අන්තවාදී ක්‍රියා හෙළා දකිමු පෙළපාලියට
විරෝධය පා අගමැති පාරට බසියි
ත්‍රිරෝද රථයක නැග පාසල් සිසුන් දැනුවත් කරයි

ගම්පොළ - සුරංග දිල්හාන්

බෞද්ධ විරෝධී අන්තවාදී ක්‍රියා හෙළා දකිමුයි පවසමින් ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය අසලින් ආරම්භ කළ විරෝධතා පෙළපාලියක්‌ පෙරේදා සවස (13දා) නගරය දෙසට යද්දී එය නීති විරෝධී ක්‍රියාවකයි පවසමින් අග්‍රාමාත්‍යවරයා එම උද්ඝෝෂණ පෙළපාලිය නතර කිරීමට උත්සාහ ගැනීම නිසා මහත් නොසන්සුන්කාරී තත්ත්වයක්‌ ඇති විය.

වෙසක්‌ සතිය තුළ පාසලක ක්‍රියාත්මක කිරීමට සූදානම් කළ බෞද්ධ වැඩ සටහන්වලට ගම්පොල නගරයේ පිහිටි එම පාසලේ විදුහල්පතිවරයා බාධා එල්ල කළැයි පවසා එයට විරෝධය දක්‌වා භික්‌ෂූන්වහන්සේ හා ප්‍රදේශවාසීහු මෙම විරෝධතා පෙළපාලිය සූදානම් කොට තිබිණි.

ඔවුන් විරෝධතා පාඨ කියමින් ඉදිරියට එන විට ගම්පොල පාලම අසලදී එම ස්‌ථානයට පැමිණ අගමැති දි මු. ජයරත්න මහතා ගම්පොල සියලු ජාතීන් එක්‌ව සාමකාමීව සිටියදී මෙවැනි පෙළපාලි මගින් එම ජාතීන් අතර බෙදීමක්‌ ඇති වී අසමගිය ඇති වන බව පවසමින් පෙළපාලිය නවතන ලෙස දැන්වීය.

උද්ඝෝෂකයන් මෙහිදී බෞද්ධ විරෝධී ක්‍රියා නැවතීමට කිසිවකු ඉදිරිපත් නොවන නිසා මෙවැනි ක්‍රියා ගැනීමට සිදු වී ඇතැයි පවසමින් එම බාධා කිරීම් නොසලකා ඉදිරියට ගිය අතර ගම්පොල නගරය තුළින් ඔවුන් උද්ඝෝෂණය කරමින් ඉදිරියට යද්දී පොලිසියද මැදිහත් වී එය නැවතීමට උත්සාහ ගත්තද එය අසාර්ථක විය.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා දුරකථනය මගින් පොලිස්‌පතිවරයා හා නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් අමතා පවසා සිටියේ වෙසන් සතිය පැමිණි මෙවැනි උතුම් දිනක මෙවැනි පෙළපාලි මගින් ආගම්වාදයක්‌ හා ජාතිවාදයක්‌ ඇති විය හැකි හෙයින් මෙම පෙළපාලිය වහාම නැවතීමට ක්‍රියා කරන ලෙසය.

අනතුරුව විරෝධතාකරුවන් ආගම්වාදී අන්තවාදී ක්‍රියා අපට එපා යෑයි පවසමින් ඉදිරියෙන් පෙළපාලි යද්දී අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස ඔවුන් පසුපසින් ජාතිවාදී ආගම්වාද භේද එපා. එකම ජාතියක්‌ ලෙස ජීවත් වෙමු යෑයි පවසමින් උද්ඝෝෂණ පෙළපාලියක්‌ ලෙස පසු පසින් ගමන් කළේය.

පාසල් නිම වී නිවෙස්‌වලට යැමට නගරයේ සිටි සිසු දරුවන් හා නගරවැසියන්, අමතා මෙවැනි ක්‍රියාවලට අහුවෙන්න එපා යෑයි ඔවුන් දැනුවත් කිරීම්ද සිදු කළ අග්‍රාමාත්‍යවරයා පසුව ත්‍රිරෝද රථයක නැගී ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නගරවැසියන් දැනුවත් කරමින් මෙවැනි ක්‍රියාවලට කලබල නොවන ලෙස ඉල්ලමින් නගරය පුරා සැරි සැරීය.

මේ අතර මුලින් ගිය පෙළපාලිකරුවන් ගම්පොල අඹගමුව මාර්ගයේ ගමන් කරද්දී පොලිසිය මගින් ගම්පොල කීරපන රේල් ගේට්‌ටුව අසලින් මග හරස්‌ කර එම පෙළපාලිය නවතා දැමීමට උත්සාහ කළ අතර පෙළපාලිකරුවන් ඒ අසල ඇති කීරපන විහාරස්‌ථානය වෙත ගොස්‌ එහිදී දැනුවත් කිරීමේ වැඩසටහනක්‌ ඇරඹීය.

මෙහිදී මෙම පෙළපාලියේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ සමීර චන්ද්‍රසිරි මහතා මෙසේ සඳහන් කළේය.

මෙම පාසලේ විදුහල්පතිවරයා සිදුකළ ක්‍රියාව නිසා බෞද්ධ ළමයින්ගේ හා ගුරුවරුන්ගේ අයිතිය අහිමි වීම හා සියලු ජාතීන් ජීවත් වන ගම්පොල නගරය තුළ එවැනි ක්‍රියා සිදු නොකර එකම ජාතියක්‌ ලෙස සමගියෙන් සිටීමට අවශ්‍ය වාතාවරණය සකස්‌ කර දෙන ලෙස ඉල්ලමින් ගම්පොල පොලිසිය වෙත ලිපියක්‌ භාරදීමට මෙලෙස පෙළපාලියකින් යන විටත් මෙම බාධා කිරීම්වලට ලක්‌වීමට සිදු වූ බවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.