කැසිනෝ හෘද සාක්‍ෂිය

නන්ද සෙනෙවිරත්න

රටක දියුණුව එරට මහජනතාවගේ දැණුනු අවශ්‍යතාව නිසි පරිදි හඳුනාගෙන පාලකයන් විසින් සම්මතයන් මත පිහිටා කළ යුතුව ඇත. මෙම ක්‍රියාවලිය එතරම් සරල එකක්‌ නොවෙයි. රටේ පාලකයන් පැහැදිලි ගැඹුරු දැක්‌මක්‌ සහිතව රට ගෙන යායුත්තේ කෙබඳු දිසාවකට ද යන්න අවබෝධ කරගෙන තම මෙහෙවර ජනතාව සඳහා ඉටු කිරීමට සූදානමින් සිටීම ඉතා වැදගත්, දේශපාලනඥයා රටේ දේශපාලන ඉතිහාසය, ආර්ථික ඉතිහාසය, ආගමික ඉතිහාසය මෙන්ම සංස්‌කෘතික ඉතිහාසය හොඳින් හදාරා ඒ අනුව සකස්‌ කරගත් චින්තනයක්‌ හරහා රට මෙහෙයවීමට උත්සාහයක යෙදෙන චරිතයක්‌ සේ දැකීමට අපි පොදු ජනතාව වශයෙන් අපේක්‍ෂා කරන්නෙමු.

මෙම ලිපියේ ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජිත කැසිනෝ ක්‍රීඩාව සම්බන්ධයෙන් විග්‍රහයක්‌ කිරීමත් සමඟ එම ක්‍රීඩාව අපේ රටට අත්‍යවශ්‍ය ද යන්න ගැන මතයක්‌ ප්‍රකාශ කිරීමයි. අදාළ ප්‍රස්‌තුතය ඔස්‌සේ කරුණු ඉදිරිපත් කිරීමට පෙර කැසිනෝ ක්‍රීඩාව ක්‍රියාත්මක කිරීමට යන මෙරට සංස්‌කෘතික වටපිටාව කෙබඳු එකක්‌ දැයි මතක්‌ කරගැනීම අත්‍යාවශ්‍ය යෑයි සිතමි.

බෞද්ධ දර්ශනය හරහා පෝෂණය වූ සමාජ ආර්ථික හා සංස්‌කෘතික වටපිටාවකට අපි නෑකම් කියන්නෙමු. එම දර්ශනයෙන් උකහාගත් හර පද්ධතියකට අනුව ජීවිත ගොඩනගා ගැනීමට අවශ්‍ය අවවාද, අනුශාසනා මඟපෙන්වීම් ගරුතර මහා සංඝරත්නයෙන් දිනපතා විවිධ මාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය කරනු ලැබේ. අන්‍ය ආගමික නායකයෝද රටේ යහපැවැත්ම, සහජීවනය පිළිබඳව දේශනා කරති.

තාර්කික විද්‍යාත්මක පදනමක්‌ සහිත බෞද්ධ දර්ශනය ලෝකයට බෙදාහැර මිනිස්‌ ජීවිත උදාර අදහස්‌ සිතුවිලිවලින් පුරවා සාමකාමී සාර්ථක දිවි පෙවතක්‌ ගත කරන අයුරු ඉගැන්වීමට කටයුතු කරන රටකි ශ්‍රී ලංකාව. එම ගැඹුරු දර්ශන, බෞද්ධ චින්තනය ආරක්‍ෂා කිරීමට, ඒ අනුව රට පාලනය කිරීමට පාලකයෝ බැඳී සිටිති. පොරොන්දු වී සිටිති. ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙතැයි පොදු බහුතර ජනතාව විශ්වාස කරති. මෙබදු පසුබිමක්‌ යටතේ කැසිනෝ ක්‍රීඩාව, සූදුව මෙරටට හඳුන්වාදීමට අදහසක්‌ පහළ වූයේ කාගේ අවාසනාවකටද යන ප්‍රශ්නයට පිළිතුරක්‌ අපිම සොයාගත යුතුව ඇත. හේතුව ප්‍රශ්නයට මැදි වූ අයයි ඊට වඩාත් යෝග්‍ය පිළිතුර දන්නේ.

