රාජපක්‌ෂ කඳවුරත් එපා ඒ වගේ අනික්‌ කඳවුරුත් එපා!

* මූණ පේෂල් කරගෙන අමුතු සතෙක්‌ වෙන්න මට වුවමනා නෑ

වර්තමාන දේශපාලන තත්ත්වය සහ ජනතා විමුක්‌ති පෙරමුණේ ස්‌ථාවරය පිළිබඳ එම පක්‍ෂයේ නායක, අනුර කුමාර දිසානායක මහතා සමඟ "දිවයින ඉරිදා සංග්‍රහය" කළ සාකච්ඡාවක සටහන් මතු දැක්‌වේ.

ප්‍රශ්නය - ඌව පළාත් සභා මැතිවරණය පක්‍ෂය වෙනුවෙන් මෙහෙයවන ප්‍රධාන ලේකම්වරයා සහ ප්‍රචාරක ලේකම්වරයා පත්කර තිබෙනවා. පළාත් සභා එපා කියූ පක්‍ෂයක්‌ ඇයි මෙතරම් බරක්‌ යොදා පළාත් සභාව ජය ගන්න උත්සාහ කරන්නේ?

පිළිතුර - අනූඅටේ සිට අපි පළාත් සභාවලට තරග කරනවා. පළාත් සභාවලට තරග කරන ස්‌ථාවරය අපි පැහැදිලි කර තිබෙනවා. ඌව පළාත් මැතිවරණය යනු ජාතික මැතිවරණයකට පෙර එන පූර්ව මැතිවරණයක්‌ බවට පත්වන ලකුණු පෙනෙනවා. එම නිසා මේ පළාත් සභාවේ ප්‍රතිඵල ජාතික මැතිවරණයකට තීරණාත්මක ලෙස බලපානවා. අපි සෑම මැතිවරණයකින්ම උත්සාහ කරන්නේ අපේ මතය ජනතාවට ගෙන යන වේදිකාවක්‌ බවට පත්කර ගන්න. එම නිසා මෙවරත් ශක්‌තිමත් කණ්‌ඩායමක්‌ සහ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ප්‍රචාරක ලේකම් විජිත හේරත් යන සහෝදරවරු ඌව පළාත වෙනුවෙන් ඡන්ද කටයුතු මෙහෙයවනවා. ඒa මෙය අපේ රට ඉතාම තීරණාත්මක සන්ධිස්‌ථානයක තිබියදී පැමිණි මැතිවරණයක්‌ නිසා.

ප්‍රශ්නය - ජනාධිපතිවරණයේදී ජනතා විමුක්‌ති පෙරමුණේ පොදු අපේක්‌ෂකයා වන්නේ ඔබද?

පිළිතුර - අපේ රටේ නිශ්චිත මැතිවරණ සිතියම අනුව ජනාධිපතිවරණයක්‌ පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2017 ජනවාරි මාසයේ. ඒත් වර්තමාන ජනාධිපතිවරයා උත්සාහ කරනවා 2015 මුල් භාග්‍ය ජනාධිපතිවරණයක්‌ පවත්වන්න. ඒ අන් කවරකටවත් නොවේ. 2017 දක්‌වා තව වසර දෙකක්‌ රාජපක්‍ෂ පාලනය ඉදිරියට ගෙන ගියොත් වත්මන් ජනාධිපතිවරයාට 2017 ජනාධිපතිවරණයක්‌ ගැන සිතා බලන්නවත් නොහැකි වන බව ඔහු දන්නවා. ජනාධිපතිවරණය වසර දෙකකට පෙර පැවැත්වීමෙන් පෙන්වන්නේ ඉදිරි වසර දෙකක කාලය රටේ ජනතාවට තවත් පීඩනය ඇතිකරන බවයි. එම නිසා එළැඹෙන ජනාධිපතිවරණයට රාජපක්‍ෂ පාලනය පෙරළා දැමීම සඳහා සියලු සැලසුම් දියත් කළ යුතුයි. ඒ සඳහා දායකත්වය සැපයීම ජනතාවගේ වගකීමක්‌. ඒ සඳහා පුළුල් ව්‍යායාමයක්‌ පිළිබඳ අදහසක ජනතා විමුක්‌ති පෙරමුණ නිරතව සිටියා. ඒත් මේ වෙද්දී එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‌ෂකයකු ඉදිරිපත් කළ යුතු බවත් ඔහු රනිල් වික්‍රමසිංහ විය යුතු බවටත් යෝජනා සම්මතවී තිබෙනවා. එමනිසා පොදු ව්‍යායාමයක සාකච්ඡා අවසන්වී තිබෙනවා. දැන් යළිත් රාජපක්‍ෂ කේන්ද්‍රකරගත් බලයක්‌ හරහා මේ පාලනයෙන් ජනතාව තවත් පීඩාවට පත්කරමින් ඉදිරියට ගෙන යන පෙරමුණක්‌ ගොඩනැගෙමින් තිබෙනවා. ඒ වගේම මීට කිසිසේත් විකල්පයක්‌ නොවන මෙම ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යැමට සැදී පැහැදී දැන් රනිල් වික්‍රමසිංහ පෙරමුණත් ගොඩනැඟීමට සූදානම්. එමනිසා අපි මෙම කඳවුරු දෙකටම එරෙහිව විකල්ප කඳවුරක්‌ ගොඩනැගීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා.ඒ කඳවුරේ අපේක්‌ෂකයා ජනතා විමුක්‌ති පෙරමුණෙන් හෝ ජවිපෙන් පිටත කෙනෙක්‌ විය හැකියි. එම අපේක්‌ෂකයා මාද නැතිනම් පක්‍ෂයේ වෙනත් අයකුද කියා තවම අවසන් තීරණයකට පැමිණ නෑ.

