සංස්‌කරණය : නාරද නිශ්ශංක

මම නපුරු නෑ
අපි ජනප්‍රිය වුණේ
අනුන්ගේ ගීත ගයලා නොවේ

- ප්‍රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක


ඇන්ජලින් ගුණතිලක 'ලයිව් ඉන් කොන්සර්ට්‌..' හෙට

ගාමිණී - මාලිනී මෙන්ම විජය - මාලනී යුගය ද සිනමාවට වාසනාව ගෙන ආ කාලවකවානුවකි. මේ වාසනාව මෙරට සිනමාවට එක්‌කිරීමට බලපෑවේ ගාමිණී, විජය, මාලිනී ශිල්පී ත්‍රිත්වයේ රඟපෑම් පමණක්‌මද? නැත. එදා අපේ සිනමාව ස්‌වර්ණමය තත්ත්වයට ගෙන එන්නට දායක වූ තවත් දෙදෙනෙක්‌ සිටිති.



සුදු පාට මීදුම් ගලාලා
අර පේන කන්දේ එතීලා
මඳහාස පෙන්වා බැඳීලා
දෙදෙනාට රහසේ කියා දේ
ආදරේ....

එදා රොද බැඳගෙන සිනමා ශාලා වෙත ප්‍රේක්‍ෂකයන් ආවේ ගාමිණී මාලිනීගේ මේ රංගනයන් දෑසින් දකින්නත් ජෝති ඇන්ජලීන් හඬින් ගැයෙන ගීත... අසන්නත් ය.

ඉර සඳ වැඳලා
නෙත් දෙක ඇරලා
අත ඔබෙ නළලෙ තියා
හදවත සපුරා පවසමි ඉඳුරා
මම ආදරෙයි කියා...



විජය මාලිනී අතිශය දුක්‌බර රංගනය, දැස්‌ කඳුළින් තෙත් කරගෙන නැරඹූ ප්‍රේක්‍ෂකයන් ජෝති - ඇන්ජලීන් ගැයූ පසුබිම් ගීත ආදරයෙන් වැළඳගත්හ.

එදා සිනමාවට ජෝතිගේ හඬ ගාමිණී සහ විජයටත් ඇන්ජලීන් ගුණතිලකගේ හඬ මාලිනීටත් කදිමට ගැලපිණි. ඒ නිසාම එදා විජය සහ ගාමිණීගේ ජනප්‍රියත්වයට එච්. ආර්. ජෝතිපාලත්, මාලිනී ෆොන්සේකාගේ ජනප්‍රියත්වයට ඇන්ජලීන් ගුණතිලකත් විශාල දායකත්වයක්‌ ලබාදුන්හ.

එදා ඇසුණු ඒ ගී අද ඇසෙද්දී අද වෙසෙන එදා පරපුර නිරායාසයෙන්ම හැත්තෑව දශකයට ගමන් කරති. එදා විඳි සුන්දරත්වය මනසින් අදත් විඳිති.

මා එදා...
දෑසින් සනහා ඔබ දුන් කැල්මන්
හද බැඳුණා... අද එනවැයි...
ඔබ දිව්රා ගියා...

ඇන්ජලීන් ගුණතිලක එදා විවිධ ශෛලියේ ගීත ගයමින් සිනමාලෝලීන් සිය හඬින් මුසපත් කළාය. ඇගේ කිංකිණි හඬ... අදත් එදා මෙන්මය.

කොතරම් ඇසුවත් ඒ ගී යල් පැන නොයයි. නැවුම්ය. රසවත්ය.

තනුවටම ගැලපෙන ඇගේ හඬ.. පද රචනයේ අර්ථය වඩාත් උද්දීපනය ලෙස හැඟුම්බරව ගයන්නීය. ඒ දස්‌කම ඇතැම් ගායන විශාරදයන්ට ද නැත.