කැසිනෝ යනු කුමක්‌ද?

වචනාර්ථය දෙස බැලුවොත් කැසිනෝ යනු හෝටල්, ආපන ශාලා, සාප්පු සංකීර්ණ, විනෝදාංශ ක්‍රියාකාරකම්, ක්‍රීඩා හා සූදු ඇතුළත් ගොඩනැඟිල්ලකි. (අන්තර්ජාලය).

වාග් විද්‍යාත්මකව කැසිනෝ යනු කුඩා බංගලාවක්‌, කැසිනෝ ක්‍රීඩාව, සූදුව පවත්වන තැන්වල සංගීත ප්‍රසංග, සුරා සල්, දුම්පානය අවශ්‍ය පහසුකම් ද සපයනු ලැබේ. සරළව කියනවානම් කැසිනෝ යනු මැෂින් භාවිතා කොට කරනු ලබන සූදුවකි. පෝකර් ක්‍රීඩාව, බ්ලැක්‌ජැක්‌ ක්‍රීඩාව පවත්වාගෙන යනු ලබන ස්‌ථානයකි. වර්තමානයේ පරිගණක තාක්‍ෂණයේ දියුණුවත් සමඟ පරිගණක හරහා ද මෙම ක්‍රීඩාවල යෙදීමට පහසුකම් සලසා ඇත. මේ සියල්ල සූදු ගනයෙහිලා සලකනු ලැබේ. ඒවා නීත්‍යානුකූල ද නැද්ද යන වග තීරණය කරන්නේ ඒවා පවත්වාගෙන යන රටවල නීතිය අනුවයි.

කැසිනෝ ක්‍රීඩාව/ සූදුව හා ආර්ථික වර්ධනය

කැසිනෝ ක්‍රීඩාව නැතහොත් සූදුව නිසා ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක්‌ කරා ගමන් කළ හැකි බව ඒ වෙනුවෙන් පෙනී සිටින අයට තර්ක කළ හැක. එම තර්කය පිළිබඳව තර්කයක්‌ නොමැත. තර්කයට ගැලපෙන නිසාම සියල්ල පිළිගැනීමේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළ යුතුද?

ආසියාවේ කැසිනෝ සූදුව මේ වන විට ක්‍රියාත්මක වෙන රටවල් තුනක්‌ ඇත. ඒවා නම්

1. දකුණු කොරියාව

2. වියට්‌නාමය හා

3. නේපාලය

මේ රටවල් තුන අතරින් දකුණු කොරියාව හා වියට්‌නාමය කැසිනෝ සූදුව මඟින් විශාල වශයෙන් විදේශීය මුදල් අද්දවාගෙන ඇති බව සංඛ්‍යාලේඛන උපුටා දක්‌වන අය පෙන්වා දෙති.

දකුණු කොරියාව 2011 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක්‌ උපයාගෙන ඇත. වියට්‌නාමයේ කැසිනෝ මධ්‍යස්‌ථාන 09 ක්‌ දැනට පවත්වාගෙන යනු ලැබේ. මේ සියල්ල "විදේශිකයන්ට පමණයි" යන ප්‍රතිපත්තිය මත ක්‍රියාත්මක කරගෙන යනු ලැබේ.

මේ රටවල් 03 ට අමතරව සිංගප්පූරුවේ ද කැසිනෝ සූදුව නීතිගත කර ඇති අතර 2011 වසරේ එරට ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 5.0 ක්‌ බව ගණන් බලා තිබේ.

මේ ආර්ථික වාසි කොතරම් වුවත් අප ඉදිරියේ ඇති ප්‍රශ්නය කෙටි කාලීන වාසි තකා අපේ සමාජය තරුණ පරපුර සෝදා පාලුවකට ලක්‌වීමට ඉඩ දෙනවාද? නැතහොත් කෙටි කාලීන විසඳුම් අමතක කොට සමාජයට විනකරන, සමාජ පරිහානියට පාර කපන දුසිරිත්වලින් අනාගත පරපුර රැකගන්නවාද යන්නයි.

