බොදු උරුමය සුරකිමු

අසිංහල අබෞද්ධ අයගෙන් බෞද්ධ සංස්‌කෘතියට සිදුවන හානිය ගැන අප වඩාත් සැලකිලිමත් විය යුතුව ඇත.

බුද්ධ ශාසන අමාත්‍යාංශය ජනාධිපතිතුමා යටතට පත්කරගෙන වැඩිදියුණු කරන ලෙසටත් සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කරගන්නා ලෙසටත් ඉල්ලීමක්‌ පසුගියදා ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිනිමල නාහිමියන් වහන්සේ මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක්‌ කර ඇත.

ගැටඹේ විහාරයට කටුකම්බි ගැසූ ඡේ. ආර්. ගේ පාලන කාලයේදීවත් ශ්‍රී ලංකාවේ බුදුදහමට අන්‍ය ලබ්ධිකයන්ගෙන් මේ තරම් හානියක්‌ නොවීය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම බුද්ධාගම යෑයි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම සහතික කර ඇත. බුද්ධාගමට අපහාස උපහාස කරන්නට ඉඩදිය නොහැකියි. රාජ්‍යාගම ලෙස සලකන බුදු දහම සුරැකීමට බෞද්ධ භික්‌ෂූන් වහන්සේලා දිවි හිමියෙන් කටයුතු කරති.

ශ්‍රී ලංකාවේ අන් කවර කලකටත් වඩා සංවර්ධන කාර්යයන් මේ යුගයේ ඇතිවේ. රටේ අති විශාල සංවර්ධනයක්‌ සිදු කළත් අධ්‍යාත්මික පරිහානියක්‌ දැකිය හැකිය.

පන්සිල් රකින ජන සමාජයක්‌ ඇතිකරන්නට බැරිවී තිබේ. ගුණධර්ම පිරිහී ඇත. මත්කුඩු, මැත්පැන් භාවිතය වැඩි වී තිබේ. අපරාධ වැඩි වී ඇත. දැහැමි සමාජයක්‌ නැත.

ගුණධර්ම පිරිහීම ගැන කොතෙකුත් කතා කරති. සෑම පසළොස්‌වක පොහෝ දිනයකම රජගෙදර ධර්ම දේශනා කර ජනාධිපති ඇතුළු පාලක පිරිස දහමින් පෝෂණය කරති. පන්සල්වල ආගමික උත්සවවලට රාජ්‍ය නායකතුමන් සහභාගි වෙයි. සංඝයා වහන්සේලා ආගමික ප්‍රබෝධයක්‌ ඇතිකරවීමට නොයකුත් කටයුතු කෙරෙති. මේ සියල්ල මේ අන්දමට සිදුවෙද්දී අපට අසන්නට දකින්නට ලැබෙන්නේ අන් කවරදාවත් නොදුටු දර්ශනය.

ත්‍රස්‌තවාදීන් අතින් බෞද්ධ විහාරස්‌ථාන විනාශ විය. ඉතිරි වී තිබෙන බෞද්ධ පුරාවස්‌තු රැකගැනීමට ඒ ප්‍රදේශවල භික්‌ෂූන් වහන්සේලා අපමණ වූ වෙහෙසක්‌ ගනිති.

යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, දිගාමඬුල්ල ආදී ප්‍රදේශවල පදිංචිව සිටි සිංහල ජනයා එදා ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රහාර නිසා ඒ ප්‍රදේශවලින් ඉවත් විය. උතුරු නැගෙනහිර මායිම් ගම්මානවල වැසියන් ද මරා දැම්මේය. ත්‍රස්‌තවාදයෙන් රට මුදාගෙන ඇති මෙවන් යුගයක රට තුළ සංචාරය කරන විට ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය විනාශ වී ඇති අයුරු මොනවට පැහැදිලි වේ. විනාශ වී ඇති බෞද්ධ සිද්ධස්‌ථාන සංවර්ධනය කිරීම පිළිබඳව විමසන විට ඒ කරුණ මෙතෙක්‌ ඉටුවී නොමැතිව ඇති බව කිව යුතුව ඇත.

පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍යපාද එල්ලාවල මේධානන්ද හිමිපාණන් වහන්සේ මේ පුරාවස්‌තු විනාශය ගැන කොතෙකුත් කතා කළහ. ඒවා මතුකර පෙන්වීය. දැන් උන්වහන්සේ ද නිහඬය. අපේ සංස්‌කෘතික උරුමයන් ආරක්‍ෂා කරන්නට අමාත්‍යාංශයක්‌ ද ඇත. පළාත් සභා මට්‌ටමින්ද තිබේ. නමුත් පුරාවස්‌තු රැකගැනීමට ගෙන ඇති උත්සාහයන් ගැන පැහැදීමක්‌ නැත.

