නගර පාලනයට ගිය 'දුනුවිල වලව්ව'

බටුගොඩ එම්. එස්‌. රණතුංග

msranathunga@gmail.com

ශ්‍රී ලංකාවේ අවසන් සිංහල රාජධානිය වූවේ මහනුවර හෙවත් පුරාණ සෙංකඩගල පුර අග නගරය වූ කන්ද උඩරට රාජධානියයි. ශ්‍රී සෙංකණ්‌ඩ ශෛලානි ශ්‍රී වර්ධන පුරය යනුවෙන් ද, මෙම මනස්‌කාන්ත වූද, අලංකාර වූද, පුරය හැඳින්වින. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ කඳු වළල්ලකට මැදිව මුහුදු මට්‌ටමින් මීටර් 4886 හෙවත් අඩි 1629 ක උස්‌ බිමක ශ්‍රී ලංකාවේ දිගම ගං කොමලිය වූ මහවැලිය සිය උරහිස වට ඔතා එහි ශීර්ෂ මිටියාවතෙහි අභීතව මහනුවර පුරාණය නැගී සිටී. ඵල බර තුරු වඳුළුවලින් පිරි මීදුම් කොමලියගේ පහස විඳිමින්, සුපිරිසිදු වූ පරිසරයක පිහිටි මහනුවර අද ලෝක උරුම නගරයක්‌ ලෙස එක්‌සත් ජාතීන් පවා පිළිsගෙන ඇත. මෙම නගරය ශ්‍රී ලංකාවේ ගම්පල රජකළ (ගඟ සිරිපුර) 1 වැනි විමලධර්මසූරිය රජු විසින් ක්‍රි. ව. 1592 දී ප්‍රතිෂ්ථාපිත කළ බව පැවසේ. (කන්ද උඩරට මහනුවර, අනුරාධ සෙනෙවිරත්න පිටු 01), ශ්‍රී ලංකාවේ සිංහල රාජ්‍යය කෝට්‌ටේ යුගය පසුකර, ගම්පල යුගයේ" උඩරට ප්‍රභූවරු තම පාලනය තහවුරු කර ගැනීමට ක්‍රි. ව. 1470 දී ගම්පල රජ කළ සේනාසම්මත වික්‍රමබාහු සෙංකඩගල පුරය අගනුවර ලෙස ප්‍රථමවරට ප්‍රකාශ කල බව පල්කුඹුර සන්නසට අනුව සඳහන් වේ. (ඓතිහාසික මහනුවර - සුමංගල විද්‍යාලීය ප්‍රකාශනය - 1993) එහෙත් ඓතිහාසික ලේඛන අනුව ගම්පල රජ කළ 3 වන වික්‍රමබාහු රජු (ක්‍රි. ව. 1357 -1374) මෙම නගරය පිහිට වූ බවටද මතයකි. එහෙත් සෙංකඩගල අගනුවර බවට පත් කළේ 1 වන විමලධර්මසූරිය රජු බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. (මහනුවර සැඟවුන තොරතුරු - සුමංගල විද්‍යාලීය ප්‍රකාශන 1993 33 - 35 පිටු) පාත හේවාහැට අම්පිටියේදී හමු වූ ශිලා ලේඛනයට අනුව ගම්පොල වික්‍රමබාහු යුගයේ පවා මහනුවර තිබූ බව තහවුරු වේ. අස්‌ගිරි තල්පතට අනුව පණ්‌ඩිත පරාක්‍රම බාහු රජුගේ බෑනා වූ 'සිරිවර්ධන' නම් අයෙකු මහනුවර පිහිටවූ බවත් එය 'සිරිවර්ධනපුරය' ලෙස හැඳින් වූ බවත් සඳහන් වේ. (අස්‌ගිරි තල්පතින් හෙලිවන රාජ්‍ය පාලන මැන්දිස්‌ රෝහනධීර) (කන්ද උඩරට මහනුවර අ - සෙනවිරත්න 10 - 11 පිටු)

