යළි අලුතෙන් ඇඳිය යුතු යුද හමුදා චිත්‍රය

1945 අවුරුද්දේ දෙවන ලෝක යුද්ධයේ අවසාන භාගය වන විට යුද සෙබළා ගැන ලොව පැවති පොදු මතය මෙසේය, යුද සෙබළා යනු යන්ත්‍රයකි. සතෙකි. ඔහු මිනිසකුට වෙඩි තැබීම සඳහා දෙවරක්‌ කල්පනා කරන්නේ නැත. ඔහු ඕනෑම වධයක්‌ විඳීමට සූදානම්ය. වෙන කෙනකුට ඕනෑම වධයක්‌ දීමටද ඔහුට පුළුවන. ස්‌ත්‍රියක්‌ දූෂණය කිරීම ඔහුට කිසිදු ගණනක්‌ ඇති දෙයක්‌ නොවේ. ඔහු මස්‌ කයි. මත්පැන් බොයි. දුම් බොයි. අවශ්‍ය තැනදී පැවැත්ම උදෙසා මිනී මසුත් කයි·

මේක මෙහෙම නම් ඇත්ත වශයෙන්ම යුද සෙබළා යනු යකෙකි. නිකම් යකෙකු නොව මළ යකෙකි. ඒ වූ කලී පවතින ස්‌ථාපිතයයි. සිවිල් සමාජය තුළ සිදුවන මනුෂ්‍ය ඝාතනයකට හෝ ස්‌ත්‍රී දූෂණයකට යුද හමුදාවේ සිටින හෝ හමුදාවෙන් පැන ගිය සාමාජිකයකු සම්බන්ධ වූ විට ඒ බව කැපී පෙනෙයි. මිනීමරුවා වූ කලී ගුණපාල, යසපාල, ජයපාල හෝ ඥණපාල නොව යුද හමුදාවෙන් පැනගිය සෙබළෙකියි කී විට මිනිස්‌සු සන්ත්‍රාසයට පත් වෙති. 88 - 89 භීෂණයේදී ශ්‍රී ලංකා යුද හමුදාව සමග හරි හරියට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයත් ප්‍රා.සංවිධානයත් මිනී මැරූහ. මෙකී දෙවනුව කී සංවිධානවලට නිල ඇඳුම් නැතත් යුද හමුදාවට නිල ඇඳුම් තිබේ. ඒ නිසා සාමාන්‍ය ජනයා පැහැරගත් අයගේ මවුවරු යනාදීහු හමුදා නිල ඇඳුමට වෛර කරන්නට වූහ. 2009 යුද ජයග්‍රහණයේදී කිරිබත් උයා, හමුදාවට කැවුම් සමග කැවූ සාමාන්‍ය ජනයා 88 - 89 දී හමුදාවට හෙණ ඉල්ලූ බව අප මතක තබා ගත යුතුය. ඒ වූ කලී පෘථග්ජන ස්‌වභාවයයි.

මේ පෘථග්ජන චින්තනය තුළ ශ්‍රී ලංකා යුද හමුදාවට හිමි තැන එනම් යුද සෙබළා පිළිබඳ zරෝගීZ චිත්‍රය වෙනස්‌ කළ යුතු කාලය පැමිණ ඇත. මන්ද, අද පොදු වැඩ බොහොමයකට හමුදා ශ්‍රමය යොදාගනු ලැබේ. නගරාලංකරණය සහ සංවර්ධන කටයුතු සඳහා හමුදාවේ දායකත්වය පාවිච්චි කරනු ලැබේ. මේ නිසා රෝගී චිත්‍රය zනිරෝගීZ විය යුතුය.

මත්පැන්, දුම්වැටි හා අහිතකර ආහාර පානවලින් හමුදා සෙබළුන් වළක්‌වා ඔවුන් සෞඛ්‍ය සම්පන්න පිරිසක්‌ කිරීමට යුද හමුදාව කටයුතු යොදා ඇතැයි ඊයේ (22 දා) zදිවයිනේZ පළ විය. කොහොමටත් කලක පටන් යුද සෙබළුන්ගේ ආහාර සලාකයට හරක්‌ මස්‌ නිකුත් කරන්නේ නැත. ඔවුන්ට මත්පැන් හෝ සිගරට්‌ සලාකයක්‌ වෙන් කරන්නේද නැත. එහෙත් හමුදා කඳවුරු තුළ ඇති නිලධාරීන්ගේ සමාජ ශාලාවලින් එම නිලධාරීන්ගේ පරිභෝජනය සඳහා මුදලට මත්පැන් ලබාගත හැකිය. එයද සහන මිලකි. හෘදයාබාධ දියවැඩියාව යනාදිය හැදෙන්නේ සාමාන්‍ය සෙබළාට පමණක්‌ නොවේ. නිලධාරීන්ටත් ඒවා එහෙමම වැළඳෙයි. කොලෙස්‌ටරෝල් යනු අද මනුෂ්‍ය ශරීරය තුළ ඉතා සුලභ සංඝටකයකි. කොලෙස්‌ටරෝල් විසින් ළඟා කරවනු ලබන්නේ මරණය පමණක්‌ නොවේ. මරණයට පෙර දිය හැකි සියලු දස වධ, එනම් දියවැඩියාව දක්‌වා රෝග, වකුගඩු ආබාධ, අංශභාගය වැනි රෝග රැසකට මුල කොලෙස්‌ටරෝල්ය. නිවැරැදි මනසක්‌ ඇති යුද සෙබළකු සැදීමට නම් ඔහු නිරෝගී කයක්‌ ඇති පුද්ගලයකු විය යුතුය. ආමි එකෙන් පැන එන එකා බේබද්දකු නම් ඔහු සිය රෝගී මනස සහ රෝගී චර්යාව මෙහෙයවා ගෙවල් බිඳියි. මං පහරයි. ස්‌ත්‍රී දූෂණ කරයි. ඔහු බේබද්දකු, කුඩ්ඩකු, ධූමපානය කරන්නකු නොවන්නේ නම් වරදක්‌ කරන්නට පෙර නැවත වතාවක්‌ හිතයි. හමුදා සෙබළා ගැන පළමු ලෝක යුද සමයේ පැවති චිත්‍රය තවදුරටත් වලංගු කරගත යුතු නැත. මේ චිත්‍රය යළිත් අලුතෙන් ඇඳිය යුතුය.

 

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.