ඌව ඡන්දය

(න්‍යායාත්මක ජයග්‍රාහකයා සහ ප්‍රායෝගික ජයග්‍රාහකයා)


ඌව, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය විසින් ජය ගන්නා ලද බව ඇත්ත. එහෙත් 2009 ඌව පළාත් සභා ඡන්දයේ අවසන් ප්‍රතිඵලය සමඟ සසඳන විට පෙනී යන්නේ මෙවර ඡන්දයේදී සන්ධානයට ඡන්ද 69,000 ක්‌ අඩු වී තිබෙන බව ය. එජාපයට ඡන්ද 145629 ක්‌ වැඩි වී ඇති බව ය. එය සියයට දෙසිය දහ ගුණයකටත් වැඩි වර්ධනයකි. මෙවර ඡන්දයේදී සන්ධානයට මන්ත්‍රී ධුර 6 ක්‌ අහිමි වූ අතර එජාපයට මන්ත්‍රී ධුර 6 ක්‌ වැඩි විය. නිමල් සිරිපාලගේ බදුල්ලත් ඩිලාන් පෙරේරාගේ හාලිඇලත් එ.ජා.ප.ය දිනා ගත්තේ ය. සන්ධානයෙන් වැලිමඩට දැමූ අශ්වයා ද පැරදිණි. සමස්‌ත ප්‍රතිඵලයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජය ගත් බව ඇත්තක්‌ යෑයි අපි යළිදු කියමු. ඒ සමඟම එ.ජා.ප.ය ද 'විශාල ජයක්‌' වාර්තා කරගත් බව ආණ්‌ඩුවට දන්වමු. ජ.වි.පෙ. ද තුන්වැනි බලවේගය බවට පත් වී ඇති බව කියමු. ආණ්‌ඩුවට කොහොමටත් රාජ්‍ය බලය තිබේ. කිසිවක්‌ නැතිව සිටියේ එ.ජා.ප.යයි. ඌව ඡන්ද ප්‍රතිඵලවලින් පෙනී යන්නේ එ.ජා.ප.ය. ට යමක්‌ ඇති බවත් තවත් බොහෝ දේ ලබා ගැනීමේ ගමන්මඟකට එම පක්‍ෂය අවතීර්ණ වී ඇති බවත් ය.

පළාත් සභා ඡන්දයක්‌ හෝ ප්‍රාදේශීය සභා ඡන්දයක්‌ නිතරම ගණන් ගනු ලබන්නේ පවතින ආණ්‌ඩුව කෙරෙහි ජනතාව තුළ තිබෙන ප්‍රසාදයේ සාම්පලයක්‌ ලෙස ය. එබඳු 'සාම්පල් මැතිවරණ' සඳහා ඡන්දය පාවිච්චි කිරීමට ජනතාව වැඩි වශයෙන් උනන්දු වන්නේ නැත. එහෙත් ඌව ඡන්දයේදී ලියාපදිංචි මුළු ඡන්ද ගණනින් 75.87% ක්‌ ඡන්දය පාවිච්චි කර තිබිණි. එහි තේරුම ආණ්‌ඩුව යෑවීම සඳහා බරපතළ පණිවුඩයක්‌ ඌවේ ජනතාවගෙන් බහුතරයකට තිබූ බව ය. මේ ඡන්දයේදී අනාථ වූවෝ, හිටපු ජනරාල්ගේ පක්‍ෂයත් කඳුරට ජනතා පෙරමුණත් පමණි. ජනතා විමුක්‌ති පෙරමුණ පවා කිසියම් ආකාරයකට ශක්‌තිමත්ව ස්‌ථාන ගතවීමෙන් පෙනී යන්නේ ජනතාව විකල්ප දේශපාලන මතවාද කෙරෙහි රොක්‌ වෙමින් සිටින බව ය.

මිනිසුන් දේශපාලන පක්‍ෂයක්‌ පරදවන්නේ හෝ දේශපාලන පක්‍ෂයක තත්ත්වය පහත හෙළන්නේ එම පක්‍ෂය හෝ පක්‍ෂ මගින් කරවන ආණ්‌ඩුව හොඳටම එපා වූ විට ය. ඌවේ ආණ්‌ඩු පක්‍ෂයට අයත් සමහර බලගතු දේශපාලනඥයන් ඡන්ද රැස්‌වීම් පවත්වන ලද්දේ මොන්ටෙරෝ වාහන තුළ සිට ය. 'පොකට්‌ මීටින්' ලෙස හැඳින්වෙන කුඩා රැස්‌වීම් සඳහා ගිය එවැන්නෙක්‌ මොන්ටෙරෝව තුළ සිටම රැස්‌වීම ඇමතූහ. ඔවුන් රියෙන් පිටතට පැමිණ සිටිනු වැඩි දෙනා විසින් දක්‌නා ලද්දේ ඡන්දය දා උදේ ඡන්ද පෝලිමේදී ය. ඒ ආරක්‍ෂකයන් පිරිවරා ගෙන ඡන්දය දැමීම සඳහා ඔවුන් ඡන්දපළට පැමිණි විට ය. රාජ්‍ය බලය යොදාගෙන පක්‍ෂයේ නම සහ ජනාධිපතිතුමාගේ නම කා දමමින් පිස්‌සු කෙළින මේ අසාර්ථක දේශපාලනඥයන් පලවා හැර ඒ තැන්වලට සුදුස්‌සන් පත් කර දීම ශ්‍රී.ල.නි.ප. යේ යුතුකම ය. මේ ඡන්දය පවා මේ තරමින් හෝ ගොඩ දමන ලද්දේ ජනාධිපතිතුමා විසිනි. ආණ්‌ඩුවේ මැති ඇමැත්තන් වැඩි දෙනා කෙරෙහි ජනතාවට තැකීමක්‌ නැතත් ජනාධිපතිතුමා කෙරෙහි විශාල ජන ප්‍රසාදයක්‌ අදටත් ජනතාව තුළ පවතී. එතුමා ඌවේ වේදිකාවට නැග එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය දිනවන ලෙස ජනතාවගෙන් ඉල්ලූ කල්හි එම ඉල්ලීමට සවන් දීමටත් එය ඉටු කර දීමටත් ජනතාව උත්සුක වූහ.

ඌවේ ඡන්දය න්‍යායාත්මක ජයග්‍රාහකයා සන්ධානය ය. ප්‍රායෝගික ජයග්‍රාහකයා එ.ජා.ප.ය. ය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.