මහනාහිමිවරුන් බැහැ දැකීමට යන බොහෝ
දේශපාලකයින් එළියට ඇවිත් කියන්නේ බොරු
මැදගම ධම්මානන්ද හිමි

සිරිමන්ත රත්නසේකර

මහනායක හිමිවරුන් බැහැ දැකීමට යන බොහෝ දේශපාලනඥයින් උන්වහන්සේ අනුශාසනා කළේ යෑයි කියමින් උන්වහන්සේලා නොකියූ අදහස්‌ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන බවට "අස්‌ගිරි මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික, ධර්මපාල පරපුර සංවිධානයේ සභාපති මණ්‌ඩල සභික ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ ඊයේ (18 වැනිදා) චෝදනා කළහ.

කිසිදා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කතා නොකළ එම පරාජිත දේශපාලනඥයන් සිය දේශපාලන මතය ප්‍රචාරය කිරීම වෙනුවෙන් අතිපූජනීය මහානායක හිමිවරු භාවිතා කිරීම ඉතාමත් අභාග්‍ය සම්පන්න තත්ත්වයක්‌ බවත් උන්වහන්සේ සඳහන් කළහ.

පූජනීය මහානායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනාවක එක වචනයක්‌ අල්ලාගෙන "උන්වහන්සේ අපේ කරුණු පැහැදිලි කිරීම් පිළිගත්තා අනුමත කළා", යෑයි ඔවුන් පවසන බවත් එහෙත් සත්‍ය එය නොවන බවත් ධම්මානන්ද හිමියෝ කීහ.

භික්‍ෂූන් වහන්සේලා පාලනය කිරීමට භික්‍ෂූන් වහන්සේලාට හැකි බවත් ඊට දේශපාලකයින් අවශ්‍ය නොවන බවත් සඳහන් කළ උන්වහන්සේ බැංකු ගිණුම්, ඡන්දදායකයින් යන වෙනත් අරමුණු වෙනුවෙන් රට ආගම, ජාතිය උගසට නොතැබිය යුතු බවත් සඳහන් කළේය.

උන්වහන්සේ ඊයේ (18 වැනිදා) එම අදහස්‌ පළ කළේ කොළඹ සව්සිරිපායේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.