මහින්ද හමු උනත් රනිල් හමු උනත් අපි සුහදව කතාකරනවා..
- කේ. ඩී. ලාල්කාන්ත

* ඒ අපේ සංස්‌කෘතිය ඒ ගොල්ල එක්‌ක අපට ගනුදෙනුවක්‌ නෑ
* චන්ද්‍රිකාව දැන් මාර්කට්‌ කරන්න බෑ

කේ. ඩී. ලාල්කාන්ත මහතා ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌. වෘත්තීය සමිති මධ්‍යස්‌ථානයේ නායකත්වය දරමින් කම්කරු සටන් ද මෙහෙයවන ඔහු බස්‌නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස අද කටයුතු කරයි. ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභිකයකු ද වන කේ. ඩී. ලාල්කාන්ත මහතා සමඟ කළ සාකච්ඡාවක සටහන් මතු දැක්‌වේ.

ප්‍රශ්නය - ජනතා විමුක්‌ති පෙරමුණ සූදානම් වන්නේ ජනාධිපතිවරණයකටද නැත්නම් මහ මැතිවරණයකටද?

පිළිතුර - පළමුව ඌව පළාත් සභා ඡන්දයට. දෙවනුව ජනාධිපතිවරණයකට. තෙවනුව මහ මැතිවරණයකට.

ප්‍රශ්නය - ඔබේ පක්‍ෂය මෙවරත් බලාපොරොත්තු තබා තිබෙන්නේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයකු කෙරෙහි ද?

පිළිතුර - පසුගිය දකුණ හා බස්‌නාහිර පළාත් සභා ඡන්දය අවසන් වෙද්දී සහ ඊට පෙරත් ඊට පසුවත් ගෙවුණු ආසන්න කාලයේදීත් මහින්ද රාජපක්‍ෂ විරෝධී බලවේගවල සහ ඡන්ද දායකයන්ගේ මූලික වුවමනාව බවට පත්ව ඇතැයි අප හඳුනා ගත්තේ පොදු අපේක්‍ෂකයෙක්‌ මගින් මේ ආණ්‌ඩුව බිඳ වැට්‌ටවීමේ අවශ්‍යතාව. යන හැම තැනම හමුවන හැම කෙනකුම විමසුවේ "කට්‌ටියට එකතු වෙලා මොකක්‌ හරි කරන්න බැරිද? කොහොම හරි පොදු අපේක්‍ෂකයෙක්‌ දාන්න මැදිහත් වෙන්න" කියන අදහසයි. අපිත් කල්පනා කරමින් හිටියා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟÊවන, ඉන් පසුව දාහත්වැනි සංශෝධනය නිsසි පරිදි ක්‍රියාත්මක කර යම් ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක්‌ ස්‌ථාපිත කර මාස 6 ක්‌ තුළ පාර්ලිමේන්තු ඡන්දයකින් ජනතාවට කැමැති ආණ්‌ඩුවක්‌ තෝරා ගැනීමට අවස්‌ථාව ලබා දිය යුතුය යන අදහස. ඒ වෙද්දී එක ජනාධිපති අපේක්‍ෂකයෙක්‌ හිටියා. ඒ මහින්ද රාජපක්‍ෂ. පොදු අපේක්‍ෂයකු ලෙස සමාජය තුළ සාකච්ඡා වුණා මාදුළුවාවේ සෝභිත හිsමි, චJද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග, තවත් සුළු වශයෙන් ශිරාණි බණ්‌ඩාරනායකගේ නම, කුමාර සංගක්‌කාරගේ නමත් කියෑවුණා. මේ වෙද්දී ඒ සාකච්ඡාව අවසන් වෙලා. ඒ අවසන් කිරීම කළේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයයි. ඔවුන් පැහැදිලිව කිව්වා එජාප අපේක්‍ෂකයෙක්‌ ඉදිරිපත් කරනවා ඒ රනිල් වික්‍රමසිංහ කියලා. දැන් පොදු අපේක්‍ෂක කතාව ඉවරයි. පොදු අපේක්‍ෂකයෙක්‌ යනු ජවිපෙටත්, එජාපයටත්, අනෙකුත් ආණ්‌ඩු විරෝධී සියලු බලවේගවලටත් එකඟ විය හැකි, විශ්වාසය තැබිය හැකි කෙනෙක්‌. රනිල් වික්‍රමසිංහ කියන්නේ එවැනි විශ්වාසය තැබිය හැකි කෙනෙක්‌ නොවේ.

