ගොවියාට රජකම දෙන්නේ මෙහෙමද?
අම්පාරේ ගොවීහු වතුර නැතිව උද්ඝෝෂණයක


දඩයම්තලාව - පී. ජයසිංහ

අම්පාර දිස්‌ත්‍රික්‌කයේ උහන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගලපිටගල, සින්නවත්ත, ගෝනගල, කොත්මලේ යන ජනපදවල ගොවීන්ට 2014 යල කන්නයේ කුඹුරු වගා කටයුතු කිරීමට ජලය නොදීම හේතුවෙන් එයට විරෝධය දක්‌වමින් සියලු ජනපදවාසීහු ගොනාගොල්ල නගරයේ දී උද්ඝෝෂණයක්‌ පැවැත්වූහ.

මෙම පිරිස ගලපිටගල ගමට එකතුවී විහාරාධිපති හිමිවරුන් පෙරටු කොටගෙන පාගමනින් ගොනාගොල්ල නගරයට පැමිණ උද්ඝෝෂණය ආරම්භ කළහ.

මෙම ජනපදවාසීන් වසර 30 ක කාලයක්‌ කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් නිතර නිතර බැට කෑ බවත්, කුඹුරු ගොවිතැනෙන් ජීවත්වන මෙම ගොවීන්ට ඉඟිණියාගල ජලාශයෙන් වෙනත් ප්‍රදේශවලට ජලය ලබාදී ඇතත් අපේ ගම්වලට ජලය ලබා නොදෙන්නේ අම්පාර ප්‍රදේශයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා අනෙකුත් ඉහළ බලධාරීන්ගේ දුර්වලතා නිසා බව උද්ඝෝෂකයෝ මාධ්‍යයට පැවසූහ.

"වතුර වතුර· අපේ කුඹුරුවලට වතුර දෙන්නෙ නැද්ද, හතේ ඇළේ දොර වැසීම, මාවිල් ආරු වගේද, ජලය නොදෙන්නේ සහනාධාර ඉවරද, මායිමේ අපිට අලි කොටි විතරද, ජනාධිපතිතුමනි, බත සපයන වී ගොවීන්ට සලකන්නේ මෙහෙමද, වතුර නොදෙන්නේ සේනානායක සමුද්‍රයේ ජලය විකුණන නිසාද, ගොවියාට රජකම දෙන්නේ මෙහෙමද, අපේ බඩගින්න ඔබට දැනේනේ නැද්ද යනුවෙන් විවිධ පෝස්‌ටර් ප්‍රදර්ශනය කරමින් ඔවුන් ඉල්ලා සිටියේ වගකිවයුතු නිලධාරීන්ගේ අවධානය යොමුකර ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙසටයි.

උද්ඝෝෂකයන් සහ ගෝනගල සුමංගලාරාමයේ විහාරාධිපති රන්සෑගොඩ මෙත්තසිරි, ගලපිටගල පඤ්ඤානන්ද යන හිමිවරුන් ඇතුළු ගොවි ජනතාව සඳහා අදාළ ගැටලුවලට ප්‍රමාණවත් විසඳුමක්‌ ලබාදීමට නොහැකි වූ වාරිමාර්ග ඉංජිනේරුවරයා සහ අම්පාර නියෝජ්‍ය වාරිමාර්ග අධ්‍යක්‍ෂ නිහාල් සිරිවර්ධන මහතා එම ස්‌ථානයෙන් ඉවත්ව ගියහ.

පසුව විරෝධතාකරුවෝ අම්පාර ගොනාගොල්ල ප්‍රධාන මාර්ගය අවහිර වන පරිදි අඛණ්‌ඩව විරෝධතාවයේ නිරත වූහ.

මෙම උද්ඝෝෂණයට එක්‌වූ ගොවීන් දහසකට ආසන්න පිරිසක්‌ මහඔය, අම්පාර ප්‍රධාන මාර්ගයේ ගොනාගොල්ල මංසන්ධිය අසල රැඳී සිටීමෙන් වාහන ගමනාගමනයට බාධා ඇතිවිය.

අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී එම්. එම්. කේ. බී. මහගෙදර මහතාගේ උපදෙස්‌ පරිදි පොලිස්‌ කැරලි මර්දන ඒකකයද මෙම ස්‌ථානයට පැමිණ සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.