කොටස්‌ වෙළෙඳපොළ අර්බුදය!

කලක්‌ තිස්‌සේම පසුබෑමට ලක්‌ව තිබෙන ශ්‍රී ලංකාවේ කොටස්‌ වෙළෙඳපොළ, ළඟදී ගොඩ එන ලකුණු ද පෙනෙන්නට නැත. මෑත අතීතයේ සිදුවූ ඇතැම් සිදුවීම් නිසා බිඳවැටුණු අපේ කොටස්‌ වෙළෙඳපොළ පිළිබඳ මහජන විශ්වාසය ද තවමත් යථා තත්ත්වයට පත්වීද නැත. එය යථා තත්ත්වයට පත් කරන්නට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ඇතුළු බලධාරීන්ට සැබෑ වුවමනාවක්‌ තිබේද? බිඳ වැටී ඇති අපේ කොටස්‌ වෙළෙඳපොළ ගොඩගන්නට සුරැකුම්පත් හා විනිමය කොමිසම සහ කොළඹ ව්‍යාපාර වස්‌තු හුවමාරුව යම් යම් දේ සිදු කරමින් තිබෙන බවද ඇත්තය. එහෙත් ඒවායේ නිසි ප්‍රතිඵල ලැබෙන බවක්‌ද නොපෙනේ. මේ නිසා අපේ කොටස්‌ වෙළෙඳපොළේ පසුබෑම තවදුරටත් ඉදිරියට ඇදී යමින්ද තිබේ. යුද ජයග්‍රහණයෙන් පසු ලෝකයේ හොඳම කොටස්‌ වෙළෙඳපොළ කිහිපය අතරට එක්‌ව තිබූ අපේ කොටස්‌ වෙළෙඳපොළට මේ සිදුව ඇත්තේ කුමක්‌ද? එසේම බිඳ වැටී කොටස්‌ වෙළෙඳපොළ ගොඩගැනීම (පුබුදුවාලීම) සඳහා අපට කළ හැක්‌කේ කුමක්‌ද? මෙවර 'ආර්ථික ඇසින්' තීරුවෙන් අපගේ අවධානය යොමු වන්නේ ඒ ගැනය.

කොටස්‌ වෙළෙඳපොළේ පවතින බිඳවැටීම ගැන කතා කිරීමට පෙර ඊට තුඩු දුන් කොටස්‌ වෙළෙඳපොළ පිළිබඳ ඇති මහජන විශ්වාසය පළුදු කිරීමට හේතුවූ මෑතකාලීන පසුබිම ගැන ද අප අවධානය යොමු කළ යුතුමය. කොටස්‌ වෙළෙඳපොළ නියාමනය කරන රාජ්‍ය ආයතනය සුරැකුම්පත් හා විනිමය කොමිසමයි. මේ කොමිසමට වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින්ම පත් කළ සභාපතිවරුන් දෙදෙනකුටම ස්‌වාධීනව රාජකාරී කටයුතු කළ නොහැකිව ඉල්ලා අස්‌වන්නට සිදුවූ බව අපට මතකය. ඉන්ද්‍රdනි සුගතදාස මහත්මිය සහ තිලක්‌ කරුණාරත්න මහතා එම හිටපු සභාපතිවරුන් දෙදෙනායි. 2011 වසරේ අගදී සභාපති ධුරයෙන් ඉල්ලා අස්‌ වූ ඉන්ද්‍රdනී සුගතදාස මහත්මියගෙන්, ඇයගේ ඉල්ලා අස්‌වීමට හේතුව කුමක්‌දැයි මේ ලියුම්කරු විමසූ විට ඇය පිළිතුරු දුන්නේ මෙසේය.

"තවදුරටත් හෘදය සාක්‍ෂියට එකඟව කටයුතු කරන්නට බැරි පරිසරයක්‌ උදාවෙලා තියෙන නිසා මම ඉල්ලා අස්‌වෙනවා. මේක මගේ පෞද්ගලික තීරණයක්‌ නෙවෙයි".