ඇන්ජලීන් ගුණතිලක එදා අපට සමීප කළ ගී යළිත් ඒ ආකාරයෙන්ම සජීවීව හෙට (23 දා) ගයන්නීය. ඒ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය.

ඇන්ජලින් ගුණතිලක 'ලයිව් ඉන් කොන්සර්ට්‌...' ඉදිරිපත් කරන්නේ මන්චි අනුග්‍රහයෙනි. හෙට මේ ප්‍රසංගයේදී ඈ ගීත විසිපහක්‌ ගයන්නීය.

මේ ඒ ගැන අප ඈ සමඟ කළ සාකච්ඡාවක සටහන්ය.

ප්‍රසංගයක්‌ කරන්න විශේෂ හේතුවක්‌ තියෙනවද?

කිසිම චැනල් එකක්‌ අපි ගැන හිතල ප්‍රසංගයක්‌ කරන්නෙ නෑනෙ. මම සිංහල සිනමාවේ යම් සලකුණක්‌ තැබූ ගායිකාවක්‌. ඇයි අපිව අමතක කරන්නේ. අපේ අතපය පණ නැති කාලෙක රෝහලකට ඇතුළත් කර සත්කාර කළාට වැඩක්‌ නෑ... අතපය හොඳට වැඩ කරන කාලේ. හැරමිටියට බහින්න කලින් අපි ගැන සලකලා මේ ආයතන යමක්‌ කළ යුතුයි. ඒත් එහෙම කරන්නෙ නෑනේ. ඒ නිසා තමයි, මේවගේ ප්‍රසංගයක්‌ ඉඳලා හිටලා හරි කරන්නේ මංචි ආයතනයට ස්‌තුතිය පුදකරනවා මගේ ඇන්ජලීන් ගුණතිලක ලයිව් ඉන් කොන්සර්ට්‌ ප්‍රසංගයට අනුග්‍රහය දැක්‌වීම ගැන. ප්‍රසංගයේ නිෂ්පාදන කළමනාකරු වගේම ප්‍රසංග අධ්‍යක්‍ෂණයත් බණ්‌ඩාර ඇහැලියගොඩගේ.

ඔබ ප්‍රසංග වේදිකාවට ගොඩවෙන්නෙ නෑ කියලා සමහරු කියනවා...?

නෑ... එහෙම නෑ... බොහෝ අය හිතනවා මම ප්‍රසංග වේදිකාවට යන්නෙ නෑ කියලා. මම යනවා. ඒත් අඩු මුදලට නම් මම ගීත ගයන්නේ නෑ. මම ඉල්ලන මුදල දෙනවා නම් මම ප්‍රසංගවලට යනවා.

ඔබ ඉල්ලන මුදල ඔබට ලැබෙනවද?

ප්‍රසංගයක්‌ සංවිධානය කරද්දී ඒ අය තේරුම් ගත යුතුයි. මම මුදලක්‌ ඉල්ලුවාම අනේ මේ ගායිකාවට ඒ මුදල දිය යුතුයි කියලා. මගේ ගී ගයන අය අඩු මුදලට ඇවිත් මගේ ගී ගයනවා. ඒත් ඒ ඇන්ජලීන් ගුණතිලකද? නෑ කොපි කැට්‌. මම ඒ අයව නමින් හඳුන්වන්නවත් කැමැති නෑ. ඒ නිසා කොපිකැට්‌ කියලා තමයි මම එයාලට කියන්නේ.

එච්. ආර්. ජෝතිපාලගේ ගීතත් අද ගයනවා. පද රචකයාත්, තනු නිර්මාණ ශිල්පියාත් කැමැති නම්...?