ප්‍රශ්නය - පක්‍ෂය තීරණය කළොත් ජවිපෙ ජනපති අපේක්‌ෂකයා විය යුත්තේ අනුර කුමාර දිසානායක කියා ඔබ ඒ සඳහා සූදානම්ද?

පිළිතුර - මේ පක්‍ෂයට බැඳෙන අපි කවුරුත් පක්‍ෂය විසින් ලබාදෙන වගකීම් අභියෝගයන් භාර ගැනීමට සූදානම් වී එන පිරිස්‌. එනිසා මම හෝ වෙනත් කවරකු හෝ පක්‍ෂය තුළින් තීරණයක්‌ ගත්තොත් ඒ සඳහා එම අභියෝගය භාර ගැනීමට බැඳී සිටිනවා.

ප්‍රශ්නය - ජවිපෙ අනාගතය බලලා වැඩකරන පක්‍ෂයක්‌ ලෙසයි හඳුන්වන්නේ. එනිසා ඔය කරුණු කාරණා ගැනත් දැන්ම හිතල ඇති?

පිළිතුර - ඔව්. මෙම ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ කඳවුර පරාජය කිරීමත් ඒ හා සමාන කඳවුරක්‌ යළි රට තුළ බිහිවීම වැළැක්‌වීම සඳහාත් පුළුල් ක්‍රියාමර්ගයක්‌ ගත යුතු බවට පක්‍ෂය තුළ විශාල සාකච්ඡා පවතිනවා. පැහැදිලි ප්‍රචලිත බෙදීම් ලෙස රනිල් කඳවුර හා රාජපක්‍ෂ කඳවුර නිර්මාණය කිරීමට උත්සාහ කරන බවත් අප තේරුම් ගෙන තිබෙනවා. හැටහය වසරක්‌ රට ගමන් කළ මාවතේම ගමන් කරවීම සඳහා ඉදිරි ජනාධිපතිවරණයේ සූදානමක්‌ ඇති බව පැහැදිලියි. ආණ්‌ඩුවක්‌ එපා වුණාම කේන්තියට එම ආණ්‌ඩුව පලවා හැරීමේ හැඟීම්බර උවමනාවට ආණ්‌ඩු පෙරළා තියෙනවා. අප සංවාදයට කැඳවන්නේ මේ ආණ්‌ඩුව වෙනුවට මේ වගේම තව ආණ්‌ඩුවක්‌ මේ නායකයන් වෙනුවට හැඩරුවෙන් වෙනස්‌ වන මේ වගේම නායකයන් ආදේශ කරනු වෙනුවට විකල්ප පුළුල් පෙරමුණක්‌ ගොඩනැගීමයි අපේ ඉලක්‌කය. අපේ පසුගිය ජාතික මහා සමුළුවේදී මෙම යෝජනාව අප සම්මත කර ගත්තා. ඉන් පෙන්වන්නේ රටේ ඉදිරි දේශපාලන පෙළ ගැස්‌ම ඉතා මැනවින් අප තේරුම් ගෙන ඇති බවත් ඊට එරෙහිව ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග සඳහා සූදානම් වීමත් ඔබ කී පරිදිම අප පක්‍ෂය රටටත්, ජනතාවටත් අනාගතයේ ඇතිවන ව්‍යසනයන් කලින් තේරුම් ගෙන එය වෙනස්‌ කිරීම සඳහා ඉතාමත් දැක්‌මක්‌ සහිත වැඩපිළිවෙළකට අවතීර්ණ වී තිබෙනවා.

ප්‍රශ්නය - ජනවාර්ගික ගැටලුවට, ජාතික ගැටලුවට විසඳුම් ලෙස දකුණු අප්‍රිකානු මොඩලයක්‌ අපේ රටට සුදුසුයි කියා ඔබ හිතනවාද?