රටේ සම්පත්වලින් 75% ක්‌ පමණ කේන්ද්‍රගතවී තිබෙන්නේ 25% ක්‌ තරම් වූ සුළුතරයක්‌ ළඟ බව පැහැදිලි සත්‍යයකි. කැසිනෝ සූදුවෙන් අත්විය හැකි වාසි අත්වන්නේ නාගරික හෝ අර්ථ නාගරික ප්‍රජාවටයි. මේ සූදුව නිසා තවමත් සම්පත් බෙදී යැමේ අසමානතාවයකට මුහුණ දී සිටින දුප්පත්කම අධික අනුරාධපුර, මොනරාගල, පුත්තලම වැනි දිස්‌ත්‍රික්‌කවලට සෙතක්‌ වේද? ඒවායේ වෙසෙන තරුණ පරපුරේ ප්‍රශ්නවලට පිළියම් ලැබේද? නැත. ඇතැම් විට කැසිනෝ සූදුව ත්‍රස්‌තවාදයට වඩා භයානක උවදුරක්‌, පිළිලයක්‌ විය හැකියි. ත්‍රස්‌තවාදය රටේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල දරුණු ලෙස ක්‍රියාත්මක විය. කැසිනෝ සූදුව හඳුන්වා දුනහොත් අප රට පුරාම පැතිරී ගොස්‌ රුදුරු උවදුරක්‌ බවට පත් වී විශේෂයෙන් තරුණ පරපුර ඊට ගොදුරු වුවහොත් එම දරුවන්ගේ දෙමාපියන් නගන චෝදනාව, සෝසුසුම්, අෙ¹aනාව වස්‌ කවියකට වඩා දරුණු විය හැකියි.

මේ රටේ ක්‍රමිකව සිදුවෙන ආර්ථික සංවර්ධනය විදේශිකයන්ගේ අතට පත්වුවහොත් අපට ඔවුන්ගේ පදවලට නැටීමට සිදුවෙන බව කිසිදු සැකයක්‌ නොමැත. මෙරට ආර්ථිකය මෙහෙයවීමේ වගකීම් අපේ රටේ බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන් සතුවිය යුතුය.

කොළඹ වැනි නගරයක්‌ මධ්‍යයේ කැසිනෝ මධ්‍යස්‌ථාන පැවැත්වීමට නීතිමය අවසර ලබාදීමෙන් ඒවායේ දුර්විපාකවලට මුහුණ දෙන්නේ අගනුවර හා තදාසන්න ප්‍රදේශවල ජීවත්වෙන තරුණ ප්‍රජාවයි. සල්ලිකාර පවුල්වල තරුණ තරුණියන් මෙම ව්‍යසනයට ගොදුරුවීමට ඇති ඉඩ කඩ බොහෝය.

ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කර නැත. කැසිනෝ සූදුවත් සමඟ කාන්තා පරපුරට අත්වෙන ඉරණම කුමක්‌ද? අපට ආසන්නව පිහිටා තිබෙන මදුරාසි නගරය 2025 දී ඒඩ්ස්‌ අගනුවර වෙතැයි ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධාන දැනටමත් අනතුරු ඇඟවීම නිකුත්කර ඇත. කැසිනෝ සූදුවේ මුවාවෙන් මෙරටට පැමිණෙන දකුණු ඉන්දියානු සංචාරකයන්ගේ මාර්ගයෙන් ඒඩ්ස්‌ වෛරසය පැතුරුණ හොත් එම උවදුරට මුහුණදීමට උපයාගත් ඩොලර් ප්‍රමාණවත් වෙයිද? නැත. දකුණු කොරියාවේ කන්ග්මොං සංචාරක නිකේතනය පිහිටා තිබෙන්නේ සියොල් අගනුවරෙන් ඈත එපිට දුෂ්කර ප්‍රදේශයකයි. ඊට ප්‍රධාන හේතුව දකුණු කොරියානු ජනයා එහි යැම අවම කිරීමටයි. එහෙත් දිනපතා 10,000 ක්‌ පමණ එහි යන බව වාර්තා වී ඇත. බොහෝ රටවල කැසිනෝ ප්‍රධාන ජනාකීර්ණ නගරවලින් ඈත ස්‌ථානගත කර තිබෙන්නේ එම සූදුව නිසා සෘජු හා වක්‍රව සිදුවන හානි අවම කිරීමේ ෙච්තනාවෙනි.