බලපෑම් නිසා ඉල්ලා අස්‌ වන බවත් එය තමාගේ පෞද්ගලික තීරණයක්‌ නොවන බවත් ඇය ඒ අවස්‌ථාවේදී පැහැදිලිවම කියා සිsටියාය. ඉන්පසු සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයා ලෙස පත් කළේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන තිලක්‌ කරුණාරත්න මහතාය. ඔහුද කොටස්‌ වෙළෙඳපොළ අල්ලේ නැටවීමට උත්සාහ කරන ව්‍යාපාරිකයන් කිහිපදෙනකුට අවශ්‍ය පරිදි කටයුතු කරනු වෙනුවට සමස්‌ත කොටස්‌ වෙළෙඳපොළේ යහපත වෙනුවෙන් සහ ලොකු පොඩි සියලු ආයෝජකයන්ගේ සුබසෙත වෙනුවෙන් කටයුතු කරන ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළේය. ඒ වනවිට කොටස්‌ වෙළෙඳපොළ අක්‍රමිකතාවලට අදාළ බොහෝ විමර්ශන ද අඩපණව පැවතිණි. තිලක්‌ කරුණාරත්න මහතා සභාපතිවරයා වීමෙන් පසු ඒවා ද යළි ආරම්භ කිරීමට කටයුතු කළේය. එහෙත් රජයේම බලවත් නිලධාරිනියක වූ ඉන්ද්‍රdනි සුගතදාස මහත්මියට ඉල්ලා අස්‌වන තැනට වැඩ සිද්ධ කළ අයගේ සතුටට මෙය හේතු නොවීය. කොටස්‌ වෙළෙඳපොළ අක්‍රමිකතාවලට එරෙහිව සුරැකුම්පත් හා විනිමය කොමිසම විමර්ශන ආරම්භ කිරීම නිසා නොසතුටට පත් වූ ඔවුන් 'අධි නියාමනය' යන බොරු චෝදනා ඉදිරිපත් කරමින් තිලක්‌ කරුණාරත්න මහතාටද ඉල්ලා අස්‌වන තැනට වැඩ සිද්ධ කළේය. කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්‌වන්නේ මන්දැයි මේ ලියුම්කරු ඒ අවස්‌ථාවේදී කරුණාරත්න මහතාගෙන් ද විමසා සිටියේය. ඔහු මේ ලියුම්කරුට ලබා දුන් පිළිතුර මෙසේය.

"කොටස්‌ වෙළෙඳපොළ කාපු ආයෝජකයන් සහ තැරැව්කරුවන් ඉතාම සුළු පිරිසකගෙන් තමාට එල්ල වී ඇති දැඩි බලපෑම් හේතුවෙන් ස්‌වාධීනව රාජකාරි කටයුතුq= කළ නොහැකි නිසා මම ඉල්ලා අස්‌වන්නට තීරණය කළා. කොටස්‌ වෙළෙඳපොළ අක්‍රමිකතා කරන පුද්ගලයන්ට එරෙහිව විමර්ශනය කිරීමට සහ ඒ අනුව අදාළ පුද්ගලයන් උසාවි ගෙන යැමට පනතට අනුව සුරැකුම්පත් හා විනිමය කොමිසමට ඇති අයිතියට බාධා කරනවා නම්, ඒ අනුව එම අයිතිය ස්‌වාධීනව ඉටු කළ නොහැකි නම් තවදුරටත් මේ තනතුරේ මම ඉන්න එකේ තේaaරුමක්‌ නැහැ."