එදා බොරුවට ජෝති නැතුව බෑ කිව්වා. ජෝති නැති වුණාම සිංහල සිනමාව වැටුණා කීවා. අපි කළයුත්තේ ඒ ගීත සංරක්‍ෂණය කර මාධ්‍ය ඔස්‌සේ අහන්න සැලැස්‌වීමයි. ජෝති ගැන ගුණ වර්ණනා කර කර ඒ නම විකුණාගෙන කනවා. පද රචකයා, තනු නිර්මාපකයා කෑදරකමින්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් දැන් සින්දු විකුණනවා. ජෝති නැතුවම බෑ කියපු අය නේද මෙහෙම කරන්නේ. ඒ අය ජෝතිගේ ගීත වෙනත් අය ලවා ගායනා කරවනවා. ඇයි ජෝතිපාලගේ ගීත මේ විදිහට විකුණන්නේ. අපි ඒ කාලේ ජනප්‍රිය වුණේ ඔය වගේ අනුන්ගේ ගීත ගයලා නොවේ. තම තමන්ට අනන්‍යතාවක්‌ හදාගත යුතුයි. ගීතයේ අයිතිය ගායකයාටත් තියෙනවා. මාව මරලා දැම්මත් කමක්‌ නෑ මගේ ගීත කිසිම කෙනෙකුට අයිති කරගන්න දෙන්නෙ නෑ. පද රචකයා පද ටිකක්‌ දානවා. තනු නිර්මාණකරුවා තනුවක්‌ හදනවා. ඒ දෙක ජනප්‍රිය කරන්න හඬක්‌ තියෙන්න ඕනේ. ලංකාවේ අපි දුප්පත් ගායක ගායිකාවෝ. ලතා මංගේෂ්කාර්ට, ආශා බෝස්‌ලේට අහස්‌ යානාවක්‌ හරි මිලට ගන්න පුළුවන්. ඒත් අපි දුප්පත් අය. ගීයක්‌ ගයලා මුදලක්‌ හම්බ කරගන්නේ. ඒක නැතිවුණාම කොහොමද ජීවත්වෙන්නේ.

ඔබ අන් අයගේ ගීත ගායනා කරලම නැද්ද?

එකම එකක්‌ මතකයි ජෝති දවසක්‌ කිව්වා කැසට්‌ එකක්‌ කරනවා සිංදු තුනක්‌ ගායනා කරන්න කියලා. මම ගියා. ජී. එස්‌. බී. සිංදු තුනක්‌ මට ගායනා කරන්න කීවා. මම ඇහුවා ජෝති ඔයාට පිස්‌සුද කියලා. ජෝති අඬන්න ගත්තා එදා රෑම සිංදු ටික අරගෙන සිංගප්පූරුවට යන්න ඕනෑ ගියේ නැත්නම් ප්‍රශ්නයක්‌ කියලා. ජෝති අමාරුවේ වැටෙන නිසා මම සිංදු දෙකක්‌ ගායනා කළා. ඒ කාලේ අනුන්ගේ සිංදු හොරකම් කරන පිස්‌සුවක්‌ තිබුණේ නෑ. රාණි අක්‌කා මගෙන් කිසිම දෙයක්‌ ඇහුවේත් නෑ. එයාගේ සිංදු ගායනා කිරීම ගැන. දැන් අවුරුදු කීපයකට කලින් මම මගේ කාර් එකේ යද්දි චැනල් එකක මම ගයපු රාණි අක්‌කාගේ ගීය වාදනය වුණා. මට හරිම ලඡ්ජාවක්‌ ඇතිවුණා. මම ඒ වෙලාවේම ඒ චැනල් එකට කතා කරලා කිව්වා අනේ මම ඒ දවස්‌වල කළ වැරැද්දක්‌..... දැන් මම ප්‍රතිපත්තියක්‌ විදිහට අනික්‌ අයගේ ගීත ගයන්නේ නෑ. ඒ නිසා ඔය සිංදුව දාන්න එපා කියලා...

ඔබේ ගීත ගයන්න නවකයෙක්‌ අවසර ඉල්ලුවොත්....?

