කොතරම් වයසට ගියද කොටළුවා අශ්වයකු වන්නේ නැත

......කොතරම් නීචද යත් ලෝකය කොතරම් නරකද යත් මේ දිනවල හැම මළඉලව්වක්‌ම සිදුවන්නේ පොලිසියේ අවාසියටය. ගුටි කන්නේත් පොලිසියය. මැරුම් කන්නේත් පොලිසියය. කූඩුවෙහි ලගින්නේත් පොලිසියය. රණ්‌ඩු බේරන්නට යන්නෙත් පොලිසියය. අන්තිමේදී බේරන ලද රණ්‌ඩුවේදී අගතියට පත් පාර්ශ්වය ගසන පෙත්සම්වලින් මානව හිමිකම් කොමිසම් ඉදිරියට යමින් - එමින් චාටර් වන්නේත් පොලිසියය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජික, පත්කළ මන්ත්‍රීවරියකගේ ආරක්‍ෂාවට ගොස්‌ ඩුබායි ගිය ඇතැම් ගෘහ සේවිකාවකවත් නොලබන පහත් වධ බන්ධනවලට ලක්‌ව සිටින පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු ගැන සෙනසුරාදා (10 දා) "දිවයින" මුල් පුවතින් හෙළි කර ඇත. මන්ත්‍රීතුමියගේ හරක්‌ නාවන්නේත් මේ පොලිස්‌ නිලධාරීන්ය. ඇගේ මිදුල උදළු ගාන්නේත්, කොස්‌ කඩන්නේත් පොල් අහුලන්නේත්, මල් පාත්ති සුද්ද කරන්නේත්, කුඹුරු හාන්නේත් ඔවුහුය. කෑම උයන්නේත්, වළන් සෝදන්නේත් ඔවුහුය. (කෑම ඉවීමට වළන් සේදීමද සම්බන්ධ බැවින් මේ දෙකම එක පැකේජයක්‌ යටතේ එක කාරණයක්‌ බව පොලිස්‌ රාළහාමිලා දෙදෙනා මතක තබා ගත යුතුය. එසේම මල් පාත්ති සුද්ධ කිරීම පොල් ඇහිඳීම, මිදුල උදළු ගෑම, කුඹුරු හෑම යන හතරම "උද්‍යාන සේවා" යන තනි පැකේජයට අයත්ය.) අපි මේ මන්ත්‍රීතුමිය ගැන දනිමු. ඇය මෙතරම් පිස්‌සු කේස්‌ එකක්‌ යෑයි නිකමටවත් නොසිතුවෙමු. උත් 'තුංග' 'රණ' ශූරියක සේ මුව "කමල" අයා ඇය කවි කියනු අසා ඇත්තෙමු. ඇය මුළු ජීවිතයම වැය කළේ ශ්‍රී. ල. නි. ප. යට දර දිය ඇදීමට බවට ආරංචියක්‌ තිබේ. ආණ්‌ඩුව ඇය ලිස්‌ට්‌ එකෙන් පාර්ලිමේන්තුවට පත්කර යවන්නට ඇත්තේ චිරාත් කාලයක්‌ පුරා ඇය කළ මෙහෙවරට වන්දි වශයෙන් විය යුතුය. ඇය පාර්ලිමේන්තුවට යෑවූ ශ්‍රී ල.නි.ප. නායකයන් විසින් සිහිපත් කරනු ලැබිය යුතු වැදගත් කාරණයක්‌ තිබේ. එනම් කොතරම් වයස ගියද කොටළුවා කවදාවත් අශ්වයකු වන්නේ නැති බවය. පැටියා කාලයේදී අශ්ව පැටවකුගේ පෙනුමට සමාන වුවද කොටළුවා ලොකු මහත් වූ පසු නිතර පෙන්වන්නේ කොටළු හැසිරීම්ය.

එක අතකට පොලිසිය යොදා වුව කුඹුරු හෑම ඔවුන් නිකරුනේ සිටිනවාට වඩා පලදායක බව මන්ත්‍රීතුමිය කල්පනා කරන්නට ඇත. යුද්aධය ඉවර වී ඇති නිසා මන්ත්‍රීතුමිය මැරීමට එන කිසිවෙක්‌ නැත. එබැවින් පොලිසියට පින් බත් ගිල්ලවන්නේ මන්දැයි ඇය කල්පනා කරන්නට ඇත. මේ තත්ත්වයට පත්වෙමින් සිටින මැති ඇමැති ආරක්‍ෂක පොලිස්‌ නිලධාරීන් විශාල සංඛ්‍යාවක්‌ රට පුරා සිටිති. මේ මැති ඇමැතිවරුන් මරන්නට මොකෙක්‌වත් නොඑති. එසේ ආවත් ඒ එල්.ටී.ටී.ඊ. ය නොව එම මැති ඇමැතිවරුන්ගෙන් 'පොලු' කා ඔවුන්ගේ ගැටවලට රැවටී ඔවුන් මරාගෙන මැරෙමැයි අධිෂ්ඨාන කරගත් ඡන්ද දායකයන්ය. ආණ්‌ඩුවේ ඇතැම් කසි කබල් ඇමැතියකුට පොලිසියේ රාළහාමිලා දහයක්‌ පහළොවක්‌ ආරක්‍ෂාව දෙති. ඇමැති යන යන තැන ඩිෙµන්ඩර් රියවල නැගී රටේ තෙල් පෙට්‍රල් කා දමමින් පස්‌සෙන් දුවති. ඇමැතිගේ හාමිනේට පොළේ යන්නේ ඔවුහුය. ඇමැතිගේ ළමයින් පාසලට ගෙන යන්නේත් ඔවුහුය. ඇමැති ගෙදරට අමුත්තන් ආ විට තේ අල්ලන්නෙත් ඔවුහුය. ඇමැතිගේ බල්ලා දොස්‌තර ළඟට ගෙන යන්නේත් ඔවුහුය. එයට නම් අප විරුද්ධ නැත. මන්ද සමහර ඇමැතියකුට වඩා ඔහුගේ බල්ලා හැම අතින්ම ශ්‍රේෂ්ඨය. ඒ සතාට කලගුණ මතක තිබේ. තමාට මෙහෙයක්‌ කළ හැම කෙනෙකු ගැනම වෙන් වෙන්ව මතක තබාගෙන නගුට වැනීමට බල්ලාට හැකිය. මෙතැනදී තමා නගුට තමාට නොවනන්නේ නගුටක්‌ නැති නිසා බව කියමින් ඇමැතිට හිත හදා ගත හැකිය. .....

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.