පොතුවිල් මුහුදු මහා විහාරය ඓතිහාසික වටිනාකමක්‌ ඇති තැනකි. කැලණිතිස්‌ස මහා රජුගේ දියණිය දේවි කුමරිය මුහුදු ගොඩගලනා විට නැවක නංවා පාකර යවන ලද තැන යයි කියති. මේ මුහුදු මහා විහාරවාසී භික්‍ෂූන් වහන්සේ කියන අන්දමට දිගාමඩුල්ලේ සිංහල හා බෞද්ධ උරුමය රැකගැනීමටත් නටබුන් ආරක්‍ෂාකර ගැනීමටත් විශේෂ වැඩසටහනක්‌ කළ යුතුයි. මුස්‌ලිම් ජාතික අය පුදබිමට අයත් ඉඩම් කොල්ලකාගෙන තිබෙන අන්දම ගැන කියති.

බෞද්ධ විහාරස්‌ථාන සතු ඉඩකඩම් ආරක්‍ෂාකර දීම රජය සතු වගකීමකි. බෞද්ධයන්ගේ ආධාර උපකාර ඇතිව වන්දනාමාන කිරීමට එන අයගේ සම්මාදමෙන් මේ තැන් යම් තරමකට හෝ සංවර්ධනය කෙරේ. විශේෂයෙන් සිංහල ජනතාව පදිංචි නැති පළාත්වල ඇති පෞරාණික වැදගත්කමක්‌ ඇති පූජාභූමි සංවර්ධනය කිරීම සහ ඒවා ආරක්‍ෂාකර ගැනීමට රාජ්‍ය මැදිහත්වීමෙන් කඩිනම් වැඩපිළිවෙළක්‌ අවශ්‍යයි. විල්පත්තුව වනාන්තර ප්‍රදේශය ද හෙළි පෙහෙළි කර මුස්‌ලිම් ජනාවාස ඇති කරන බවද කියති. වන සම්පතද සුරැකිය යුතුව ඇත.

යාපනයේ නාගදීපය වැඳපුදා ගැනීමට දඹකොළ පටුන දැකබලා ගන්නටත් විශාල සිංහල බෞද්ධ ජනතාවක්‌ මේ වන විට ඒ ප්‍රදේශවලට ගොස්‌ ඇත. සිංහල ජනතාව විශාල වශයෙන් ජීවත් වූ යාපනය ප්‍රදේශයේ උතුරු පළාත් සභාවක්‌ ද පිහිටුවා ඇත. ඒ අය කටයුතු කරන්නේ සිංහල බෞද්ධ ජනතාවක්‌ ගැන තැකීමක්‌ නොමැතිවය. අඩු වශයෙන් නාගදීපය දඹකොළ පටුන ඇතුළු බෞද්ධ සිද්ධස්‌ථානවල පැවැත්ම ගැනවත් තැකීමක්‌ නැත. විශාල වශයෙන් බෞද්ධ සිද්ධස්‌ථානවල නටබුන් තිබේ. ඒවා සංරක්‍ෂණය කළ යුතුව ඇත. නැගෙනහිර පළාතේ මෙන්ම උතුරු පළාතේ ද සිංහල බෞද්ධ උරුමයන් රැකගැනීම සඳහා පළාත් සභාව ක්‍රියා නොකරන්නේ නම් රටේ සංස්‌කෘතික හෝ බෞද්ධ කටයුතු අමාත්‍යාංශය හෝ පියවර ගත යුතුව ඇත.

ඇතැම් බුද්ධිමත් භික්‌ෂූන් වහන්සේලා රටේ දැවෙන ප්‍රශ්න ගැන ආවේගශීලීව කතා කරති. උන්වහන්සේලා කියන්නේ කුමක්‌ද යන්න පිළිබඳව අසා බලා තේරුම් ගත යුතුව ඇත. එසේ නොමැතිව රාජ්‍ය බලය පාවිච්චි කර මර්දනය කිරීමෙන් රටේ ජනමතය කුමක්‌ද යන්න පිළිබඳව ද ආණ්‌ඩුවකට වටහා ගැනීමක්‌ ලබාගත නොහැකියි. සිංහල බෞද්ධ ජනතාව භෙදභින්න කරන දේශපාලන බලවේග ගැන ද විමසිලිමත් විය යුතුව ඇත. 1971 - 1987 - 1988 යන වර්ෂවල රටේ ඇතිවූ භීෂණකාරී තත්ත්වය යළි ඇති නොවීමට වගබලා ගත යුතුව ඇත.

අක්‌මීමන - කේ. මතිලාල්
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.