ලෝක රතුකුරුස දිනය අද

ලොව පුරා රටවල් 189 ක ජාතික රතු කුරුස සමාජ, රතු අඩසඳ සමාජයන්, අන්තර් ජාතික රතු කුරුස කමිටුව හා අන්තර් ජාතික රතු අඩසඳ සමාජ සම්මේලනය, ලෝක රතුකුරුස හා රතු අඩසඳ දිනය ලෙස සෑම වසරකම මැයි 08 දා සමරයි. ලෝක රතුකුරුස හා රතු අඩසඳ දිනය යෙදී ඇත්තේ රතුකුරුස නිර්මාතෘ හෙන්රි ඩුනාන්ට්‌ මහතාගේ ජන්ම දිනය මැයි 08 දාට යෙදී ඇති බැවිනි.

මෙම දිනය සැමරීම තුළින් එදා මෙදා තුර රතුකුරුස ව්‍යාපාරය ලොව පුරා බිලියන ගණනක ජනතාව වෙත සිදු කරන ලද මානුෂීය මෙහෙවර සිහිපත් කිරීම සහ ඒ වෙනුවෙන් තම ශ්‍රමය ධනය කැපකළ සාමාජික සාමාජිකයන් සිහිපත් කිරීම සිදු වේ.

1859 ඉතාලියේ සොල්µරිනෝ සටනේදී තුවාල ලත් සොල්දාදුවන් දුක්‌ වේදනා විඳිමින් සිටි අයුරු හෙන්රි ඩුනාන්ට්‌ සියෑසින් දුටුවේය. යුද්ධයේදී තුවාල වූ හා රෝගාතුර වූ අයටත්, අන් අයට මෙන් මානුෂීයව සැලකිය යුතු බවට ලොවට ඒත්තු ගැන්වීමට ඔහුට අවශ්‍ය විය. එම අදහසින් ඔහු ඇරැඹි රතුකුරුස ව්‍යාපාරය එතැන් සිට ලොව මානුෂ ආධාර සපයන විශාලතම සංවිධාන ජාලය බවට පත්විය.

මෙම සංවිධානයේ මෙහෙවර අගය කරමින් ප්‍රථම නොබෙල් ත්‍යාගය හෙන්රි ඩුනාන්ට්‌ හා ප්‍රංශ ජාතික ෙµඩ්රික්‌ යන අයට ප්‍රදානය කෙරිණි. මීට අමතරව 1917 හා 1944 අන්තර් ජාතික රතුකුරුස සංවිධානය උපහාරයක්‌ ලෙසද නොබෙල් ත්‍යාග පිරිනමා ඇත.

1936 සිට තම මානුෂීය මෙහෙවර ඉටුකරමින් සිටින ශ්‍රී ලංකා රතු කුරුස සමාජය 2002 වසරින් පසු තම සමාජ සත්කාරය නොයෙක්‌ පැතිකඩ ඔස්‌සේ පුළුල් කරමින් තම මානුෂවාදී මෙහෙවර වේගවත් හා වඩාත් සංවිධානාත්මකව සිදු කරන ලදී. ජගත් අබේසිංහ මහතාගේ නායකත්වය එයට මහත් පිටිවහලක්‌ විය.

රතුකුරුස මානුෂීය මෙහෙවර 2004 සුනාමි විපතේදී කැපී පෙනිණි. ආපදාවලදී විපතට පත් ජනතාවට ක්‌ෂණික අවශ්‍යතා ඉටු කිරීමට අමතරව තම ජන ජීවිත ගොඩනඟා ගැනීම සඳහා උපකාර කිරීමට රතුකුරුස සමාජය ඉදිරිපත් විය. විපතට පත් ජනතාවට ගෞරවයෙන් යුතුව ජීවත් වීමට අවශ්‍ය කටයුතු සැලසීම මෙම සංවිධාන තුළින් සිදුවිය.

විපතට පත් ජනතාවට මනෝ සමාජීය ව්‍යාපෘති ලබාදීම, දිවි පෙවෙත නඟාසිටුවීම, නිවාස ලබාදීම, සෞඛ්‍ය මධ්‍යස්‌ථාන ඉදිකිරීම, වැඩිදියුණු කිරීම හා වෛද්‍ය උපකරණ ලබාදීම, පාසල් ඉදිකිරීම හා වැඩිදියුණු කිරීම, ජල හා සනීපාරක්‌ෂක පහසුකම් සඳහා දැවැන්ත ජල යෝජනා ක්‍රම ඉදිකිරීම ප්‍රධාන තැනක්‌ ගනී.

අද වන විට ශ්‍රී ලංකා රතුකුරුස සමාජය පශ්චාත් යුද ප්‍රකෘතිකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් සිටී. එම ව්‍යාපෘතියට අනුව උතුරේÊනිවාස 20,000 ක්‌ ඉදිකිරීම, ජනතාවගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම, ප්‍රජාවට අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකිරීම සිදු කරමින් පවතී. ඊට අමතරව ප්‍රජා මූලික ව්‍යාපෘති ගණනාවක්‌ දිස්‌ත්‍රික්‌ 15 ක සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටී.

ශ්‍රී ලංකා රතුකුරුස සමාජය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය සමග එක්‌ව මෙම සියලුම කටයුතු සිදු කරනු ලබයි. ලක්‌ෂයකට අධික ස්‌වෙච්ඡා සේවක, සේවිකාවන් හා සාමාජික සාමාජිකාවන් එකතුව ශ්‍රී ලංකාව පුරා මානුෂීය සත්කාර සිදු කරනු ලබයි.

ලෝක රතුකුරුස දිනය සැමරීම නිමිත්තෙන් අද (8 දා) ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ තරුණ අංශය කොඩි දිනයක්‌ සංවිධානය කර ඇත. එහි ප්‍රථම කොඩිය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට ලබාදීම සිදු වේ. ප්‍රධාන උත්සවය කොළඹ 07, ලක්‍ෂ්මන් කදීර්ගාමර් ආයතනයේ පැවැත්වේ. ලංකාව පුරා සෑම දිස්‌ත්‍රික්‌කයකම ලෝක රතුකුරුස දිනය සැමරීමේ විවිධ උත්සව සංවිධානය කර ඇත.

නවීන්ද්‍ර සේනාරත්න
මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.