ජෝති නැති වුණත් මම වැටුනේ නෑ...
ඇන්ජලින් ලයිව් ඉන් කොන්සර්ට්‌ 23දා



ජෝති රාත්‍රිය එයා එක්‌කම
කරගන්න කියල මම අයින් වුණා...
- ඇන්ජලීන්

සිටු මැඳුරේ හෝ
පුංචි පැළේ හෝ
ඈත භවේ හෝ
මා ඔබ හමු වී තිබුණා
හමු වී දෙඩුවා...
හිනැහී හැඬුවා...

ඒ හ`ඬට.... අවුරුදු හැට තුනක්‌. ඇන්ජලීන් වයසින් මුහුකුරාගියත් වැඩිහිටි වයසට පිවිසියත් ඇගේ හඬ තවමත් තරුණය. නැවුම්ය.

ඇන්ජලීන් ගුණතිලක ගීත ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ එක්‌දහස්‌ නවසිය පනස්‌ එකේදීය. ඒ ගුවන් විදුලිය ඔස්‌සේය. චිත්‍රපට පසුබිම් ගායනයට එදා නැතිවම බැරි වූ ඕ... එච්.ආර්. ජෝතිපාල සමග එක්‌ව ගැයු ගී.... සදා නොමියෙන ගීත බවට පත්ව ඇත.

කලකට පසුව ඇන්ජලීන් හමු වූවේ ඈ පිළිබඳ අලුත් තොරතුරක්‌ මීවිත ඔබ හමුවට ගෙන ඒමටය. ඒ ඇගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය "ඇන්ජලීන් ගුණතිලක ලයිව් ඉන් කොන්සර්ට්‌ය. මෙම 23 දා සවස 6.30 ට බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඒ රිදී සීනු හඬට සජීවීව සවන් දීමේ භාග්‍ය උදාවනු ඇත.

*ගීත කීයක්‌ ගයනවද...

විසි පහක්‌ සජීවීව. යුග ගීත කීපයකුත් ගයනවා. ඒ අය කවුද කියලා එදාටම බලන්න. මංචි අනුග්‍රහයෙන් ප්‍රසංගයේ නිෂ්පාදන කළමනාකරණය, සම්බන්ධීකරණය වගේම ප්‍රසංග අධ්‍යක්‍ෂණයත් බණ්‌ඩාර ඇහැළියගොඩගේය. ජෝති සමග මම ගැයූ ගීත සහ ග්‍රේෂන් සමග ගැයූ ගීතත් ගයනවා.

*ඇයි ප්‍රසංගයක්‌ කරන්න ආයෙත් හිතුවේ

අදටත් කිසිම නාළිකාවක්‌ අපි ගැන හිතලා ප්‍රසංගයක්‌ සංවිධානය කරන්නේ නෑ. අපේ රටේ කොයිතරම් කෝටිපතියෝ ඉන්නවාද? මම සිංහල සිනමාව ගී හඬින් කොතරම් පෝෂණය කළාද ඇයි අපිව අමතක කරන්නේ. කවද හරි අපේ කකුල් අතපය වැඩ නොකරන කාලෙක රෝහලට ඇතුළත් කරලා සත්කාර කරයි. ඒවා වැඩක්‌ නෑ. මම ඒ වැඩේට අකමැතියි. අතපය කට හොඳින් වැඩ කරන කාලේදී හැරමිටියට බහින්න කලින් මේ ආයතන අපි ගැන සිතා බැලිය යුතුයි.

*ඇයි චැනල්වල වැඩසටහන්වලට නොයන්නේ

කතා කරනවා. අර චැට්‌ කියයි මේ චැට්‌ කියයි. රෑ දොළහ එක වෙනකල් එක තැන ඉඳගෙන කරන වැඩසටහන්. මම යන්නේ නෑ.

*ඇයි ඒ සල්ලි නොලැබෙන නිසාද?

අපිට සල්ලි අවශ්‍යයි. අපේ ගේ දොර පාලනයට, වත්ත පිsටිය ලස්‌සනට තියාගන්න, වාහනයට පෙට්‍රල් ගහන්න, මේක්‌ අප් වලට, පර්පියුම්වලට ශැම්පූවලට ඇඳුම් පැළඳුම්වලට සල්ලි ඕනේ. ඒවා අපිට නිකං දෙන්නෙ නෑනේ. හැබැයි මටත් මගේ සැමියාටත් දරුවන්ටත් බෙහෙත් ගන්න ගියොත් කවදාවත් විශේෂඥ වෛද්‍යවරු අපෙන් සල්ලි ගන්නෙ නෑ. ඒක මට දෙවියන් වහන්සේගෙන් ලැබුණ ආශිර්වාදයක්‌. ඒත් අපි කොහොමද ජීවත් වෙන්නේ මුදල් නැතිව ඒත් ඉතිං නිකං ඔය වැඩසටහන්වලට දුවන අයත් ඉන්නවා. රටට ණය වෙලා මට බෑ. කාටවත් ණය කාරයෙක්‌ කණු කාරයෙක්‌ වෙන්න මට ඕනේ කිසිම කෙනෙකෙ=ගෙන් නරක නාමයක්‌ අහන්නේ නැතිව වයසට යන්නයි.