එහෙත් මහනුවර යුගයේ ලියවුණු ඓතිහාසික ග්‍රන්ථයක්‌ වූ රාජරත්නාකාරය අනුව බු. ව. 2085. (ක්‍රි. ව. 1541 දී) වීර වික්‍රම නම් රජකු සෙංකඩගල පිහිට වූ බවත් මෙම රජතුමා මහා බෝධිය වඩම්මවා ආ පරපුරේ අයෙකු බවත් සඳහන් වේ. විශ්කෘත මහා වංශය සහ චූල වංශයද මෙම ප්‍රකාශය තහවුරු කරයි. මහා වංශය සහ චූල වංශයද මෙම ප්‍රකාශය තහවුරු කරයි. මෙම රජතුමා සෙංකඩගල ශ්‍රී වර්ධනපුරයෙහි තම රජගෙදරට නුදුරුව බුද්ධ ධාතු නිදන්කර චෛත්‍යයක්‌ ඉදිකළ බවත් (මෙය නාථ දේවාලයේ 'පාත්‍රා ධාතු' චෛත්‍යය විය හැක.) දිවිභූමික උපසපන් මාලකයක්‌ පිහිටවූ බවත් සඳහන් වේ. (මෙය මල්වතු මහා විහාරීය උපෝෂිතාගාරය විය හැක.) (රාජ රත්නාකාරය - කරුණාදාස රූපසිංහ පිටු ( 122 - 132, මහා වංශයේ 90 පරි. ගාථා 6 - 33, පිටුව 521 - 583)

මෙසේ ඓතිහාසික වූ මහනුවර අගනුවර කන්ද උඩ රාජ්‍යයේ 1 වන විමලධර්මසූරිය රජුගෙන් පසු විවිධ රජ කාලයන් තුල පෘතුගීසි ආක්‍රමණයක්‌ ප්‍රථම වරට එල්ල වූ අතර පෘතුගීසි නායක කොන්සන්තීනූද සා එය මෙහෙය විය. දෙවන රාජසිංහ සමය වන විට ලන්දේසි ආක්‍රමණයටද මහනුවර ක්‍රි. ව. 1658, 1665 සහ 1667 දී ගොදුරු විය. ක්‍රි. ව. 1687 දී දෙවන විමලධර්මසූරිය රජ සමයේ" (1687-1707) තරමක්‌ යහපත් විය. සිංහල රාජ වංශයේ කණකොක්‌ අවධිය 'නායක්‌කාර් පාලන අවධිය සැලකිය හැක. නොයෙකුත් අභ්‍යන්තර කැරලි කෝලාහල, පමණක්‌ නොව බාහිර ආක්‍රමණ වලටද මහනුවර ගොදුරු විය. (මන්දාරම් පුවත - ලබුගම ලංකානන්ද හිමි) අවසානයේ ක්‍රි. ව. 1815 දී අර්බුදකාරි යුද සමය නිමවා බ්‍රිතාන්‍යයෝ මහනුවර ඇතුළු කන්ද උඩරට ඓතිහාසික ගිවිසුමෙන් පවරාගත් අතර, එතැන් පටන් කන්ද උඩරට රාජ්‍යයේ පාලකයන් වූවේ ඉංග්‍රීසීන්ය.

