ්කර කාර්යක්‌ නොවේ.

මේ වන විට හෙළි වී ඇති තොරතුරු නම් දුම්රිය තුළ පිපිරී ඇත්තේ කාල බෝම්බ බවයි. බුද්ධගයා ඓතිහාසික ප්‍රදේශයේ පිපිරී ගියේද එවැනි කාල බෝම්බයි. මෙවන් පසුබිමක්‌ මැද චෙන්නායිහි දුම්රිය තුළ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් තොරතුරු මැතිවරණයෙන් පසුව හෙළි වීමට ඉඩ තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.