අපේ රටේ පවුල් සංස්‌ථාව ඉතා ප්‍රබල එකකි. දැන් දැන් දික්‌කසාද වීමේ ප්‍රවණතාවය වැඩිවීමක්‌ දක්‌නට ඇතත් බටහිර රටවලට සාපේක්‍ෂව මෙරට බහුතරයක්‌ දෙමාපියෝ තම තමන්ගේ ආගමික පසුබිමේ පිහිටා දරුවන්ට යහමඟ පෙන්වා දීමට ඔවුන් සමඟ සතුටින්, සාමයෙන් ගත කිරීමට වෙර දරති. කැසිනෝ වැනි සූදුවකට ඇබ්බැහිවෙන මවෙක්‌, පියෙක්‌ තම පවුල පිළිබඳව සිතනවාට වඩා සූදුවට මුදල් සොයා ගැනීමේ ප්‍රමුඛතාවය දුන් බවට ප්‍රබල සාධක දැනටමත් මෙම ව්‍යසනයට ගොදුරු වූ අනෙක්‌ රටවලින් සොයා ගැනීමට හැකි වී තිබේ.

කැසිනෝ හරහා අපේ රටේ පෙර නොවූ විරූ අපරාධ, වෙඩිතබා ගැනීම්, දරුණු මංකොල්ලකෑම්, සොරකම් තරුණයින් අතර ප්‍රචලිත වීමේ සම්බන්ධතාවයක්‌ ඇත.

අපේ අතීත හෙළ දරුවන්, හෙළ විරුවන් ජීවිත පරිත්‍යාගයෙන් ආරක්‍ෂා කළ ඒ නිර්මල බුදු දහම, සංස්‌කෘතික හර පද්ධතිය අනාගත පරපුරට දායාද කිරීමට අපේක්‍ෂා කරනවා නම් අද අපට පැවරී තිබෙන වගකීම් භෞතිකවාදයට නැඹුරු නොවී මෙතෙක්‌ පවත්වාගෙන ආ ආධ්‍යාත්මික සංවර්ධනය ආරක්‍ෂා කිරීමයි. ධර්මිෂ්ඨ සමාජයෙන් තොර වූ විට ශේෂවන්නේ තිරිසන් සමාජයකි. අපට තිබෙන වටිනා දර්ශනය පසෙකලා එය අමතකකොට අපට යෝග්‍ය නොවන සමාජයට නොගැලපෙන, විසඳුම් සොයා යැමේ කෙළවර ඉතිරිවන්නේ පසුතැවිල්ලයි. මානසික ව්‍යාකූලතාවයයි. එවිට ඔබට වැටහේවි දියුණුව යයි ඔබ අල්ලා ගෙන තිබෙන්නේ කොටි වලිගයක්‌ බව.

කැසිනෝ සූදුවෙන් ලබන දියුණුව තාවකාලිකය. සමාජය විශාල අර්බුද රැසකට ඇද දමා ලබන ආර්ථික දියුණුව කුමටද? අධික මුදල් සඳහා ඇති ආශාව නිසා ගුණ ධර්ම පිරිහී යයි. පවුල් ඒකකය දෙදරා ගොස්‌ දරුවන් වල්මත් වන ගතියක්‌ උදාවෙයි. දුසිරිත රජ කිරීම නිසා ආගමික මධ්‍යස්‌ථානවල අගය දිනෙන් දින බාල්දු වී යයි. කළහකාරී ගැටුම්වලින් පිරි සමාජයක්‌ ක්‍රමයෙන් නිර්මාණය වෙයි. හරපද්ධතිය සාරධර්ම පිරිහී යැම නිසා වැඩිහිටියන්ට ගරු නොකරන පරපුරක්‌ ක්‍රමයෙන් බිහිවීමත් සමඟ ඇතැම් විට භෞතික වශයෙන් දියුණු ආධ්‍යාත්මික වශයෙන් පිරිහුණු රෝගී සමාජයක්‌ නිර්මාණය වුවහොත් එදාට ඔබගේ හෘදය සාක්‍ෂියම ඔබට දොස්‌ කියාවි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.