මන්ත්‍රීවරියගේ නිවසේ
'සර්වන්ට්‌ලා'වූ පොලිස්‌ බොඩිගාඩ්ලාට මාරුවක්‌


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සචිත්‍ර ඇල්වලගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සිය නිවසේ මෙහෙකාර වැඩට යොදාගත් බව කියන පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනා පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් පෙරේදා (10 වැනිදා) ගම්පහ සහ නුගේගොඩ පොලිස්‌ කොට්‌ඨාසවලට මාරු කරනු ලැබූහ.

මන්ත්‍රීවරියගේ නිවසේ කොස්‌ කැඩීමටත්, කෑම පිසීමටත්, හරක්‌ බැලීමටත්, වළං සේදීමටත්, කඩේ යැමටත්, පොල් එකතු කිරීමටත් මෙන්ම නිවසේ සියලු වහල් වැඩ තමන් ලවා කරවා ගත් බවත්, මේ නිසා තමන් දැඩි මානසික පීඩනයකින් පසුවන බවත් තමන්ට ස්‌ථාන මාරුවක්‌ ලබාදෙන ලෙසත් එම කොස්‌තාපල්වරුන් දෙදෙනා පොලිස්‌පතිවරයාට කරන ලද ඉල්ලීමකට අනුව පොලිස්‌පතිවරයා අදාළ ස්‌ථාන මාරුව ලබා දී ඇත.

මෙම මන්ත්‍රීවරියට ආරක්‍ෂකයන් අවශ්‍ය නම් හමුදාවෙන් ලබාගන්නැයි උපදෙස්‌ ලැබී ඇතැයි ද වාර්තා වේ.

"මෙම නිලධාරීන් දෙදෙනා මන්ත්‍රීවරියගේ නිල ආරක්‍ෂක රාජකාරි සඳහා පමණයි යෙදෙව්වේ. ඒ වගේම රාජකාරියට බාහිර යම් බලපෑම් සහගත නියෝග කිරීමක්‌ සිදුවී තිබුණා නම් එය ප්‍රතික්‍ෂේප කිරීමේ හැකියාව එම නිලධාරීන්ට තිබෙනවා."

"ඒ වගේම මේ නිලධාරීන් දෙදෙනා තමන්ට වෙච්ච අපහසුතා ගැන ඉහළ නිලධාරීන්ට 10 වැනිදා ප්‍රකාශයන් ද ලබා දී තිබෙනවා..." යෑයි ද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.