මේවා තරමක්‌ පැරණි කතා විය හැකි නමුත් කොටස්‌ වෙළෙඳපොළ පිළිබඳ මහජන විශ්වාසය පළුදුවීමට මේ සිදුවීම් බරපතල ලෙස හේතු වූ බව අපේ හැඟීමයි. එම බිඳවැටුණු මහජන විශ්වාසය අද වනතෙක්‌ යථා තත්ත්වයට පත්වී නැත. අපේ කොටස්‌ වෙළෙඳපොළ පසුබෑමට ලක්‌වීමට අඩුවැඩි වශයෙන් හේතු වූ කරුණු අතර මේ මහජන විශ්වාසය පළුදුවීම ද ප්‍රධානතම කරුණක්‌ බව අපි කියා සිටිමු. මේ සිදුවීම්වලටත් පෙර සිටම කොටස්‌ වෙළෙඳපොළ පිළිබඳ අහිතකර මත සමාජගතව තිබුණු බව රහසක්‌ නොවේ. 'කොටස්‌ වෙළෙඳපොළ හොර ගුහාවක්‌" "කොටස්‌ වෙළෙඳපොළ කියන්නේ කිහිප දෙනෙක්‌ගේ සූදුවක්‌" වැනි එම මත වෙනස්‌ කිරීමට මාධ්‍යවේදීන් වශයෙන් අප ද කලක්‌ තිස්‌සේම කටයුතු කරමින් සිටියත්, මෑත අතීතය තුළ සිදුවූ ඉහත සඳහන් සිදුවීම් නිසාත්, එහිදී ඉල්ලා අස්‌වූ සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරුන් දෙදෙනෙක්‌ම රටට කියා සිටි කරුණුත් සලකන විට සමාජය තුළ පවතින එම අදහස්‌ සත්‍ය ලෙස පිළිගැනීමට සිදු වන අතරම ඒ බව මහජනතාවට කීමටද අපට සිදුවේ. මේ නිසා අපේ කොටස්‌ වෙළෙඳපොළෙන් සුළුÊපරිමාණ ආයෝජකයන් විශාල පිරිසක්‌ ඈත් වී සිටින අතර සමාගම් කොටස්‌ මිල ගණන් පහත වැටීමෙන් ඔවුන් ආයෝජනය කළ මුදල්වල වෙළෙඳපොළ වටිනාකම ද විශාල වශයෙන් අඩු වී තිබේ. සාමාන්‍ය ආයෝජකයන්ට පමණක්‌ නොව සේවක අර්ථසාධක අරමුදල විසින් කොටස්‌ වෙළෙඳපොළේ ආයෝජනය කළ වැඩ කරන ජනයාගේ මුදල්වලට ද අද දිනයේ මේ ඉරණම අත්ව තිබේ. අප සාකච්ඡා කළ කොටස්‌ වෙළෙඳපොළ පිළිබඳ මහජන විශ්වාසය පළුදු වීමට තුඩු දුන් මේ පසුබිම තුළ පසුගිය වසරවල කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ ක්‍රියාකාරීත්වය පිළිබඳව (වගුව බලන්න) අපි සලකා බලමු.