ප්‍රශ්නය - අනුර කුමාර දිසානායක ජනපති අපේක්‍ෂකයා වන බවක්‌ කියෑවෙනවා?

පිළිතුර - ඇතමුන් අපිට යෝජනා කරනවා සහ ප්‍රකාශ කර තිබෙනවා අනුර කුමාර දිසානායක සහෝදරයා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීම වඩාත් විශ්වාසනීයයි කියා. ජවිපෙ අපි තවම එවැනි තීරණයකට පැමිණ නෑ. රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙනවා නම්, මහින්ද රාජපක්‍ෂ මහතාත් ඉදිරිපත් වෙනවා නම් මේ විශ්වාසය තැබිය නොහැකි දෙදෙනාම පරාජය කළ හැකි ජනතාවාදී වැඩපිළිවෙළක්‌ ඉදිරිපත් කරනවා යන පදනම මත අනෙකුත් බලවේග එකතු කරගත් පොදු අපේක්‍ෂකයෙක්‌ ඉදිරිපත් කරන්න අපට සිදුවේවි. එවන් තත්ත්වයක්‌ තුළ රනිල්, මහින්ද එක පැත්තකට දාලා එතැනින් හරියටම ඉරක්‌ ඇඳලා අනෙක්‌ පැත්තට සියලු බලවේග පෙළගස්‌වන වැඩපිළිවෙළක්‌ හැර වෙන උත්තරයක්‌ අපට නෑ.

ප්‍රශ්නය - ඔය කියන ඉර අනෙක්‌ පැත්තේ ඉන්න පුද්ගලයා අනුර කුමාර දිසානායක විය හැකියි?

පිළිතුර - ඇතැම් විට විය හැකියි. නමුත් පක්‍ෂය එහෙම තීරණයක්‌ අරගෙන නෑ.

ප්‍රශ්නය - තීරණයක්‌ ගන්න ඉඩ තියෙනවා.?

හිස සලා එය අනුමත කරයි.

ප්‍රශ්නය - ජවිපෙ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංගට සහාය දුන්නා. මහින්ද රාජපක්‍ෂට සහාය දුන්නා. සරත් ෙෆdන්සේකාටත් සහාය දුන්නා. ඇයි එහෙනම් එක වතාවක්‌ හෝ රනිල් වික්‍රමසිංහට සහාය දෙන්න බැරි?