පිළිතුර - කිසිසේත්ම නෑ. අපේ රටේ ජනවාර්ගික ගැටලුවක්‌ ඇතැයි අපි පිළිගන්නේ නෑ. අපේ රටේ සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර්, මැලේ යන ජන කොට්‌ඨාසයන් ගණනාවක්‌ ජීවත් වෙනවා. ආර්ථිකයේදී, අධ්‍යාපනයේදී , සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේදී ඇතුළු පොදු කරුණුවලදී මෙම ජන කොට්‌ඨාසයන්ගේ පහළ පංතියේ මිනිසුන් එකම පීඩනයකට මුහුණදී සිටිනවා. එය සිංහල ද, දෙමළ ද, මුස්‌ලිම් ද, මැලේද, බර්ගර්ද යන භේදයකින් තොරව. ඒ වගේම භාෂාව හේතු කරගෙන මිනිසාගේ සංස්‌කෘතික අනන්‍යතාවන් හේතු කරගෙන . එකිනෙකාගේ ආගමික ඇදහීම් හේතු කරගෙන විශේෂ වූ පීඩනයකට ලක්‌ව ඇති බවත් අප පිළිගන්නවා. ඒ වගේම සමාජයේ ඉහළ පංතියට සිංහල, දෙමළ, මුස්‌ලිම්, මැලේ, බර්ගර් භේදයකින් තොර පිරිසක්‌ අයත්ව සිටිනවා. ඔවුන්ට පොදු ගැටලු හෝ විශේෂ ගැටලු හෝ බලපාන්නේ නෑ. මේ පාලකයන්ගේ ඉලක්‌කය බවට පත්වී, ඇත්තෙම මෙම විෂමතාවන් පවත්වාගෙන යමින් එක්‌ එක්‌ ජන කොට්‌ඨාස මත ජාතිවාදය වපුරමින් තම බල න්‍යාය පත්‍රය සකස්‌ කර ගැනීමයි. එම නිසා අද අප රටට අවශ්‍යව ඇත්තේ ආර්ථිකයේත්, අධ්‍යාපනයේත්, සෞඛ්‍යයේත්, යනාදී ක්‍ෂේaත්‍ර වගේම භාෂාවන්ගේ සංස්‌කෘතීන්ගේ, ආගමික ඇදහිලිවල සාධාරණ සම අයිතීන් පිළිගැනීමෙනුත් ඔබ්බට යන ඇත්ත ප්‍රායෝගික ජීවිතයේදී සමානාත්මතාව හා ප්‍රජාතන්ත්‍රවාදය අත්කර දීමයි. එසේ නැතිව එක්‌ එක්‌ රටවල ඓතිහාසිකව පැන නැඟුණු ගැටලුවලට සපයන ලද පිළිතුරු ආදේශ කිරීම අපේ ප්‍රශ්නයට පිළිතුරක්‌ නොවේ.

ප්‍රශ්නය - දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රම්පෝසාගේ පැමිණීම ඔබ දකින්නේ කෙබඳු ආකාරයකටද?

පිළිතුර - විශේෂයෙන්ම මේ ආණ්‌ඩුවට අපේ රටේ ජාතික ප්‍රශ්නය විසඳීම පිළිබඳ දැක්‌මක්‌ හෝ උවමනාවක්‌ නෑ. මේ ආණ්‌ඩුවට අවශ්‍යව තිබෙන්නේ මෙම ගැටලුව දීර්ඝව පවතින්නට හැර තමන්ගේ බලය තහවුරු කර ගැනීමේ උවමනාවයි. මේ රාජපක්‍ෂම විටෙක දහතුන කියනවා. දහතුන ප්ලස්‌ කියනවා. දහතුන මයිනස්‌ කියනවා. දහතුන ප්ලස්‌ කීවේ වෙන එකක්‌ කියා කියනවා. අපේම මොඩලයක්‌ ගැන කියනවා. විටෙක දහතුන ගැන කතා කරන්න ඉන්දියාවට යනවා. අපේම මොඩලයක්‌ හොයන්න කමිටු දානවා. අප්‍රිකානු මොඩලයක්‌ ගේන්න උප ජනාධිපතිට එන්න කියනවා. මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ කිසිම දැක්‌මක්‌, ඉලක්‌කයක්‌ නැති ඉබාගාතේ යන තත්ත්වයක්‌ නොවේද? එම ඉබාගාතේ යන ගමනේ අතරමැදදී සිරිල් රම්පෝෂාගේ අත අල්ලා ගත්තා යෑයි කියා ඉබාගාතේ යන ගමනේ කිසිදු වෙනසක්‌ නෑ.

