ආණ්‌ඩුවට එරෙහි එජාප විශ්වාස භංගය
විවාදයට ගැනීම 20 සහ 21 වැනිදා


කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

ශ්‍රී ලංකාව ආසියාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්‌ථානය බවට පත්කිරීම මගින් රට ලෝකයේ හමුවේ අපකීර්තියට ලක්‌කළේ යෑයි පවසමින් එක්‌සත් ජාතික පක්‍ෂය විසින් ආණ්‌ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව මෙම මස 20 වැනිදා සහ 21 වැනිදා යන දෙදිනේ පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට තීරණය කර ඇත.පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකවරුන්ගේ රැස්‌වීමක්‌ ඊයේ (7 වැනිදා) කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

මෙම පක්‍ෂ නායක රැස්‌වීමේදී එජාපයේ විශ්වාසභංග යෝජනාව මැයි මාසයේ දවසක පාර්ලිමේන්තු සතියේදී දෙදිනක්‌ පුරා විවාද කිරීමට පක්‍ෂ නායකයන් එකඟත්වය පළකර ඇත.

අග්නිදිග ආසියාව හා ගල්ෆ් වෙරළ සිසාරා ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් සමූහයක්‌ ඇතැයිද ඇෆ්ගනිස්‌ථානයේ, පාකිස්‌ථානයේ, ඉන්දියාවේ සහ තවත් රටවල පොලිස්‌ විමර්ශන මගින් හෙළිදරව් වී ඇතැයිද මාධ්‍ය මගින් වාර්තා කර ඇතැයිද පවසන එජාප මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අනෙක්‌ රටවලට හෙරොයින් බෙදාහරින කේන්ද්‍රස්‌ථානය බවට පත්කරමින් ඇෆ්ගනිස්‌ථානයේ නිෂ්පාදිත හෙරොයින් පාකිස්‌ථානයටත් එහි සිට ශ්‍රී ලංකාවටත් යොමුකරන බව සිය විශ්වාසභංග යෝජනාවේ සඳහන් කර ඇත.

2013 අගෝස්‌තු මාසයේදී අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයා ලිපියක්‌ මගින් බහලුමක්‌ මුදාහරින ලෙස ඉල්ලා ඇති අතර එම බහලුමේ මත්ද්‍රව්‍ය අඩංගුව තිබූ බව සොයාගනු ලැබූ බවද පවසන එජාප මන්ත්‍රීවරුන් මෙරටට හොරෙන් ගෙන ඒමේදී අල්ලාගනු ලබන විශාල මත්ද්‍රව්‍ය තොග සම්බන්ධයෙන් පූර්ණ පරීක්‍ෂණයක්‌ කිරීමට රජය අසමත්ව ඇතැයිද ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය බෙදාහැරීම තුරන් කිරීමට කිසිදු හරවත් ක්‍රියාමාර්ගයක්‌ ගනු නොලබන හෙයින්ද, මෙය අඛණ්‌ඩව සිදුවුණොත් ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය රාජ්‍යයක්‌ බවට පත්ව රටේ අනාගතය මහත් අනතුරකට ලක්‌විය හැකි හෙයින්ද රටේ පුරවැසියන්ගේ සුබසාධනය තහවුරු කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට රජයට ඇති හැකියාව පිළිබඳ විශ්වාසය බිඳවැටී ඇතැයි පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරන බවද සඳහන් කර සිටී.

මෙම විශ්වාසභංග යෝජනාව එජාප මන්ත්‍රීවරුන් තිස්‌දෙනකුගේ අත්සන් සහිතව මීට මාස කීපයකට පෙර කථානායකවරයාට භාරදෙන ලදී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.