ක්‍රි. ව. 1762 දී මහනුවර සිරි නැරඹූ ජෝන් පීබස්‌ 'මහනුවරට දූත ගමනක්‌' යන ග්‍රන්ථයේ මහනුවර නගරය පිළිබඳව සඳහන් කර ඇත. ක්‍රි. ව. 1821 " ජෝන් ඩේව් 'ඩේව් දුටු ලංකාව' ග්‍රන්ථයේ මහනුවර නගරය පිළිබඳව මෙසේ සඳහන් කරයි. 'වීදි දෙපස පිහිටි ගෙවල් මැටියෙන් තනා තිබුණි. නිළමේවරුන්ගේ නිවෙස්‌ උළු සෙවිළි කරන ලද අලංකාර නිවෙස්‌ විය ....' මේ අනුව මහනුවර යුගයේ ඩේව් දුටු ග්‍රන්ථයට අමතරව හියුබෝයිස්‌ සහ සෙන්පති විමලර්මන්, ආදීන් මහනුවර පිළිබඳ වාර්තාවලට අනුව නගරයේ සුවිශේෂි ස්‌ථානයක්‌ නිළමේ වරුනට හිමිව තිබිණ. මේ නිවෙස්‌ අතර එදා හෙට්‌ටි වීදියේ කෙලවර කන්දේ වීදිය අසල පිහිටි 'දුනුවිල වලව්වට' හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි. වර්තමානයේ මහනුවර මහ නගර සභාව පිහිටි භූමිය එදා දුනුවිල වලව්වේ පරිසරයයි. ඓතිහාසික කන්ද උඩරට රාජ්‍යයේ රාජ්‍ය පාලනයට අද්විතීය මෙහෙයක්‌ කළ 'දුනුවිල අදිකාරම්' තුමාගේ වාසභවනය වූ 'දුනුවිල වලව්ව' අද මහනුවර මහ නගර සභාව වේ. මහනුවර මහ නගර සභාව පිහිටා ඇති දුනුවිල වලව්ව භාරකාරයා වූයේ දෙවන රාජසිංහ සමයේ රජුගේ මහ අධිකාරම් වූ දුනුවිල අදිකාරම් තුමායි. සිංහල රාජ්‍යයේ උසස්‌ම නිලයක්‌ මෙන්ම ඇත් පංතිය බාර සහ ඇත් සේනාවේ අණදෙන නිසි බලධාරියා වූ 'ගජනායක නිලමේ' තනතුරද දැරුවේ දුනුවිල අධිකාරම් තුමාය. දුනුවිල අදිකාරම් පරපුර එකල මහා බල පරාක්‍රමයෙන් යුතු රදල පවුලක්‌ වූ අතර ඔවුන් යන්ත්‍ර මන්ත්‍ර ශාස්‌ත්‍රය පමණක්‌ නොව සත්ව වෛද්‍ය විද්‍යාව, විශේෂයෙන් හස්‌ති වෛද්‍ය විද්‍යාව හෙවත් 'අලි වෙදකමේ යෙදුනහ. 'දුනුවිල පරම්පරාව' මේ වන තුරු සහ එම 'රාජසිංහ දැහැන' වැනි මන්ත්‍ර ශාස්‌ත්‍රයේ අතිශය රහස්‌ ක්‍රමවේදයක්‌ ආරක්‍ෂා කරයි. මෙම බිලි දීමට දුනුවිල නිළමතුමාගේ ආදර අන්දරයද ඓතිහාසිකය.

මහනුවර නගරය මෙන්ම ප්‍රසිද්ධ බහිරව කන්දේ" 'ශිවගේ අවතාර' අටෙන් බිහිසුණු අවතාරය බහිරවයාට නගරයේ රූප සම්පත්තියෙන් අනූන අභිරූපිකාව තෝරා මහ පෙරහරින් බහිරව කන්දට ගෙන ගොස්‌ කඳුමුදුනේ කණුවක්‌ ගැටගසා කැපකිරීමේ චාරිත්‍රයට එක්‌ වරක්‌ හසු වූවේ ගජනායක දුනුවිල නිලමේගේ ප්‍රේමවන්තිය, ආදරිය වූ 'වැලිකල මැණිකේය.' මේ අවස්‌ථාවේ දුනුවිලි නිලමේ රාජකාරි ප්‍රශ්නයක්‌ මත දඬුවමක්‌ ලැබ නගරයේ පිට පනඟිය (දැනට රජයේ බීජ ගොවිපල පෙදෙස) ප්‍රදේශයට පිටුවහල් කර සිටියහ.

මේ අතර බහිරව ප්‍රජාව පිළිබඳව කතාව ජනතාව අතර පැතිරී යන විට, මෙවර එයට තෝරා ගත් අභිරූපිකාව තම ආදර පෙම්වතිය වූ වැලිකල මැණිකේ බව දුනුවිල නිලමේට දැන ගන්නට ලැබිණ. ඔහුගේ හදවත ශෝකයෙන් වැළපිණ. දඬුවම් ලබා සිටින තමාට කරකියා ගත හැකි දෙයක්‌ නොමැති බව ඔහුට වැටහිණ. බහිරව ප්‍රජාව සඳහා පෙරහැරින් 'වැලිකඩ මැණිකේ' කඳු මුදුනට වදකයින් විසින්

