ලෝක කුසලානය දිනූ රටකින් බැට්‌
ගැනීමට විදේශ රටවල් කැමති නිසා

දේශීය වශයෙන් ක්‍රිකට්‌ පිති
නිපදවා අපනයනය කළ හැකියි
- ඇමැති ෆීලික්‌ස්‌ පෙරේරා

කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්

ක්‍රිකට්‌ ලෝක කුසලානය දිනූ රටකින් ක්‍රිකට්‌ බැට්‌ මිලට ගැනීමට විදේශ රටවල් කැමැති වන නිසා දේශීය වශයෙන් ක්‍රිකට්‌ බැට්‌ නිපදවා අපනයනය කළ නොහැකිදැයි සමාජ සේවා ඇමැති ෆීලික්‌ස්‌ පෙරේරා මහතා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග අනුමැතිය සඳහා පැවැති විවාදයට එක්‌වෙමින් ඇමැතිවරයා එසේ කීවේය.

වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කළ පසුව කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුව ඊයේ (07 දා) පස්‌වරු 1.00 ට රැස්‌විණි.

නිවේදන, වාර්තා, ලිපි ලේඛන සහ පෙත්සම් ඉදිරිපත් කළ පසුව වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්ත්‍රීවරුන් අසන්නාවූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ. අනතුරුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් අනුමැතියට ඉදිරිපත් කරන ලදී. ග්‍රාමීය කර්මාන්ත ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා නියෝග ඉදිරිපත් කරමින් මෙසේ කීය.

දේශීය ඖෂධ නිෂ්පාදකයන් ආරක්‍ෂා කිරීම සඳහා මෙම නියෝග ඉදිරිපත් කරනවා. කලක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ ඖෂධ සැපයුම් සේවා දකුණු ආසියාතික රටවල් සමඟ සැසඳීමේදී ඉහළ මට්‌ටමක තිබෙනවා. සංචාරක ව්‍යාපාරයේ ඉහළ වර්ධනයක්‌ බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය සංචාරය තුළ වර්ධනයක්‌ බලාපොරොත්තු වෙනවා. දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට දිරි දීම අවශ්‍යයි. දැනට සියයට 14 යි රටේ ඖෂධ නිපදවන්නේ. එය සියයට 50 දක්‌වා ඉහළ දැමීමටයි අපේ බලාපොරොත්තුව. ආනයනය අඩු කිරීමට අපේ නිෂ්පාදනය වැඩි කළ යුතුයි.


රුපියල් මිලියන 4508 ක අපනයන
ආදායමක්‌ එදා ඇඟළුම්වලින් ලැබුණා
- සජිත් ප්‍රේමදාස (එජාප)

හම්බන්තොට දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා - එදා ඇඟළුම් කම්හල් 200 පටන් ගත්තේ අපනයන සංවර්ධනයට, ගමේ ජනතාවට ගමේ රැකියා ලබා දීම අරමුණින්, පාරවල්, මංමාවත් හැදුනා, ජලය විදුලිය ලබා දුන්නා. ගම සංවර්ධනය කරන්න ආයෝජන පහසුකම් ලබාදුන්නා. ගමට එළියක්‌ ලැබුණා.

රුපියල් මිලියන 4508 ක අපනයන ආදායමක්‌ එදා ඇඟළුම් කම්හල්වලින් ලැබුණා. දැන් මොනවද ඒ වැඩසටහන ගැන කියන්නේ. දෙපැත්ත පත්තුවෙන විලක්‌කුවක්‌ මැද රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ වැඩසටහන පටන්ගත්තේ. ඇමරිකාවෙන් ලබාගත හැකි උපරිම ඇඟළුම් කෝටා ප්‍රමාණය ලබාගත්තා.

නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා මුලසුනට පැමිණියේය.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ශාන්ත බණ්‌ඩාර මහතා (එජනිස) - සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන හා තොරතුරු සත්‍ය නොවන බව කිව යුතුයි. දේශීය කර්මාන්ත නඟා සිටුවීමටත් ඒ මගින් රැකියා උත්පාදනය කිරීමටත් අපේ රජය ඉලක්‌ක කර තිබෙනවා. එජාපය රට පාලනය කළ 1980 වසරේ අපනයන ආදායම ඇමෙරිකා ඩොලර් මිලියන 1 යි. 1990 දී ඒ අගය ඩොලර් මිලියන 2 යි. ඒත් 2005 වත්මන් රජය කාලයේ දී ඇ. ඩොලර් මිලියන 6.4 කුත් 2011 වසරේදී ඇ. ඩොලර් මිලියන 10.5 ක වාර්තාගත අපනයන ආදායමකුත් ලබන්නට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. ගම ඇතුළේ ස්‌වයං රැකියා සහ ගෘහ කර්මාන්ත නිර්මාණය වීමෙන් අද ඇඟළුම් කම්හල් වල සේවකයන්ගේ හිඟයක්‌ ඇති වී තිබෙනවා.

කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා - රටේ අපනයන වල ශීඝ්‍ර වර්ධනයක්‌ ඇති වී තිබෙනවා. අපේ අපනයන ප්‍රතිපත්තිය ජරා ජීර්ණවෙලා නැහැ. මේවා විපක්‍ෂයේ බොරු ප්‍රචාර බව කිව යුතුයි. ලෝක කුරුඳු අවශ්‍යතාවයෙන් සියයට 85 ක්‌ම සපුරන්නේ ශ්‍රී ලංකාව බව ආඩම්බරයෙන් කිව හැකියි. බටහිර රටවලට බිය නොවී යුද්ධය නිමා කිරීමට ශ්‍රී ලංකාව ගත් අභීත තීරණය නොරිස්‌සු බටහිර රටවල් ජී.එස්‌.ටී. ප්ලස්‌ සහනය අහිමි කළා. ඒත් අපේ ඇඟළුම් කර්මාන්තය අඩාල වෙන්න අපි ඉඩ දුන්නේ නැහැ. සංචාරක කර්මාන්තය දියුණු වී තිබෙනවා.

පත්කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා (එජාප) - ආනයනයෙන් ලැබෙන සෙස්‌ බදු ආදායම අපනයන දිරි ගැන්වීම සඳහා යොමු කළ යුතුයි. ඒත් අපේ රටේ සෙස්‌ ආදායම අපනයන සඳහා යොමු නොකිරීම බරපතළ වරදක්‌. ගහේ තිබෙන සාරය උරාගෙන පිළිලය ගොඩනගන ආර්ථිකයක්‌ තමයි අපේ රටේ තිබෙන්නේ. එය පාරිභෝගික ආර්ථික ක්‍රමයක්‌ ලෙස හඳුන්වනවා. උදාහරණයක්‌ ලෙස එයාර් ලංකා අඩපන කර මිහින් ලංකා ගුවන් සේවය නඟා සිටුවන්න දරන ප්‍රයත්නය හැඳින්විය හැකියි. ඒ වගේම මේ ආර්ථික ක්‍රමය පරගැති ආර්ථික ක්‍රමයක්‌ විදිහටද හඳුන්වන්න පුළුවන්.

පත් කළ මන්ත්‍රී ඒ. එච්. එම්. අස්‌වර් මහතා (එජනිස) - කුරුඳු මෙන්ම කොකෝවා කර්මාන්තයත් රටේ දියුණු කළ හැකියි. අපේ ආර්ථික ක්‍රමය හැම අතින්ම යහපත් බව අද ලෝකයට පෙනී ගොස්‌ තිබෙනවා. අප්‍රිකානු රටවල් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය කෙරෙහි පැහැදී තිබීම හොඳ ප්‍රවණතාවයක්‌.


