අලුත්ගම දුම්රිය ස්‌ථානයේදී
එකම පීල්ලේ ගිය තවත්
කෝච්චි දෙකක්‌ ගැටෙයි
වේගය අඩු කළ යුතු සංඥ සලකා නැහැ!

අකිත පෙරේරා, කළුතර - විජයසිරි විද්‍යාසේකර, වාද්දුව - සිරිසෝම සුසෙව්හේවා, බෙන්තොට - දර්ශන කරුණාරත්න, ඡායාරූප-බේරුවල අතිරේක - තරිඳු,

තෙල් ටැංකි දුම්රියක්‌ අලුත්ගම දුම්රිය ස්‌ථානයේ දෙවැනි වේදිකාවේ නවතා තිබූ බලවේග දුම්රියක පසුපස ගැටීමෙන් එම බලවේග දුම්රියෙන් මැදිරි දෙකක්‌ පීලි පැන ඇති අතර මේ හේතුවෙන් ඊයේ (7 දා) මාතර සිට කොළඹ බලා පැමිණෙන කාර්යාල දුම්රියවල තරමක ප්‍රමාදයක්‌ ඇතිවිණි.අනතුර සිදුවන අවස්‌ථාවේදී එම ටැංකිවල ඉන්ධන තිබී නැත.

මෙම අනතුර ඊයේ (7 දා) අලුයම එකට පමණ සිදුව තිබේ. ගාල්ල සිට පැමිණි හිස්‌ තෙල් ටැංකි සහිත දුම්රිය ඊයේ (7 දා) අලුයම 3.50 ට අලුත්ගම සිට කොළඹ බලා ධාවනය කිරීම සඳහා නතර කර තිබූ 304 දරණ බලවේග දුම්රියෙහි පසුපස ගැටී ඇත.

දුම්රිය ස්‌ථානයේ දුම්රිය නතර කර තිබෙන බැවින් වේගය අඩාල කොට ධාවනය කළ යුතු බව හැඟවෙන සංඥ ඒ වන විට ලබාදී තිබියදීත් එය නොතකා තෙල් ටැංකි දුම්රිය පැමිණි වේගයෙන්ම ධාවනය කර ඇතැයි දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට කීය.

අනතුර හේතුවෙන් තෙල් ටැංකි දුම්රියේ රියෑදුරු කේ. එච්. මුණසිංහ මහතා පමණක්‌ සුළු තුවාල ලබා සීනවත්ත රෝහලෙන් බාහිර ප්‍රතිකාර ලබා පිටව ගොස්‌ ඇත. මෙහිදී දුම්රිය මාර්ගයටද හානි සිදුව ඇත.

කෙසේ වෙතත් අනතුර සිදුවන විට අලුත්ගම දුම්රිය ස්‌ථානයේ සේවය කරමින් සිටි සංඥකරු අනතුරින් පසු අතුරුදන්ව ඇත.

අනතුර හේතුවෙන් දුම්රිය දෙකටම හානි සිදුව ඇත. ඊයේ (7 දා) අලුයම කොළඹ සිට පැමිණි ආපදා දුම්රියක්‌ අනතුරට පත් දුම්රිය නැවත පිළිගත කොට ගමනාගමනයට ඉඩ ලබාදී ඇත. හිස්‌ තෙල් ටැංකි සහිත දුම්රියද ඉඳුරුව දුම්රිය ස්‌ථානය වෙත ගෙන ගොස්‌ තිබේ.

අනතුර පිළිබඳව සොයා බැලීමට ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ද නියෝජ්‍ය ඇමැති රෝහණ කුමාර දිසානායක මහතාද, දුම්රිය බලධාරීන්ද එම ස්‌ථානයට ගොස්‌ ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව පරීක්‍ෂණයක්‌ ද පැවැත්වීමට නියමිතය.

ඡායාරූප බේරුවල අතිරේක - තරිඳු

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.