රැගෙන ගොස්‌ කිටි කිටියේ බැඳ තබා බහිරවයාට පුද පූජා කර ආපසු පැමිණියහ. අමාවක්‌ මහා කළුවරේ 'ඔව් මගේ ජීවිතයෙන් දැන් වැඩක්‌ නැහැ. මගේ මැණිකේ නොමැතිව එක මොහොතක්‌ හෝ මම ජීවත් වන්නේ නැහැ. කෙසේ හෝ මගේ වස්‌තුව මම බේරා ගන්නවා. එහෙම බැරිවුණොත් මගේ ජීවිතයත් බහිරවයාටම දෙනවා.' යන දැඩි වේදනාත්මක අදිටනින් දුනුවිල නිලමේ මහවැලිගඟ රහසේ තරණය කර මා-පමන- වතුර (මාපනාවතුර) හරහා මහ රාත්‍රියේ දිවි හිමියෙන් බහිරව කන්ද තරණය කලේ කිසිවෙකුට නොදැනෙන පරිදිය. කළුවරේ බහිරවයා ආවා යෑයි සිතා වැලිකල මැණිකේ කෑගැසුවාය. මේ ගැන අවධානයෙන් සිටි නාගරික ජනයා ඇය බහිරවයාට බිලි වූවා යෑයි සිතීහ. එහෙත් ඇගේ කට වසා හොර රහසේම ඇයව බේරා රැගෙන විත් රහස්‌ තැනක සඟවා තැබීය. පසුව මේ පුවත පරණ වූ පසු තම මෙහෙසිය බවට පත්කර ගත්තේ (මධ්‍යම ලංකා පුරාවෘත තවුල්ලේ ධම්මානන්ද - 47 - 49 පිටු) දුනුවිල නිලමේ ඇය දහසකුත් බලාපොරොත්තු සපල කරගනිමිනි.

දඬුවම අවසන්ව නැවත 'ගජනායක නිලමේ' තනතුරට පත් වූ දුනුවිල නිලමේ වැලිකඩ මැණිකේ සමඟ යුගදිවිය ගතකලේ මහනුවර කන්දේ වීදියේ තපෝවනය අසල ඇති දුනුවිල වලව්වේය. මෙම දුනුවිල ගජනායක නිලමේගේ වලව්වට පේන තෙක්‌ මානයේ කන්දේ වීදියේ ආරම්භයේ රජුගේ හස්‌ති පංතිය හෙවත් ඇති ගාල පිහිටා තිබුණි. එයට හේතු වූවේ ගජනායක නිලමේට 'ඇත් පංතිය' නිතර නිරීක්‍ෂණය කිරීමේ පහසුවටය. ඒ කාර්යයන්ට උපරිම සේවය ඉටු කිරීමත් පිණිසය. එහෙත් ඉංග්‍රීසීන්ගේ උඩරට ආක්‍රමණයේදී එකල ලංකාවේ මරක්‌කල හමුදාව ඉංග්‍රීසීන්ට උපරිම සහය දැක්‌වීය. මේ නිසාම පසුව මරක්‌කල ජාතිකයෙකුට 'හඡ්ජි මුහන්දිරම්' තනතුර දීම නිසා සුප්‍රසිද්ධ 'ඌවේ කැරැල්ලට' ද හේතු වූවේ සිංහලයන්ගේ දැඩි ප්‍රකෝපය නිසාමය. තමන්ට කළ උපකාරවලට ප්‍රති උපකාර ලෙස ඉංග්‍රීසීහු ගජනායක නිලමේගේ ඇත් පංතිය එතනින් ඉවත්කර මරක්‌කල හමුදාවට ආගමික කටයුතු සඳහා පල්ලියකට ඉඩම පවරනු ලැබ අද එහි ඇත්තේ ඔවුන් විසින් ඉදි කළ 'මීරමක්‌කම මහ පල්ලියයි.' එම ඉඩම අස්‌ගිරි මහා විහාරයට අයිති අතර ඓතිහාසික ගෙඩිගේ විහාරයට යාබදව පිහිටා තිබේ.

මෙම දුනුවිල නිලමේට කටුගස්‌තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාල භූමියේද වලව්වක්‌ තිබී ඇත. එම ඉඩම පසුව ශාන්ත අන්තෝනි විද්‍යාල සඳහා කැපකර ඇත.