පිළිතුර - ඇත්තටම චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංගට සහාය දුන්නා නොවේ. අපට තිබූ ඉතා පුංචි ඡන්ද ප්‍රමාණය පාවිච්චි කරලා විධායක ජනාධිපතිකම අහෝසි කරන බවට පොරොන්දුවක්‌ සමාජයට අරන් දුන්නා. එය කිසි ලෙසකටත් ජවිපෙ ඇයට කළ උදව්වක්‌ නොවේ. ඇයට කළ ලොකුම අගතියක්‌ තමයි මේ පොරොන්දුව ලබා ගැනීම. මේ දවස්‌වල චන්ද්‍රිකා බණ්‌ඩාරනායක නම කියෑවෙද්දී මට හොඳ උදාහරණයක්‌ මතක්‌ වෙනවා. වෙළෙඳපොළේ තියෙනවා එක්‌ස්‌පයර් වූ (කල් ඉකුත් වූ) ඒත් ඉවත් නොකළ භාණ්‌aඩ. එතුමියත් ඒ වගේ. දිනය බලලා භාණ්‌ඩ ගන්නා අය කල් ඉකුත් වූ බඩු ගන්නෙ නෑ. ඇය පොදු අපේක්‍ෂකයකුට කිසිම අදාළත්වයක්‌ නෑ, ඇයව දැන් මාර්කට්‌ කරන්න බෑ. මහින්ද රාජපක්‍ෂ මහතාටත් අපි උදව් කළා නොවේ. එදා රනිල් වික්‍රමසිංහ ප්‍රභාකරන් සමඟ තැපෑලෙන් අපේ රටේ කොටසක්‌ කොටි ත්‍රස්‌තවාදීන්ට ලියා දෙන ගිවිසුම අත්සන් කළා. නිසැකවම ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණා නම් වෙනම ඊළමක්‌ බිහිවෙනවා. රනිල් වික්‍රමසිංහ අද දක්‌වා ඒ ගැන කනගාටුව පළ කරලා නෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ බෙදුම්වාදී දේශපාලන මූලධර්ම පිළිගන්නා අයෙක්‌. එතුළින් ලංකාවේ ජාතික ගැටලුවට විසඳුම් සෙවිය හැකිය කියා ඔහු අදහනවා. එවැන්නෙක්‌ පොදු අපේක්‍ෂකයකු ලෙස තෝරා ගන්න ජවිපෙට පිස්‌සු නෑ. එදා මහින්ද රාජපක්‍ෂ මහතාව ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය. ඔහු අපේ අපේක්‍ෂකයා වුණේ නෑ. එදා ඒ පක්‍ෂය නිමල් සිරිපාල ද සිල්වාව ඉදිරිපත් කළා නම් ඔහුටත් අපේ සහාය දක්‌වනවා. ඒ නිසා මහින්ද රාජපක්‍ෂට උදව් කළා කියන එක දේශපාලනමය වශයෙන් වැරදියි. වුවමනා වුණේ රනිල් ප්‍රභා බෙදුම්වාදී වැඩපිළිවෙළ පරාජය කිරීමේ ආරම්භක පියවර ගන්න. ආරම්භක කියා කිව්වේ තවම එය පරාජය කර නැති නිසයි. එකවරක්‌ හැර යළි ජනාධිපති ඡන්දය තියන්නෙ නෑ, විධායකය අහෝසි කරනවා කියා මහින්ද රාජපක්‍ෂ දුන් පොරොන්දුව මුළුමනින් ම කඩ කර ඔහු යන්න සූදානම් වූ ගමන අප වටහා ගත්තා. එවෙලේ මහින්දගේ ඒ ගමන ආපස්‌සට හරවන්න සරත් ෙෆdන්සේකා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වෙද්දී අපි ඊට සහාය වුණා. ඒකත් කිසිසේත් ම සරත් ෙෆdන්සේකාට දුන් සහායක්‌ නොවේ. අවසන් වරට ගත්තොත් තවදුරටත් මේ වර්ගයේ අයට කිසිදු ආකාරයක සහායක්‌ දීමට ජවිපෙ කිසිසේත් සූදානම් නෑ.

ප්‍රශ්නය - මෙවර එජාප අපේක්‍ෂකයා රනිල් වික්‍රමසිංහ මහතායි. මහින්ද රාජපක්‍ෂ ගෙදර යන්න කියා කෑ ගසන ජවිපෙ කළ යුත්තේ ප්‍රධාන විරුද්ධ පක්‍ෂයේ අපේක්‍ෂකයාගේ ඡන්ද ගොඩ වැඩි කිරීම නොවේද?

පිළිතුර - නැහැ.. ඔහු ප්‍රධාන විරුද්ධ පක්‍ෂයේ අපේ නායකයා නොවේ. ඔහු යූ.එන්.පී. නායකයා සහ පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක්‌ තියෙන විපක්‍ෂයේ කෙනා නිසා විපක්‍ෂ නායක කියන නම දාගෙන ඉන්නවා. ඊට එහා ඔහු පසුගිය කාලය තුළ කළ විපක්‍ෂ නායකකමක්‌ ගැන සමාජයවත්, රටවත් දන්නෙ නෑ. ඔහු නික්‌ම්ම නිකං නාමික විපක්‍ෂ නායක. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් විපක්‍ෂ නායක කාර්ය භාරය කළේ අනුර කුමාර දිසානායක. විපක්‍ෂයක කාර්ය භාරය ක්‍රියාත්මක කළ පක්‍ෂය ජවිපෙ.