*ඔබ ගී ගයන්න විශාල මුදලක්‌ අය කරනවා

ඔව්... මම අඩු මුදලට සිංදු කියන්න යන්නේ නෑ. මගේ මුදල දෙනවා නම් මම යනවා. සමහරු හිතනවා මම ප්‍රසංග වේදිකාවේ ගී ගයන්නේ නෑ කියලා. මම වේදිකාවේගී ගයනවා. ඒත් මට මම ඉල්ලන මුදල ඕනෑ, යම් ප්‍රසංගයක්‌ ඉදිරිපත් කරන අය දැනගත යුතුයි මම මුදලක්‌ කිව්වා අනේ මේ ගායිකාවට මේ ගණන දිය යුතුයි කියලා.

*ඔබ වැඩි මුදලක්‌ ගන්න නිසා වෙන්න ඇති ඔබේ ගීත නවකයන් ලවා ගායනා කරවන්නේ

ඔව්... මගේ ගී ගයන අය අඩු මුදලකට අරන් ඇවිත් මගේ ගීත ගායනා කරවා ගන්නවා. ඒත් ඒ ඇන්ජලීන්ද... නෑ.... කොපිකැට්‌ මම ඒ අයගේ නම් කියන්නටත් කැමැති නෑ. මම එයාලාට කියන්නේ කොපිකැට්‌ කියලා. මේක ප්‍රොaඩාවක්‌. ඔය කොපිකැට්‌ලා ලක්‍ෂ ගණනක්‌ අය කරනවා කියන්නේ බොරු ප්‍රචාර. ඒ අය හොඳ වාහනවල යනවා තමයි ඒ වාහන ගන්න ක්‍රම සහ විධි තියෙනවා. අපේ ඔය සෝබන නෑ.

අපිට ඔය ඩිපෙන්ඩර් ඕන නෑ. අපි දුප්පත් ඊයේ පෙරේදා ආපු අයට ඉතිං වෙන වෙන සෙල්ලං තියෙනවානේ.

*ඔබට තවමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවාද?

මම ලස්‌සන සිංදු කරලා තියෙනවා. අවුරුදු ලක්‍ෂයකට නැවුම් ලෙස අහන්න පුළුවන් සිංදු. මට ඕන නෑ. ටෙලිවිෂන්වලින් නිකන් එන්න. මම ආවේ ගුවන් විදුලියෙන් අපි ජනප්‍රිය වුණේ ගුවන් විදුලිය නිසා. එදා අපිට ටී. වී තිබුණේ නෑ. පත්තර කොලේක තමයි අපේ පින්තූරයක්‌ හරි දැක්‌කේ. එදා ඒ පත්තර කෑලි එකතු කරගත් අය අදත් මට ඒවා ගෙනත් පෙන්වනවා. ඒ දවස්‌වල මම අත්සන් කරපු කොල කෑලි ඒ අය අදත් මට ගෙනැවිත් පෙන්වනවා. සමහර ඒවා එකතු කරනවා මට තියෙන ආදරේට එදා ජනප්‍රියත්වය අදත් ඒවගේමයි.

*ඔබ ජෝති සමඟ ගීත රැසක්‌ ගැයුවා. ජෝති මිය ගිය පසු ඔබට තැනක්‌ නැතිවේවි කියා හිතුනද?

මොන පිස්‌සුද... සමහරු හිතුවා ජෝති නැති නිසා ඇන්ජලින් වැටේවි කියලා. මම වැටුණේ නෑ. ජෝති නැති වුණාට පස්‌සෙ මම වැටුණේ නෑ. මගේ පාලනයක්‌ මම හදාගත්තා ජෝති නැති වුණාට පස්‌සේ. මා සමඟ ගැයූ යුග ගී තිස්‌ දෙකක්‌ ජෝති එදා අරයා එක්‌ක ගායනා කරලා මට එක එක අරියාදුකම් කළා. මටත් තිබුණා ජෝති ඉඳිද්දීම ජෝති සමඟ ගැයූ ගී ග්‍රේෂන් හෝ වෙනත් කෙනෙක්‌ එක්‌ක ගයන්න. මම එහෙම කැත වැඩ කළේ නෑ. මගේ ගීත තව කෙනෙක්‌ එක්‌ක ගැයුවාම ජනප්‍රිය වෙනවාද... නෑ.... මිනිස්‌සු කෙළ ගහනවා....