බදු ගහන ආණ්‌ඩුවක්‌ තමයි දැන් තියෙන්නේ
- සුනිල් හඳුන්නෙත්ති (ප්‍රජාස)

කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ප්‍රජාස) - සෙස්‌ බද්ද පැනවීමේ අරමුණ මහා භාණ්‌ඩාගාරය පෝෂණය කිරීම බව පෙනී යනවා. අහිංසක දරුවන්ට අන්දන පැම්පර්ස්‌ එකෙනුත් බදු ගහන ආණ්‌ඩුවක්‌ තමයි රටේ දැන් තිබෙන්නේ. රුපියල් දාහක්‌ වන පැම්පස්‌ පාර්සලයක්‌ රුපියල් එක්‌දහස්‌ හත්සියයක්‌ දක්‌වා මේ බදු ගැහීම නිසා මිල ඉහළ යනවා. දැයේ ආඩම්බරකාර තාත්තා දරුවන්ගේ නැප්කින් එකටත්, පැම්පස්‌ එකටත් බදු ගහන එක ලඡ්ජාවට කරුණක්‌ නොවේද? ළදරු කිරිපිටි මිල වේගයෙන් ඉහළ යනවා. නැප්කින් කර්මාන්තකරුවන්, පැම්පස්‌ කර්මාන්තකරුවන් අපේ රටේ කී දෙනාද ඉන්නේ? ඒ අයව ආරක්‍ෂා කරන්න කියමින් ආණ්‌ඩුව ළදරු භාණ්‌ඩවලට බදු පිට බදු ගහනවා.

සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා - දේශීය ඖෂධ නිෂ්පාදනය දිරි ගැන්වීමට අදාළ කටයුතු විශාල ප්‍රමාණයක්‌ අද සිදු වෙනවා. ඖෂධ මිල පහළ යැමටත් එය හේතු වෙනවා. ඒ වගේම දේශීය පැම්පස්‌, නැප්කින් කර්මාන්තකරුවා දිරි ගැන්වීමට අදාළ ක්‍රියාමාර්ග අපි ඉදිරිපත් කර තිබෙනවා. අපනයන නිෂ්පාදන සංයුතිය 3337 ක්‌ දක්‌වා අද ඉහළ ගොස්‌ තිබෙනවා.

ජනක බණ්‌ඩාර මහතා මූලාසනයට පැමිණියේය.

කළුතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා (එජාප) - අධික පොලියට විදේශ ණය අරගෙන අදූරදර්ශි ආර්ථික පිළිවෙතක ගමන් කරන අපේ රට දැන් චීන ගැටයට හසු වී හමාරයි. ඒ චීන උපක්‍රමයට හසු වී ඇති කළ ප්‍රධාන ව්‍යාපෘති දෙකක්‌ ලෙස හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපළ හැඳින්විය හැකියි.

හම්බන්තොට වරායේ සහ මත්තල ගුවන් තොටුපලේ විගණන කටයුතු අපේ ඊළඟ පියවර බව කිව යුතුයි.

සමාජ සේවා ඇමැති ෆීලික්‌ස්‌ පෙරේරා මහතා - රටකට එක ගුවන් තොටුපළක්‌ ප්‍රමාණවත් නැහැ. සෙස්‌ බද්ද ගන්නවාට වඩා වැඩි ප්‍රමාණයක්‌ පොහොර සහනාධාරය දෙනවා නම් මෙහි ඇති වරද කුමක්‌ද? තේ, පොල්, රබර් අපනයනයෙන් පමණක්‌ යෑපෙන්න බැහැ. අපනයන විවිධාංගීකරණයට ලක්‌ විය යුතුයි. වාහන කොටස්‌ ගෙන්වා එකලස්‌ කිරීම ආදී විවිධ දේ සඳහා අප යොමු විය යුතුයි. ආනයන අඩු කිරීමට නම් සෙස්‌ බද්දක්‌ දමන්න ඕනෑ. අපේ අපනයන තුට්‌ටු දෙකකට දෙන්න හොඳ නැහැ. ක්‍රිකට්‌ ලෝක කුසලාන දිනූ රටකින් ක්‍රිකට්‌ බැට්‌ මිලට ගන්න අනෙක්‌ රටවල් කැමැති වෙයි. ඉතින් ඇයි අපිට ක්‍රිකට්‌ බැට්‌ හදල අපනයන කරන්න බැරිද? දේශීය නිෂ්පාදන දියුණු නොකරන රටක්‌ දියුණු කරන්න බැහැ. වල්ලපට්‌ට ශාකය වැවීම දිරි ගන්වන්න ඕනා. මැණික්‌වලට පයින් ගහන්න හොඳ නැහැ. මගේ ප්‍රතිපත්තිය එයයි. මේවා අල්ලන්න හොඳ නැහැ. ඒවා අපනයනයට දිරි දෙන්න.

කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී රවී කරුණානායක මහතා (එජාප) - සෙස්‌ බදු දැමීමෙන් පමණක්‌ රටක අපනයන ආර්ථිකය දියුණු වෙන්නේ නැහැ. ලෝකයේ තිබෙන වැඩිම විදුලි බිල අපේ රටේ ක්‍රියාත්මකයි. ඒ වගේම රටේ බැංකු ක්‍ෂේත්‍රය මාලදිවයින සහ බංග්ලාදේශයටත් වඩා ප්‍රාථමික තත්ත්වයක තිබෙන්නේ. ඉතින් කොහොමද අපි අනෙක්‌ රටවල් සමඟ අපනයන සම්බන්ධයෙන් තරග කරන්නේ? ශ්‍රී ලංකාවට වැඩි අපනයන ආදායමක්‌ ගෙනා ඇඟළුම් කර්මාන්තය අද බංග්ලාදේශයට, ඉන්දුනීසියාවට ගොස්‌ තිබෙනවා.

පත්කළ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා (එජාප) - රබර් අපනයනයෙන් 2013 වසරේදී අපි ලබා ගත් ආදායම 2012 වසරට වඩා සියයට 57 කින් අඩු වී තිබෙනවා. රබර් මිල පහත යැම රජය නොදැක්‌කා වගේ සිටිනවා. මෙයින් අවසානයේ සිදුවෙන්නේ රටේ රබර් කර්මාන්තය කඩා වැටීමයි. අඩු තරමින් රබර් කිරි කපන්නන්ගේ රැකියාවත් සුරක්‍ෂිත කිරීමට රජය කටයුතු කරනවා නම් වටිනවා. මේ කර්මාන්තය කඩා වැටෙන්න දෙන්න එපා.

කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා (එජාප) - රටේ ආනයන හා අපනයන හිඟය ගැන අපි ලැඡ්ජා විය යුතුයි. යුද්ධය නෑ, සාමය තියෙද්දීත් තම සාක්‌කුවට කොමිස්‌ දාගත හැකි ව්‍යාපෘති ගෙනැත් තියෙනවා. අඩුම ගානේ අපේ රටේ හිරමණයක්‌ හදල තියෙනවද කියා මම වරක්‌ බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයාගෙන් විමසුවා. අඩුම ගානේ අත්ට්‍රැක්‌ටරයක්‌වත් හැදුවද? මේවා මිලියන හයසීයක හත්සීයක ව්‍යාපෘති නොවන නිසා කොමිස්‌ ලැබෙන්නේ නෑ. කොමිස්‌ නැති නිසා ඇමැතිවරුන්ගේ නාඩි වැඩකරන්නේ නෑ. ආනයන අපනයන පරතරය 2012 දී සෘණ 9409 යි. එන්න එන්න පරතරය වැඩි වෙලා. අපනයන අඩුවෙලා. හැම අංශයක්‌ම බංකොලොත් වෙලා.

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතා - අද අපි ලෝකය සමඟ ගනුදෙනු කරන්න. ලෝකය සමඟ වෙළෙ¹ම් කරන්න ග්‍රාමීය ජනතාව හමුවට යමින් කටයුතු කරනවා. ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස තුන්සියට කර්මාන්ත තුන්සීයක්‌ ඇතිකරන්න බදු සහන ලබාදී තිබෙනවා.

අදාළ නියෝග සම්මත විය. පාර්ලිමේන්තුව අද (8 වැනිදා) පස්‌වරු 1.00 දක්‌වා කල් තැබිණි.









 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.