තම රාජකාරිය අකුරට ඉටු කිරීමට නගරයේ වලව්වේම ගතකළ දුනුවිල නිලමේ වලව්වට දැක්‌වූවේ අසීමිත ආදරයකි. මහනුවර යුගයට අයත් වාස්‌තු විද්‍යාත්මක ලක්‍ෂණ, ලන්දේසි වාස්‌තු විද්‍යාව, ඉංග්‍රීසි වාස්‌තු විද්‍යාව හා සංකලනය වූ අපූරු නිර්මාණයක්‌ ලෙස 'දුනුවිල වලව්ව' සැලකිය හැක. ලන්දේසි යුගයේ අයෝනික ගෘහ ලක්‍ෂණ හෙවත් වතිකානු ගෘහ ලක්‍ෂණවලට සමීප රවුම් ආරුක්‌කු යුගල කුලුනුq, මැද මිදුල, ආරුක්‌කු ජනේල ආදිය නිසා වලව්වට ගෙන එනුයේ ගාම්භීර පෙණුමකි. දුනුවිල වලව්වේ ඉදිකිරීමේ කර්මාන්තය සඳහා බැරල් සිමෙන්ති, ආලේපන සඳහා පීප්ප තීන්ත යොදා ඇති අතර මූලික 'අමුද්‍රව්‍ය' ලෙස ගෙන ඇත්තේ 'නයිෂ්' පාෂාණයයි. ශ්‍රී ලංකාවේ වටිනා දැව හිඟ නොවුවද වලව්වේ උදාරත්වය පෙන්වීමට දෝ ආනයනික්‌ 'බුරුම තේක්‌ක' ගෙන ඇති අතර ලන්දේසි ඉංග්‍රීසි සහ උඩරට සම්ප්‍රදායන්ගේ සම්මිශ්‍රණයන්ට මුළු වලව්ව පුරාම පිළිබිඹු වේ. සියවස්‌ ගණනාවක්‌ ගියද අලංකාරයෙන් හෝ ගාම්භීරත්වයෙන් අඩු නොවූ වලව්වේ අද සමහර ස්‌ථාන නවීකරණයට යාම නිසා තරමක්‌ අගයේ අඩුවක්‌ පැහැදිලිව පෙනේ. තවමත් මෙම වලව්වේ ශක්‌තිමත් භාවය ර¹ ඇත්තේ ගෙපල ස්‌වභාවික ආකාරයෙන්ම වෙනස්‌ නොකර ඒ මත කරන ලද ගෘහ නිර්මාණය නිසාමය.

ඇතුළු වන ප්‍රවේශය දෙපස විශාල කාමර දෙකක්‌ (2) ද එතුළින් ආරුක්‌කුවක්‌ යටින් දෙපසට ඉහළ මාලයට පිවිසිය හැකි කෙටි පඩි පෙළ ගෙන එනුයේ මනා අලංකාරයකි. එදා වලව්වේ සිය ගණනක අදිකාරම්වරු, දිසාපතිවරු, විදේශීය අමුත්තන්, රදලවරු සහ සම්භාවනීය ඥාති හිතවතුන් ගැවසුන ඉහළ මාලයේ විසිත්ත කාමරය අද නගර සභාවේ නගර ශාලාවයි. දිගින් අඩු 1455 ක්‌ පහළ අඩි 350 කින් යුත් විසිත්ත කාමරය තුළට හාත්පසින් සිහිල් සුළං

රැස්‌වන ලෙස ජනේල ඇති අතර මේ ජනේල තුලින් එදා 'නිලමේ' බහිරවකන්ද දෙස බලා 'තම ප්‍රියම්බිකාව බේරා ගැනීමේ මෙහෙයුම සිහි කරන්නට ඇත. එහි දකුණු අත පැත්තේ ජනේලයෙන් එතුමාට 'රාජකීය ඇති පංතිය' මනාවට දර්ශනය වන්නට ඇත.

විසිත්ත කාමරය වටා 'ම' හැඩයට වලව්වේ සෙසු කාමර සහ මුළුතැන්ගෙය පිහිටා ඇත. ආනයනික රැන්ගුන් දැව යොදා බිම ඔප දමා බ්‍රිතාන්‍ය වාස්‌තු විද්‍යානුකූලව නිමවා තිබීම නිසා අද මනා ඔපයක්‌ හැඩයක්‌ වර්ණවත් බවක්‌ උසුලයි.

