වටරැක විජිත හිමිගේ අත් පා බැඳ
පහරදී හිරණ පාලම අසල දමා ගිහින්


පොලිසියෙන් රෝහල්ගත කරලා

චමින්ද සිල්වා, වාද්දුව සිරිසෝම සුසෙව්හේවා, පානදුර විජිතා ලියනගේ

මහිංයගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මෙන්ම ජාතික බලසේනා කැඳවුම්කරු වටරැක විජිත හිමියන් නාඳුනන කණ්‌ඩායමක්‌ විසින් පැහැරගෙන ගොස්‌ සිවුරු ගලවා පහර දී අත් පා බැඳ දමා පානදුර හිරණ පාලම ආසන්නයේ දමාගොස්‌ සිටියදී ඊයේ (19 වැනිදා) පෙරවරුවේ පානදුර පොලිසියට හමුවී ඇත.

හිරණ පාලම අසල මුරපළේ රාජකාරි කරමින් සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනා අසලට ඊයේ පෙරවරු 6.00 ට පමණ පුද්ගලයකු පැමිණ අත් පා බැඳ දැමූ පුද්ගලයකු වැටී සිටින බව දැනුම්දී ඇත. ඒ අනුව පොලිස්‌ නිලධාරීන් දෙදෙනා එම ස්‌ථානයට ගොස්‌ එම පුද්ගලයාගේ බැමි ලිහා දමා ඇත.

එහිදී පොලිස්‌ නිලධාරීන් ඔහු කවුදැයි බැමි ලිහූ පුද්ගලයාගෙන් විමසා ඇතත් ඔහු කිසිත් නොදොඩා අපහසුතාවන්ගෙන් පසුවී ඇත. පොලිස්‌ නිලධාරීන් අවට සෝදිසි කිරීමේදී ජාතික හැඳුනුම්පතක්‌ වැටී තිබී අහුලාගෙන එය පරීක්‍ෂා කිරීමේදී වටරැක විජිත හිමි ලෙස හඳුනාගෙන ඇත.

පොලිසිය විජිත හිමියන් පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා උන්වහන්සේ ජාතික රෝහලට යවා ඇත. විජිත හිමියන්ට පහරදුන්නේ මුස්‌ලිම් ජාතිකයන් දැයි රෝහලට ගෙන යන අතරමගදී පානදුර මුලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මහේෂ් පෙරේරා මහතා විසින් විමසා ඇති අතර පහර දුන්නේ මුස්‌ලිම් ජාතිකයන් නොවන බව උන්වහන්සේ පවසා ඇත.

තමන් ගමන් කළ වෑන් රථය සහ රියදුරු නොමැති බවත් ඒ ගැන සොයා බලන ලෙසත් විජිත හිමියන් කළ ප්‍රකාශය අනුව එම වෑන් රථය සහ රියදුරු සොයා ගැනීමට පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

විජිත හිමියන් පැහැර ගත්තේ කෙසේද? කවුරුන් විසින්ද යන්න පිළිබඳව උන්වහන්සේ ගෙන් ඊයේ දහවල් වනතෙක්‌ ප්‍රකාශයක්‌ ලබාගැනීමට නොහැකි වූ නිසා නිශ්චිත යමක්‌ ප්‍රකාශ කළ නොහැකි බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. හිමියන් ඇඳ සිටි සිවුරද ඒ අසල තිබී සොයාගෙන තිබිණි.

රෝහල්ගත කර සිටින විජිත හිමියන්ගේ ශරීරයේ තුවාල කිහිපයක්‌ දක්‌නට ලැබුණද එම තුවාල බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙක්‌ ''දිවයින''ට පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.