ප්‍රශ්නය - ඔහොම කතා කළාට ජවිපෙ ඔබලා කිහිපදෙනෙක්‌ හොර රහසේ රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාපයේ ඇතැම් මන්ත්‍රීවරු සමඟ ගනුදෙනු කරනවා.

පිළිතුර - නිල වශයෙන් ජවිපෙ රනිල් වික්‍රමසිංහ හෝ එජාපයේ වෙනත් කිසිවකු සමඟ කිසිදු සාකච්ඡාවක්‌ කරලා නෑ.

පාර්ලිමේන්තු ලොබියේදී, තේ බොද්දී, කෑම කද්දී එජාප නායකයන් හමුවෙනවා. ඒ අය සමඟ අපේ සහෝදරවරු කතා කරනවා. ඒවා කිසිසේත්ම හොර රහසේ කරන වැඩ නොවේ. මට රනිල් වික්‍රමසිංහ මහත්තයා හමුවුණොත් "හලෝ හව් ආ යූ" කියා අතට අත දෙනවා. මහින්ද රාජපක්‍ෂ මහත්තයා හමුවුණත් එහෙමයි. ඒ අපේ සංස්‌කෘතිය. හිනාවෙනවා කතා කරනවා. ඒක වෙනම දෙයක්‌. ඒත් නිල වශයෙන් යූඑන්පිය සමඟ අපට එකඟ වෙන්න කිසිදු ඉඩක්‌ නෑ. ඔවුන් සමඟ හොර රහසේවත්, විවෘතවත් දේශපාලන කාරණා සාකච්ඡා කරලත් නෑ. කරන්න බලාපොරොත්තුවකුත් නෑ.

ප්‍රශ්නය - නවනීදන් පිල්ලේගේ පරීක්‍ෂණ කණ්‌ඩායම ස්‌ථිර වශයෙන් ම සිය පරීක්‍ෂණය සිදු කරනවා. ඊට එරෙහිව ජවිපෙ ප්‍රසිද්ධියේ විරෝධතා නොදක්‌වන්නේ ඇයි?

පිළිතුර - අපේ විරුද්ධත්වය අපි දිගටම ප්‍රකාශ කර තිබෙනවා. ඒත් අපි දන්නවා අපේ විරුද්ධත්වය මත හෝ මේ අපේ කවර බලවේගයක විරුද්ධත්වය මත හෝ නවිපිල්ලේගේ ශ්‍රී ලංකාවට එරෙහි ෙද්‍රdaහී ක්‍රියා නතර වන්නේ නෑ. අප කළ යුත්තේ ඔවුන්ට මැදිහත්වීමට ඇති අවස්‌ථා අහිමි කිරීමයි. ඒක ජවිපෙට කරන්න බෑ. එය කළ හැක්‌කේ ආණ්‌ඩුවටයි. හැත්තෑ එකේ ජනතා නැගිටීමේදී ආන්දොaලනයට ලක්‌ වූ ලොකුම සිද්ධිය තමයි ප්‍රේමවතී මනම්පේරිට කළ අපරාධය. එවක සිරිමාවෝ බණ්‌ඩාරනායක ආණ්‌ඩුව ඒ පිළිබඳ සාධාරණ පරීක්‍ෂණයක්‌ කර වැරදිකරුවන්ට දඬුවම් කළා. එහෙම කරන්න කියා ලෝකයේ කවුරුත් ඇයට කිව්වේ නෑ. රටක අවුරුදු තිහක යුද්ධයක්‌ සිදුවුණාම ඒ කාලය තුළ විවිධ පාර්ශ්වවලින් විවිධ අකටයුතුකම් සිදුවිය හැකියි. ඒ සම්බන්ධව වගකිවයුතු රජයක්‌ ලෙස පරීක්‍ෂණ පවත්වා රටේ නීතිය අනුව වැරදිකරුවන් සිටී නම් දඬුවම් කළ යුතුයි. අපි කියන්නේ ඒ දේ කරන්න කියලා. පිල්ලේට මේ ප්‍රශ්නය එවිට අත්හරින්න වේවි. ඇය තව මොන මොනවා හරි කතන්දර දාලා එයි. ඒවාත් පරාජය කළ යුතුයි. නමුත් පාර්ලිමේන්තු, පළාත් සභා, දේශපාලන පක්‍ෂ ඒකමතිකව පාරට බැහැලා අරගල කළත් පිල්ලෙලාගේ ඔය ෙද්‍රdaහී ක්‍රියාමාර්ග නතර කරන්නේ නෑ. එය නතර කළ හැක්‌කේ ආණ්‌ඩුව මගින් ජනතාවට සාධාරණය ඉෂ්ට කිරීමෙන් විතරයි.