බරාදය රවුම් කුලුනු වලින් යුතු වන අතර මහනුවර පත්තිනි දේවාලයේ කුලුනුවල ගති ලක්‍ෂණ පෙන්නුම් කරයි. දුනුවිල නිලමේගේ හද බැඳ ගත් වලව්වේ ප්‍රවේශයද ඉතා සිත් ගන්නා සුළුය. ආරුක්‌කුවක්‌ සහිත අර්ධ කවාකාර පිවිසුමකින් ඇතුළට පිවිසෙන විට දිස්‌වනුයේ මැද මිදුලට පහතින් අප එන මඟ බලා සිටින 'සොඬය උසුලා කුංචනාද කරන ශෛලයේ 'ගජයා' හෙවත් 'ඇති රජ හිසය'. එය ගජනායක නිලමේගේ සංකේතය වූවා විය හැක. මෙය වලව්වට ආඩම්බරයක්‌ මෙන්ම ගාම්භීරත්වයක්‌ ගෙන දේ. මෙම වලව්ව ඉදිරිපිට මාර්ගයේ රජ මැදුරට සහ ශ්‍රී දළදා මාලිගාවට යා හැකි මාර්ගයක්‌ පෙර තිබී ඇති අතර අද එය 'රජ ගෙදර හෙවත් ජනාධිපති මන්දිර' උයනට අයත්ව ඇත. එහි අග කොටස රජ වීදියේ පැවිලියන් ගොඩනැඟිල්ල අසලින් මතුව තිබේ. මෙම අභිරමණිය වලව්වේ එදා කැටයම් රාශියක්‌ තිබෙන්නට ඇත. එහි අපරික්‌ෂාකාරි පරිහරණය සහ නොසැලකිල්ල නිසා අද එම කැටයම් නොමැති අතර මෙහි එහි ශේෂයක්‌ ලෙස දැකිය හැකි එකම කැටයම 'නාගරික කොමසාරිස්‌තුමාගේ' කාමරයේ පිවිසුම් ද්වාරයේ පිහිටා ඇත. එය හෝ එසේ ඉතිරිව තිබීම වලව්ව අගය කරන කාටත් ආඩම්බරයකි.

මිල්ලව දිසාව යනුවෙන්ද දුනුවිල දිසාව හැඳින්විණ. දුනුවිල හාරිස්‌පත්තුවේ උඩගම්පහ කෝරළේ මෙතුමාගේ මුල් ගම වේ. 1818 කැරැල්ල සමයේ වෙල්ලස්‌සේ සහ බිම්තැන්නේ දිසාව පදවියද දැරූ ඉංග්‍රීසීන්ගේ විශ්වාසවන්ත පුද්ගලයෙකු ලෙසද දුනුවිල නිලමේ තම රාජකාරිය කළේaය. එහෙත් එතුමා මරක්‌කලයන් කරනු ලබන අකටයුතුකම් නොරිස්‌සූ පුද්ගලයෙකු විය. Ñඉංග්‍රීසි භයයින් මංකොල්ල කෑමට හා ගැහැණු අල්ලා ගැනීමට අද හෙටම වෙල්ලස්‌සට පැමිණෙතැයි, මරක්‌කලයෝ වැසියෝ භයටත් සංත්‍රාශයටත් පත්කිරීමට විරුද්ධව බදුල්ලේ කපිතාන් කොක්‌සන්ට දන්වා ලිපි යෑවීය. එහෙත් එයට යුක්‌තිය ඉටු නොවූ නිසාත්, ඉංග්‍රීසීන් මරක්‌කලියින්ට පක්‌ෂපාතී වූ නිසාත් ඉංග්‍රීසීන් හා උරණ විය. මේ අතර මිල්ලව දිශාවේ හෙවත් දුනුවිල නිලමේ කැරැල්ල සමයේ මඬුගල්ලේ දිශාව හා කළ ලිපි ගණුදෙනුව ඉංග්‍රීසීන්ට අසුවීම නිසා බ්‍රවුනික්‌ ආණ්‌ඩුකාර වරයා ඔහුගේ "පය රාජසන්තක කර රටින් පිටුවහල් කිරීමට දුනුවිල නිලමේ අල්වා කොළඹට යෑවීය. කොළඹ සිරභාරයේ ගතකළ දුනුවිල නිලමේ 1821 මාර්තු 21 දින එහිදී අවසන් හුස්‌ම හෙලීය. ඔහුගේ දේහය කොටහේන සුසාන භූමියේ ඉංග්‍රීසීන් විසින් වල දැමූහ. ඔහු උඩරට ගිවිසුමට අත්සන් කලේ මිල්ලට දුනුවිල වෙල්ලස්‌සේ දිසාවේ කියාය. එතුමාගේ ඇත් පන්තිය තිබූ තැන අද මහනුවර මීර මක්‌කම් පල්ලිය ඉදි වී ඇත. මෙතුමා සම්බන්ධනයෙන් 1820 " පෙබරවාරි 25 ඊ බාන්ස්‌ විසින් රාජ්‍ය ලේකම් වෙත යවන ලද ලිපියක මිල්ලව හිටපු වෙල්ලස්‌සේ දිශාවේ සමග ඇහැලේaපොළ කපුවත්තේ හිටපු දෙවන අධිකාරම් ද වෙන් වෙන් වශයෙන් සිර ගෙවල් තුළ රඳවා ඇත. මිල්ලව හෙවත් දුනුවිල දිශාවගේ දේපල 1818 අප්‍රේල් 17 වන දින රජයට පවරා ගැනීමට තීන්දු කර ඇත. (උඩරට මහ කැරැල්ල, විමලානන්ද තෙන්නකෝන් -54, 120, 380 පිටු)

