සියලූම දේශපාලන පක්‌ෂවල කැමැත්ත ලැබේ නම්
මම පොදු අපේක්‌ෂක වෙන්නම්....
මාදුළුවාවේ සෝභිත නා හිමියෝ පවසති

දයා ලංකාපුර

සියලුම දේශපාලන පක්‍ෂවල කැමැත්ත ලැබෙන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයට විපක්‌ෂයේ පොදු අපේක්‍ෂක වශයෙන් තරග කිරීමට තමන් ඉදිරිපත් වන බව සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ මේ බව පැවැසුවේ කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ ඊයේ (19 දා) පැවැති මාධ්‍ය හමුවේදීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය පැවරෙන අගමැති හා ඇමැති මණ්‌ඩලයකින් සමන්විත පාලන ක්‍රමයක්‌ මෙරටට වහාම අවශ්‍යයි. එය ඉටුකළ හැක්‌කේ සියලු පක්‍ෂවල සහාය ඇතිව ඉදිරිපත් වී ජයගන්නා පොදු අපේක්‍ෂකයකුට පමණයි. එම පොදු අපේක්‍ෂකයා ජනාධිපතිවරණයෙන් ජයගෙන මාස 6 ක්‌ ඇතුළත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කොට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් පසු යළි මහ මැතිවරණයකට යා යුතු" බවද සෝභිත හිමියෝ පැවසූහ.

"ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ "මහින්ද චින්තනයේත්" 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ "මහින්ද චින්තන ඉදිරි දැක්‌මේත්" විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නා බව සඳහන්කොට තිබෙනවා.

"ඒ නිසා ජනාධිපතිවරණයකට නොගොස්‌ දැනටමත් පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක්‌ තිබෙන බැවින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර 17 වැනි සංශෝධනය යළි ක්‍රියාත්මක කිරීමට එතුමාට පුළුවන්. වර්තමාන මැතිවරණ ක්‍රමයද වෙනස්‌ කළ යුතුයි.

"මේ රටේ මහනායක හිමිවරුන්, අගරදගුරුතුමන් ඇතුළු කතෝලික සභාව, ආණ්‌ඩුවේම හවුල්කාර පක්‍ෂ හා සමහර මැති ඇමැතිවරු ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය මගින් සුළු ජාතීන්ට ආරක්‍ෂාව සැලසෙනවා යෑයි පවසමින් එය ආරක්‍ෂා කරමින් කතා කළ දෙමළ, මුස්‌ලිම් පක්‍ෂ ද දැන් තමන්ට ඉන් රැකවරණ නොලැබෙන බව පෙනී ගොස්‌ ඇති නිසා එය අහෝසි කළ යුතු යෑයි කියා සිටිනවා."

"ජනාධිපතිතුමා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගත්තොත් යුද්ධය අවසන් කිරීම නිසා එතුමාට ලැබුණු කීර්තියට වඩා වැඩි ජනප්‍රසාදයක්‌ එතුමාට ලැබේවි" යෑයි ද සෝභිත හිමියෝ තවදුරටත් ප්‍රකාශ කළහ.

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා - විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා කැපවීමෙන් ක්‍රියාකරන පොදු අපේක්‍ෂකයකු අවශ්‍යයි. එම පොදු අපේක්‍ෂකයාගේ මැතිවරණ ප්‍රකාශනයට ඔහු ජයගෙන මාසයක්‌ ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ව්‍යවස්‌ථා සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. මාස 6 ක්‌ ඇතුළත එය සම්මත කොට ක්‍රියාත්මක කළ යුතු අතර ඒ බවද මැතිවරණ ප්‍රකාශනයේ ඇතුළත් කළ යුතුය.

පාර්ලිමේන්තු ක්‍රමය යළි ක්‍රියාත්මක වූ විට ජනාධිපති ධුරය නාමික තනතුරක්‌ බවට පත්වෙනවා. සියලු බලතල පාර්ලිමේන්තුවට වගකියන අගමැතිට හා ඇමැති මණ්‌ඩලය සතුවෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා - ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයකු විපක්‍ෂයෙන් ඉදිරිපත් කළ යුතුයි. ඒ අභියෝගය භාරගැනීමට සෝභිත හාමුදුරුවෝ සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් මාදුළුවාවේ සෝභිත හිමියෝ සියලු පක්‍ෂ එකතුවී පොදු අපේක්‍ෂකයකු තෝරාගත යුතුයි. ඒ සඳහා සුදුස්‌සකු සිටීනම් ඔහුට උදව් කිරීමට අප සූදානම්. පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වන ලෙස මගෙන් ඉල්ලීමක්‌ කළොත් මා එම ඉල්ලීම භාරගන්නවා යෑයි පැවසූහ.

නීතිඥ රවි ජයවර්ධන මහතා ද මෙහිදී අදහස්‌ දැක්‌වූ අතර සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයෝ පිරිසක්‌ ද මෙම අවස්‌ථාවට සහභාගි වී සිටියහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.