ප්‍රශ්නය - පක්‍ෂ නායකත්වයට පත් වූ අනුර කුමාර දිසානායක දේශපාලන මණ්‌ඩලයේ සිටි අනුර කුමාර දිසානායකට වඩා අහංකාර ගතියක්‌ පෙන්වන බවට ඇතැමුන් චෝදනා කරනවා?

පිළිතුර - මේ පක්‍ෂයේ අපි කවුරුත් තනතුරු බලාගෙන ඒවායෙන් බැබළෙන්න ආ අය නොවේ. අප මේ පක්‍ෂයට ආවේ වැඩ ඉල්ලාගෙන. දෙන ඕනෑම වැඩක්‌ ඉටු කිරීම සඳහා කැපවීම් කරන්න බලාගෙන. ඉන් ලැබෙන කවර වගකීමක්‌ හෝ අපට ආභරණයක්‌ හෝ ආඩම්බරයට දේවල් නොවේ. සෝමවංශ සහෝදරයා අපට කියාදී තිබෙන්නේ වගකීම් වැඩි වෙන්න වැඩිවෙන්න නිහතමානී වැඩිවෙන්න කියලා. මමත් අපේ පක්‍ෂයේ වගකීම් උසුලන හැම දෙනාත් ඒ ඉගැන්වීමට අනුව කටයුතු කරන පිsරිස්‌. එම නිසා කිසිවෙක්‌ ඔබ කියන පරිද්දෙන් අදහසක්‌ ඉදිරිපත් කළ බවක්‌ මට දැනිලා නෑ.

ප්‍රශ්නය - ඔබ පසුගියදා විදේශගත වුණා. කෙසෙල් කොළේ බෙදූ බත් හැඳි ගෑරුප්පුවලින් කන අයුරු. අඳින පළඳින අයුරු ගැන වෙබ්වල ඡායාරූප පවා පළවී තිබුණා.?

පිළිතුර - මම සාමාන්‍ය පවුලකින් මේ වගකීම්වලට පැමිණි කෙනෙක්‌. අපිට මුහුණ පේෂල් කරගෙන, කොණ්‌ඩය ජෙලිවලින් පුරවාගෙන අමුතු සතෙක්‌ වගේ ආරෝපණයක්‌ ලබා ගැනීමට අවශ්‍ය නෑ. ඒ වගේම මිනිස්‌ සමාජයක්‌ තුළ කටයුතු කරද්දී එම සමාජයේ විවිධ අවස්‌ථා නිර්මාණය වෙනවා. ඒ හැම අවස්‌ථාවකදීම ඊට ගැළපෙන විදිහට අඳින්නත් හැසිරෙන්නත් අවශ්‍ය බව අප හොඳින් තේරුම් ගන්නවා. කවර හෝ තැනකදී අමුතු සතෙක්‌ වගේ පෙනී සිටිය යුතු නැහැ. විලාසිතාවන්, ඒ වගේම නවීනත්වය කිසිසේත්ම බැහැර කරන ව්‍යාපාරයක්‌ නොවේ ජනතා විමුක්‌ති පෙරමුණ. අපේ පක්‍ෂය වඩාත් ඉදිරි අනාගතය නියෝජනය කරන්නක්‌ එම නිසා අපි වඩාත් නූතනවාදී මිනිසුන්. හැබැයි ඒවා තමන්ගේ ග්‍රාම්‍යකම වසා ගැනීම සඳහා තවරා ගන්නා ලද පුහු ආටෝපයන් නොවේ. අප විදෙස්‌ගත වීමේදීත් එම අවස්‌ථාවලදී ලැබෙන විවිධ හමුවීම්වලදීත් එම අවස්‌ථාවන්ට ගැළපෙන පරිදි හැසිරෙන්න සමත්. මට මතකයි. සෝමවංශ අමරසිංහ සහෝදරයා අපට අනූව දශකය මැද භාගයේදී µeක්‌ස්‌ පණිවුඩයක්‌ එවා දේශපාලනයේ ඇතිවී තිබෙන වෙනස්‌කම් මැනවින් විග්‍රහ කර කවරාකාරයේ පරිවර්තනයක්‌ අප අත්පත් කර ගත යුතු ද කියා අපට උගන්වා තිබෙනවා. එම නිසා ජනතා විමුක්‌ති පෙරමුණ ඉතාමත් නම්‍ය ව්‍යාපාරයක්‌. යකඩ රත් වූ විට ඕනෑම හැඩතලයක්‌ හදාගන්න පුළුවන් වගේ ජවිපෙත් ඕනෑම හැඩතලයකට අනුව අනුගත වීමට සමත් ව්‍යාපාරයක්‌.

සාකච්ඡා කළේ
අජිත් අලහකෝන්
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.