ප්‍රශ්නය - විමල් වීරවංශ ඇමැතිවරයා දැඩි ලෙස ආණ්‌ඩුව විවේචනය කරද්දී විමල්ට සිද්ධවෙන දේත්, ආණ්‌ඩුවට සිද්ධ වෙන දේත් ගැන හිතමින් ජවිපෙ කිසියම් වින්දනයක්‌ ලැබුවා. ඒත් ඒ සතුට, වින්දනය ලත් තැනම ලොප් වුණා නේද?

පිළිතුර - විමල් වීරවංශ ඇමැතිවරයා බස්‌නාහිර සහ දකුණු පළාත් ඡන්දෙන් ආණ්‌ඩුව පසුබැසීමකට ලක්‌ වූ පසු හා ඔහුගේ අපේක්‍ෂකයන් බහුතරයක්‌ පරාජයට පත්වීමත් හේතු කරගෙන ආණ්‌ඩුවට විරුද්ධව යම් යම් මත ප්‍රකාශ කිරීම අරුමයක්‌ නොවේ. විමල් ඇමැතිවරයාගේ පැවැත්ම ඇත්තේ එක්‌කෝ කොන්දේසි විරහිතව මෙතෙක්‌ ආවා වගේ මහින්ද රාජපක්‍ෂගේ කරට අත දමාගෙන අත් කකුල් සියල්ලම ඔසොවා සියල්ල අනුමත කරමින් යැම, නැත්නම් ආණ්‌ඩුවට විවේචන ඉදිරිපත් කරමින් එහෙත් මේක අපේ ආණ්‌ඩුව කියමින් ඒ තුළ රැඳෙමින් යන එක. මුලින්ම පළමු එක තෝරා ගත්තා. දැන් දෙවැන්න. ඔය උත්සාහය තුළින් ආණ්‌ඩුවෙන් ගිලිහී යන ඡන්ද ප්‍රමාණය ආරක්‍ෂා කරගන්න බෑ. යම් ආණ්‌ඩුවක්‌ පවතිනවද යන්න තීරණය වන්නේ ඡන්දය දුන් අය දිගටම ඉන්නවාද යන්න මතයි. ඡන්දදායකයන් ඉවත්ව යනවා නම් ඒ ආණ්‌ඩුව කඩා වැටෙනවා. බස්‌නාහිරත්, දකුණෙත් වුණේ ඒක. විමල් සහ ආණ්‌ඩුව උපක්‍රම වෙනස්‌ කරනවා. ඒත් ජනතාව ඔවුන්ගේ උපක්‍රම හඳුනාගෙනයි ඉන්නේ. ජනතාව රවටන්න විමල්ටවත් ආණ්‌ඩුවටත් බෑ. වින්දනය, සතුට ගැන ඇහුවා. ඔව්. ආණ්‌ඩුව ඇතුලේ වන ඕනෑම ගැටුමක්‌ ගැන අපට සතුටක්‌ ඇතිවෙනවා. අපිට ඕනෑ මේ ආණ්‌ඩුව ඉක්‌මණින් ඉවර වෙනවා දකින්න සහ ජනතාවාදී ආණ්‌ඩුවක්‌ ගොඩනඟා ගැනීම. ඒ වෙනුවෙන් රටේ සිදුවන ඕනෑම සිදුවීමක්‌ ගැන අපට ගොඩාක්‌ සතුටුයි.