යුද ජයග්‍රහණයෙන් පසු කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ මිල දර්ශක ශීඝ්‍රයෙන් ඉහළ ගිය අයුරු අපට මතකය. අප යුද ජයග්‍රහණය ලැබුවේ 2009 මැයි මාසයේදීය. එම වසරේ (2009) අවසන් වනවිට කොටස්‌ වෙළෙඳපොළේ සමස්‌ත මිල දර්ශකය 3385.6 ක්‌ දක්‌වා සියයට 125.3 කින් වර්ධනය වී තිබිණි. ඉන්පසු 2010 වර්ෂයේදී ද සමස්‌ත කොටස්‌ මිල දර්ශකය 6635.9 ක්‌ දක්‌වා සියයට 96 කින් ඉහළ ගියේය. සමස්‌ත කොටස්‌ මිල දර්ශකය පමණක්‌ නොව සෙසු වෙළෙඳපොළ දර්ශකයක්‌ ද 2009 සහ 2010 යන වසරවලදී පෙන්නුම් කළේ ඉහළ ප්‍රගතියකි. එහෙත් 2011 වසරේදී සමස්‌ත කොටස්‌ මිල දර්ශකය 6074.4 ක්‌ දක්‌වා සියයට 8.5 කින් සහ මිලංකා මිල දර්ශකය සියයට 26කින් ද පහත වැටිණි. 2009 සහ 2010 යන වසර දෙකේදී කොටස්‌ වෙළෙඳපොළේ දක්‌නට තිබූ ප්‍රගතිය හමුවේ ඉහළ ගිය කොටස්‌ මිල ගණන් 2011 වසරේ මැද භාගයේදී එහි උපරිම අගයන් දක්‌වා ඉහළ ගියේය. එහෙත් ඉන්පසු කොටස්‌ වෙළෙඳපොළ පසුබෑමට ලක්‌වෙමින් සමාගම්වල කොටස්‌ මිල ගණන් ද දිගින් දිගටම පහළ යන්නට පටන් ගත්තේය. මේ අනුව 2012 වසරේදී කොටස්‌ වෙළෙඳපොළ් සමස්‌ත මිල දර්ශකය 5643 දක්‌වා සියයට 7 කින් අඩුවී, ගිය වසරේ (2013) දී 5912.8 ක්‌ දක්‌වා සියයට 4.9 කින් ඉහළ ගියේය. එහෙත් 2013 වසරේදී මේ වැඩිවීම වාර්තා කළේ ආසන්න වශයෙන් සියයට 16 ක පසුබෑමක්‌ පෙන්නුම් කළ අනුගාමී වසර දෙකකට පසුවය. ඒ නිසා ගිය වසරේ (2013) අපේ කොටස්‌ වෙළෙඳපොළ මිල දර්ශකවල යම් ප්‍රගතියක්‌ දක්‌නට ලැබුණත්, අපේ කොටස්‌ වෙළෙඳපොළ තවමත් පවතින්නේ දැඩි පසුබෑමක බව අපගේ අදහසයි. සමස්‌තයක්‌ ලෙස පහත වැටුනු සමාගම් කොටස්‌ මිල ගණන් ද තවමත් යථා තත්ත්වයට පත්වී නොමැති වීමෙන් ද එය පැහැදිලි වේ.

සමස්‌ත කොටස්‌ මිල දර්ශකය සුළු වශයෙන් ඉහළ ගියත් ගිය වසරේ (2013 දී) වෙළෙපොළ පිරිවැටුමට අදාළ කොටස්‌ වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වයේ පහළ යැමක්‌ද වාර්තා විය. ඒ අනුව ගිය වසරේ වාර්තා වූ කොටස්‌ වෙළෙ¹පොළේ සමස්‌ත පිරිවැටුම රු. බිලියන 200.4 ක්‌ විය. එය 2012 වසරේ සමස්‌ත පිරිවැටුම වූ රු. බිලියන 213.8 ට සාපේක්‍ෂව සියයට 6.2 ක අඩුවීමකි. 2012 වසරේදී රු. මිලියන 884 ක්‌ වූ සාමාන්‍ය දෛනික පිරිවැටුමද , 2013 වසරේදී රු. මිලියන 828 දක්‌වා පහළ ගියේය. සාමාන්‍ය දෛනික පිරිවැටුම පහළ යැමත් සමඟ 2013 වසරේදී වෙළෙඳපොළ ද්‍රවශීලතාව ද අඩුවූ අතර ගනුදෙනු කොටස්‌වල සාමාන්‍ය දෛනික පරිමාව සහ සිදුවූ ගනුදෙනු ප්‍රමාණයේ සාමාන්‍ය ද අඩු විය. විශේෂයෙන්ම සුළු පරිමාණ ආයෝජකයන්ගේ ක්‍රි්‍රයාකාරීත්වය අඩුවීමද මේ සඳහා සැලකිය යුතු ලෙස බලපා තිබේ.