*ඔබ ජෝති රාත්‍රියේ දිගටම ගීත ගැයුවේ නෑ...?

නෑ... පළමු එකට විතරයි මට මතක හැටියට. එක දවසක්‌ එක්‌තරා ආයතනයක්‌ ජෝතිගේත් මගේත් සිංදු හයක්‌ රූපවාහිනියට කළා. ලස්‌සන යුග ගීයක්‌ ගැයුවා.

කා ළඟද රෑ ගෙවුනේ හඳපානේ

නොදනිමි නොදනිමි නොදනිමි...

කියා හරිම ලස්‌සන ගීයක්‌. දමිළ තනුවක්‌. ඒක ගයද්දී නැලවිලි ඇක්‌ෂන් දාන්න කිව්වා. හරියට අතුල සමිතා වගේ. ඒත් මම ජෝතිත් එක්‌ක කිසිම සම්බන්ධයක්‌ නැතිව වෙන පැත්තක බලාගෙන සිංදුව කිව්වා. මම ටීවී එකේ ජෝතිත් එක්‌ක ලව් සීන් කරතැහැකිද. මම ජෝතිගේ මූණ දිහාවත් බැලුවේ නෑ... ජෝති රාත්‍රිය... පළමුවැන්න තිබුණේ රත්නපුරේ. විශාල පිරිසක්‌ බලන්න ආවා. මුළු ප්‍රසංගයටම ගෙව්වේ රුපියල් දොළොස්‌ දාහයි. මට ගෙව්වේ රුපියල් දාහක්‌ වගේ මුදලක්‌. ජෝති තමයි ඒ ගාන මට නියම කළේ. එක දවසක්‌ ජෝති මට කිව්වා ඇන්ජි... මින් පස්‌සේ ජෝති රාත්‍රියට ඉල්ලන ගාන ටිකක්‌ අඩු කරන්න... මගේ ගානත් අඩු කරනවා... ස්‌ටැන්ලි පීරිසුත් අඩුකරනවා. සුජාතාත් ගීත ගයනවා කියලා. මම කිව්වා 3/30, 6/30 දෙකේම රැඳිලා ඉන්නත් ඕනෑ.... තව ප්‍රසංග තියෙනවා ඒවාටත් නොයා එන්නේ... මට අඩු කරන්න බෑ... අඩු කරන්න කියනවානම් ඇයි සුජාතව ගත්තේ කියලා. නෑ.... එයා නොමිලේ සින්දු කියන්නේ කියලා කිව්වා. එහෙමනං ඉතිං එයා එක්‌කම ජෝති රාත්‍රිය කරගන්න කියලා මම අයින් වුණා.

*ඔබේ මේ ප්‍රසංගය මේ නමින්ම ඉදිරියේදීත් කරනවද?

මගේ ප්‍රසංගය ගිය අවුරුද්දේත් කළේ මේ නමින්ම තමයි. හැමෝම කරනවා වගේ එක එක නම් දාන්න මම කැමති නෑ. මගේ නමින්ම කරනවා. බලමු... සංවිධානය කරන්න කැමති අය ඉන්නවා නම් ඉදිරියේදීත් කරනවා.

*ඔබේ ගීත ගයන්න කලින් නවකයෝ කතා කරලා අවසර ඉල්ලනවද?

නෑ... ඉල්ලන්නේ නෑ. ඉල්ලුවොත් අවසර දෙන්නෙත් නෑ. ගීයේ අයිතිය ගායකයාට හා ගායිකාවට සතුයි මාව මැරුවත් කමක්‌ නෑ මගේ ගීත කිසිම කෙනෙකුට අයිති කරගන්න දෙන්නෙ නෑ.

*ඔබ හරිම සැර ගායිකාවක්‌ කියා කියනවා?

ඔව්... මම අසාධාරණය හමුවේ සැරයි තමයි. මම කටපියාගෙන ඉන්නෙ නෑ. ඒ මම කවදාවත් අනුන්ගේ දේට කටදාන්න යන කෙනෙක්‌ නොවේ.

*ඔබ අහංකාරයි.... ආඩම්බරයි?

ඒ මිනිස්‌සුන්ට පෙනෙන හැටි. මම ඕනෑම කෙනෙක්‌ එක්‌ක කතාබහ කරනවා. දුප්පත් පොහොසත් භේදයක්‌ නෑ.... මම අහංකාර නෑ... නපුරු නෑ... නපුරුකම් කරන අය එක්‌ක මම සටන් කරනවා.

අජිත් අලහකෝන්

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.