ප්‍රශ්නය - කම්කරු සටන් ව්‍යාපාරය දියාරු වෙලා. ලාල්කාන්තලාගෙත් කට විතරයි කියා සමහරු කියනවා.

පිළිතුර - මහින්ද රාජපක්‍ෂ මහත්තයා බලයට ආ පසු එතුමා දණ ගසා ඇත්තේ කම්කරු ව්‍යාපාරය ඉදිරියේ පමණයි. පෞද්ගලික අංශයේ සේවක තැන්පත් අරමුදල කොල්ල කන්න ගෙන ආ විශ්‍රාම වැටුප් පනත අරගල කරලා පරාද කළේ ලාල්කාන්තලායි. පසුගිය වසරේ අප්‍රේල් 20 විදුලි බිල ඒකක එකේ සිට වැඩි කළා. දින දහයක්‌ යද්දී මහින්ද රාජපක්‍ෂට සිදුවුණා මම ඒකක 60 දක්‌වා වැඩි නොකරන්න තීරණය කළා කියා කියන්න. ඒක සිද්ධ වුණෙත් ලාල්කාන්තලා වෘත්තීය සමිති සමඟ කළ අරගල තුළින්. ගොවි විශ්‍රාම වැටුප යළි ලබා ගත හැකි වුණා. විශ්‍රාම පාරිතෝෂිකය පෙර පරිදි ලබා දිය යුතු බවට බොලීවියාවේ සිට හදිසියේම ප්‍රකාශ කරන්න ජනාධිපතිවරයා තීරණය කළේත් ලාල්කාන්තලා කළ අරගල නිසා නොවේ නම් විමල් වීරවංශ කළ අරගලයකින් ද?

ප්‍රශ්නය - "ගැහුවොත් ගහන්න" මේ ජවිපෙ සුළු පක්‍ෂ උද්යෝගිමත් කරන්න යොදා ගන්නා අලුත්ම පාඨය ද?

පිළිතුර - අවලාදයක්‌. අනුර කුමාර දිසානායක අපේ නායකයාට එරෙහිව රජයේ පුවත්පතක්‌ හා බොදු බල සේනාව ඉදිරිපත් වී ගොඩනැගූ අවලාදයකි. අපේ පක්‍ෂයේ නායකයා හෝ පක්‍ෂය එවැනි අනුවණ ආකල්පවල රැඳී සිටීමට තරම් බංකොලොත් තැනක නෑ. අදාළ අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපි පියවර අරන් ඉන්නේ.

ප්‍රශ්නය - ජවිපෙ ප්‍රධාන පෙළේ සාමාජික පිරිසක්‌ පසුගියදා ආණ්‌ඩුවට එකතු වුණා ඇයි ඒ?

පිළිතුර - අපි දන්නා මට්‌ටමේ ප්‍රධාන පෙළේ කවුරුත් එහෙම එකතු වුණේ නෑ. අපි අපේ පක්‍ෂය පසුගිය කාලයේ හොඳට ශුද්ධ කළා. එජාපයේ අය නම් තවමත් ආණ්‌ඩුවට යමින් ඉන්නවා. ඒ ඔවුන් පක්‍ෂය ශුද්ධ නොකළ නිසා.

ප්‍රශ්නය - පසුගියදා ජනාධිපතිවරයා හමුවී ආණ්‌ඩුවට එකතු වුණේ ඔබේ පක්‍ෂයේ සාමාජිකයෝ නොවෙයිද?

පිළිතුර - නෑ. මා දැනුවත්ව එහෙම ගිය කෙනෙක්‌ නෑ. ඒත් කියන්න ඕනෑ. කාට හරි පක්‍ෂයෙන් යන්න ඕනේ නම් දොරවල් ඇර තියෙනවා. කිසිම බාධාවක්‌ නෑ. ජනතා විමුක්‌ති පෙරමුණට දැක්‌මක්‌ තියෙනවා. වැඩපිළිවෙළක්‌ තියෙනවා. එය පිළි නොගන්නා සියලුම අයට පක්‍ෂයේ දොරටු විවෘතයි. ඕනෑම දිහාවක යන්න පුළුවන්.

අජිත් අලහකෝන්
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.