කොටස්‌ වෙළෙඳපොළේ පමණක්‌ නොව බැංකු ඇතුළු වෙනත් ඕනෑම මූල්‍යායතනයක මුදල් තැන්පත් කිරීමේදී ද මහජන විශ්වාසය අංක එකට බලපාන ප්‍රධාන කරුණකි. යම් බැංකුවක්‌ හෝ මුල්‍යායතනයක්‌ පිළිබඳ විශ්වාසයක්‌ නැත්නම් එවැනි ආයතනයක මහජනයා මුදල් තැන්පත් කරන්නේ නැත. එසේම යම් ආයතනයක්‌ පිළිබඳ විශ්වාසය බිඳ වැටුණහොත් තමන් තැන්පත් කළ මුදල් ද නැවත ලබා ගන්නට මහජනයා පෙළැඹේ. කොටස්‌ වෙළෙඳපොළ සම්බන්ධයෙන් ද මේ 'විශ්වාසය' යන කරුණ ප්‍රබල සාධකයකි. දෙතුන් දෙනෙකුගේ සූදුවකට අසුවී තමන්ගේ අතේ තියෙන තුට්‌ටු දෙකක්‌ නැති කර ගන්නේ කුමටදැයි කොටස්‌ වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින සුළු පරිමාණ ආයෝජකයන්ට සිතෙනවා විය හැකිය. දැනටමත් කොටස්‌ මිලදී ගෙන සිටින ආයෝජකයන් ළතැවෙමින් සිටින්නේ තමන් මිලදී ගත් සමාගම් කොටස්‌aවල මිල ගණන් විශාල ලෙස පහත වැටීම පිළිබඳවය. ඔවුන්ට මේ අවස්‌ථාවේ තම කොටස්‌ විකිණීමට සිදුවන්නේ විශාල ප්‍රාග්ධන අලාභයන් සහිතවය. ඒ නිසා ඔවුහු තම කොටස්‌වල වෙළෙඳපොළ මිල ඉහළ යන තෙක්‌ කොටස්‌ වෙළෙඳපොළ දෙස කලක සිටම බලා සිටිති. එහෙත් එවැන්නක්‌ සිදුවන බවක්‌ ද පෙනෙන්නට නැත. මේ අතරම ඇතැම් සුළු පරිමාණ ආයෝජකයන් පාඩුවට තම කොටස්‌ විකුනා කොටස්‌ වෙළෙඳපොළෙන් ඉවත්ව ගොසිනි.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ ව්‍යාපාර වස්‌තු හුවමාරුව කොටස්‌ වෙළෙඳපොළ ඉහළ නංවා ගැනීමට සහ ලියාපදිංචි සමාගම් ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට නොයෙකුත් පියවර ගනිමින් සිටින්නේ මෙවන් පසුබිමකය. මහජනයාට පමණක්‌ නොව සමාගම්වලටද කොටස්‌ වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශ්වාසයක්‌ තිබිය යුතුය. සත්‍ය කුමක්‌ වුත් අපේ කොටස්‌ වෙළෙඳපොළ තුළ අක්‍රමිකතා සිදුවන බවටත්, ඒ අක්‍රමිකතාවලට නිසි පියවර නොගන්නා බවටත් සමාජය තුළ පැතිර ඇති අදහස, කොටස්‌ වෙළෙඳපොළ ප්‍රගතියට හානිකර ලෙස බලපා තිබේ. ඒ නිසා අපගේ අදහස වන්නේ කලක්‌ තිස්‌සේම පසුබෑමට ලක්‌ව තිබෙන අපේ කොටස්‌ වෙළෙඳපොළ ගොඩගැනීමේ ප්‍රබල මෙහෙයුමක්‌ අවශ්‍ය බවයි. නව සමාගම්, කොටස්‌ වෙළෙඳපොළට ආකර්ෂණය කර ගැනීමට මෙන්ම කොටස්‌ වෙළෙඳපොළ පිළිබඳ බිඳ වැටී ඇති මහජන විශ්වාසය යළි ගොඩනැඟීමටද මෙවැනි ප්‍රබල මෙහෙයුමක්‌ අවශ්‍යය. එවැන්නකින් තොරව පසුබෑමට ලක්‌ව ඇති අපේ කොටස්‌ වෙළෙඳපොළ යළි ප්‍රගතිය කරා ගෙන යැමට දරන ප්‍රයත්නය එතරම් ප්‍රතිඵලදායී වනු ඇතැයි සිතිය නොහැකි බව ද කනගාටුවෙන් වුවත් කීමට අපට සිදු වන්නේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.