මෙවන් ගාම්භීර වූ උදාර වූ දුනුවිල වලව්ව ක්‍රි. ව. 1815 කන්ද උඩරට ඉංග්‍රීසීන්ට පවරා දුන්නාට පසුව වසර 33 ක්‌ ඇවෑමෙන් 1848 දී ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ප්‍රථම කොමිසන් ලත් පොලිස්‌ නිලධාරියා විසින් පවරාගත් අතර එයට ක්‍රි. ව. 1861 දී ඔක්‌. 31 දා පවුම් 3000 ක වන්දියක්‌ පමණක්‌ ගෙවා රජයේ කාර්යන් සඳහා යොදාගෙන ඇත. නැවත 1869 දී පිඹුරුපත් අංක ඛරැ3රැ71 යටතේ පවුම් 3000 මුදලකට ස්‌ථීරවම රජය එය මිලදී ගෙන ක්‍රි. ව. 1869 මැයි 22 දා ඔප්පුව ලියාගෙන ඇත. ඉංග්‍රීසි පාලන සමයේ ප්‍රාදේශීය පාලනය සඳහා ගම්සභා, නගර සභා පිහිටුවීමේ ආඥා අංක 17 යටතේ මහනුවර නගර සභාවක්‌ බවට පත් වූ අතර ක්‍රි. ව. 1875 වන විට ලංකාවේ, නගර සභා 3 ක්‌ ස්‌ථාපිතව තිබිණ. එනම් කොළඹ, නුවර, සහ ගාල්ලය. මෙම වලව්ව නගර සභාව සඳහා යොදා ගැනීමට ඉංග්‍රීසීහු කටයුතු යොදා 1870 අප්‍රේල් 1 පළමු සභා රැස්‌වීම දුනුවිල වලව්වේ විසිත්ත කාමරයේ උත්සවාකාරයෙන් පවත්වා ඇත. මේ පිළිබඳව සියවස්‌ සමරු මුද්දරය 1970 අප්‍රේල් මාසයේ" ශ්‍රී ලංකා ජනරජයේ ආග්‍රාමාත්‍යතුමියගේ උපදෙස්‌ මත නිකුක්‌ කර ඇත. නගර සභාවේ ප්‍රථම පරිපාලක ලෙස 'ලින්ටන්' නම් ඉංග්‍රීසි ජාතිකයා කටයුතු කර ඇත. ක්‍රි. ව. 1966 මාර්තු මස 20 නගර සභාව මහ නගර සභාවක්‌ බවට පත් වූ අතර වසර 143 ක අභිමානවත් නගර සභාවේ නගරාධිපති ඉතිහාසයට අනුව දුනුවිල නිලමේගේ පවුලේ සාමාජිකයෙකු වුවද වලව්වේ පදිංචි වීමට වාසනාව නොලත් එහි සිට නගරය පාලනය කළ එකම පුද්ගලයා වන්නේ හිටපු නගරාධිපති හරින්ද්‍ර දුනුවිල මහතාය.