අවසර ඉල්ලන්නෙ නෑ මම බණියි කියලා. ඉල්ලුවොත් මම අවසර දෙන්නෙත් නෑ.

ඔබ හරිම සැර ගායිකාවක්‌ කියා ප්‍රසිද්ධයි?

මම සැරයි තමයි. ඒ අසාධාරණය ඉදිරියේ අසාධාරණය හමුවේ කට පියාගෙන ඉන්න මට බෑ. ඒත් මම අනෙක්‌ අයගේ ප්‍රශ්නවලට ඇඟිලි ගහන කෙනෙක්‌ නොවේ. මම අනුන්ගේ දේ හොයන්නේ නෑ. මම මගේ පාඩුවේ ඉන්න කෙනෙක්‌.

ඔබ ආඩම්බර, අහංකාර ගායිකාවක්‌ කියා කියනවා?

නෑ.... ඒ මිනිස්‌සුන්ට පෙනෙන හැටි. මම ඕනෑම කෙනෙක්‌ එක්‌ක කතා කරනවා. මම අසරණ අයට උදව් කරනවා. උසස්‌ පහත් දුප්පත් පෝසත් භේදයක්‌ මම සලකන්නේ නෑ. අසරණ දරුවන් කෙරෙහි පුදුම අනුකම්පාවක්‌ මට ඇති වෙනවා. මම බත් උයද්දී පවා දෙවියන්ගෙන් ඉල්ලනවා අනේ අද තවත් කෙනකුට බත් කටක්‌ දෙන්න හැකිවේවා කියලා. මම නපුරු ගැහැනියක්‌ නොවේ. මම මට නපුරුකම් කරන අය එක්‌ක සටන් කරනවා.

ඔබේ දියණියන් දෙදෙනාම ගායනයට කැමැත්තක්‌ දක්‌වන්නේ නෑ...?

ලොකු දුව නම් ගයන්නේ නෑ. එයා ඉන්නේ නවසීලන්තයේ. පොඩි දුව නම් සමහර වෙලාවට පල්ලියේ ගීතිකා ගායනා කරනවා. එයා ගී ගයන්න කැමැතියි. ඒත් මේ කලා ලෝකයේ මටවත් ජීවත්වෙන්න බැරි නම් අපේ දරුවො කොහොම ජීවත් වෙන්නද? මගේ දුවලාට මට වගේ අසාධාරණය හමුවේ සටන් කරන්න අමාරුයි. මේ ක්‍ෂේත්‍රයේ ඉන්නවා නම් ඔලුවත් මනසත් හරියට තියාගෙන ඉන්න ඕනෑ. මම දුවට කියලා තියෙන්නේ මම මැරුණාට පස්‌සෙ නම් සිංදු කියන්න යන්න එපා කියලා. ඒ වුණත් මගේ මුණුපුරා ඉමල් ජූඩ් මල්වත්ත සංගීත ක්‍ෂේත්‍රයේ ඉදිරියට යනවා. ආච්චි වගේ නම රැකගෙන ඉන්න කියල තමයි මම එයාට අවවාද කරන්නේ.

පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ.... මහා සාගරේ....
කඳුළැලි ජලකඳ සැදුණේ
මුතුවන් රළ නැගුණේ...
කුණාටු මුහුදෙන් අඩ සඳ පිපුණේ
වේදනා ගෙනේ...

මෙවන් මිහිරි ගැයුම් රැසක සජීවී අත්දැකීම ඇන්ජලීන් ගුණතිලක සමඟ ගයන්නට, රසවිඳින්නට හැත්තෑව අසූව දශකයේ ගීත ලෝලීනට කලකට පසු ලැබෙන දුර්ලභ අවස්‌ථාවක්‌ බවට ඇන්ජලීන් ගුණතිලක ලයිව් ඉන් කොන්සර්ට්‌ සනිටුහන් වනු ඇත.

අලහකෝන්
 

 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.