මහනුවර දුනුවිල පවුලේ පාරම්පරික ගම්මානයක්‌ ලෙස රන් අකුරින් ලියවුණ අකුරණ නගරයට අසන්නයේ දුනුවිල ග්‍රාමය හැඳින්විය හැකිය. එම පරම්පරාව අදද එහි වාසය කරයි. සිංහල උඩරට රාජ්‍යයේ සිට ඉංග්‍රීසි ආණ්‌ඩුවේ පාලනයට ගිය පසු ක්‍රි. ව. 1909 " ඉංග්‍රීසි ආණ්‌ඩුවේ වියදමින් එංගලන්තයට ගිය ප්‍රථම අධි නීතීඥයා බවට දුනුවිල නිලමේගේ ඥාතියෙකු ගොස්‌ ඇති අතර, මැදවල විහාරයට අයත් තඹ සන්නසට අනුව ක්‍ෂත්‍රීය වංශත්භූත වලගම්බා මහ රජතුමා මායා රටේ සාරසිය පත්තුවේ බලවිට ග්‍රාමයේ සැඟ වී සිට සේනා සංවිධානය කර, සොලී හා යුදවැද රට එක්‌සේසත් කළ පසු ඉදිකළ මැදවල විහාරයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු ක්‍රි. ව. 1677 " කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ" ආරම්භ වූ අවස්‌ථාවේ එය ඉටුකලේ දුනුවිල නිලමේ ගේ ප්‍රධානත්වයෙන් බව සඳහන් වේ. මෙවැනි මෙහෙයක්‌ කළ දුනුවිල නිලමේගේ දුනුවිල වලව්වේ පිහිට වූ මහනුවර නගර සභාවේ ක්‍රි. ව. 1939 -1940 දක්‌වා කුඩාබංඩා රත්වත්තේ නිළමෙතුමා ක්‍රි. ව. 1941 ඒ. එමස්‌ සතාර් මයා, 1942 - 1943 එච්. එම්. කනගනායගම් ක්‍රි. ව. 1961 - 1963 සර් බෙනට්‌ සොයිසා 1945 - 1946 ඒ. එස්‌. කරුණාරත්න මහතා නගරාධිපති ධූරය ඉසිලූ අතර 1946 " පී. එම්. ගුරුස්‌වාමි, ප්‍රෙඩ් ඊ සිල්වා 1947 - 1948, කාලවලද ඒ. සී.එල්. රත්වත්ත 1954 - 195, 1964 - 1968, 1980 වන කාලවකවානුවල ද නගරයේ ප්‍රධාන පුරවැසියා වීමට වරම් ලැබූ අතර එන්. විමලසේන (1963-1964) තිලක්‌ රත්නායක, සී. රණරාජ, 1990-1991 කාලවලද 1991-1997 කාල වල ඩී. ඊ. පතිරණ යන මහත්ම මහත්මීන්ද නගරාධිපති ධුරය ලැබීමට වාසනාවන්ත වූහ. දුනුවිල පරපුරේ හරින්ද්‍ර දුනුවිල මහතා 1997-2002 දක්‌වාද කේ. එල්. සේනානායක මහතා 2002-2006 දක්‌වාද නගරාධිපති ධූරය උසුලමින් අනර්ඝ සේවයක්‌ කළ අතර හිටපු ආරක්‌ෂක අමාත්‍ය අනුරුද්ධ රත්වත්ත මහතාගේ කණිටු පුත් කමල් රත්වත්ත මහතා අද මෙම නගරයේ ප්‍රධාන පුරවැසියා බවට පත්ව ඇත.

මෙම ඓතිහාසික මහනුවර මහ නගර සභා කාර්යාලය හෙවත් දුනුවිල වලව්ව 1998 අංක 24 දරණ පුරාවස්‌තු පනත යටතේ 1998 මැයි 22 දින ආරක්‌ෂිත ඓතිහාසික පුරාවිද්‍යා මධ්‍යස්‌ථානයක්‌ ලෙස ප්‍රකාශයට පත්කර ලෝක උරුම නගරයේ ආරක්‌ෂිත ගොඩනැගිල්ලක්‌ බවට පත් කර ඇත. අප විසින් අද කළ යුත්තේ අපේ අතීතය අපට උරුමකර දුන් මෙවැනි ස්‌ථානවල අයිතිකරුවන් නොවී භාරකරුවකු වී දිවි හිමියෙන් එය ආරක්‌ෂා කොට මතු පරපුරට භාර දීමය. වැළලීගිය අතීතය වැනසී යන වර්තමානයේ රැක ගැනීම අපගේ යුතුකම වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.