සොරු සමග සිඟමන්

දඹුල්ල මූලස්‌ථාන පොලිසියේ දක්‍ෂ නිලධාරීන් විසින් ආරුමුගම් සුබ්‍රමනියම් බුද්ධික නැමැති දරුවා සොයා ගන්නා විට ඔහු සිටියේ දඹුල්ලේ මිරිස්‌ගෝනියාව පාලම අසලය.

ඒ අවශ්‍ය ඕනෑම විටෙක අන්ත අසරණ අහිංසක මිනිසකුගේ ස්‌වරූපය ප්‍රදර්ශනය කළ හැකි, එහෙත් සැබෑ ලෙසටම නම් මැර පෙනුමක්‌ සහිත වෘත්තීය යාචකයකුගේ යාචක උපකරණයක්‌ වශයෙන් සිටියදීය.

මේ හෝතඹුවා විසින් ආරුමුගම් කුඩා දරුවා පැහැරගන්නා ලද්දේ මීට මාස 11 කට පෙර අම්බලන්ගොඩදීය. ඒ ඔහු තම සීයා සහ ආච්චි සමඟ අම්බලන්ගොඩ බස්‌ නැවතුමේ නිදා සිටියදීය.

බස්‌ නැවතුමක්‌ යනු රාත්‍රි කාලයට දඩාවතේ යන බල්ලන් බළලුන් හෝ අධික බීමත්කම නිසා ගෙදරට යා ගත නොහැකි බේබද්දකු හෝ වැටී නිදාගන්නා තැනක්‌ මිස සාමාන්‍යයෙන් මිනිසුන් නිදා ගන්නා තැනක්‌ නොවේ. එහෙත්, ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රවාහන, සේවාවල පවත්නා "කාර්යක්‌ෂමතාව සහ දියුණුව" කෙතෙක්‌ද යත් සාමාන්‍ය මගී ජනතාවටද ඇතැම් අවස්‌ථාවල තමන් අපේක්‍ෂිත බස්‌රථ නොමැතිකම නිසා බස්‌ නැවතුම්පළවල (දුම්රිය ස්‌ථානවල) රැය පහන් කිරීමට සිදුවේ. රැය පහන් කිරීම සඳහා බොහෝ විට දැස්‌ ඇරගෙනම සිටීමට නොහැකි හෙයින් මිනිස්‌සු එහිදී පත්තර කෑල්ලක්‌ එළාගෙන හෝ නිදා ගැනීමටද තැත් කරති.

මෙයින් කාටවත් ප්‍රශ්නයක්‌ නැතත් එසේ නිදාගන්නා අයටම සිදුවන ප්‍රශ්න කීපයක්‌ තිබේ. තමන් සතු දැ සොරකු විසින් සොරකම් කරනු ලැබීම මෙහිදී මතුවිය හැකි බරපතළම තත්ත්වය නොවුණත් සිදුවිය හැකි වඩාත් සුලබම තත්ත්වය වේ. ඒ අනුව, වඩිවේල් සෙල්ලපාක්‍යම් වැඩිමහලු යුවළට අම්බලන්ගොඩින් අවසාන බස්‌රථය අල්ලා ගැනීමට නොහැකිවීම නිසා එම බස්‌නැවතුමේ සිදුකරන්නට වන නින්ද තම අසරණ මුණුබුරා තමන්ට අහිමි කර ගැනීමට හේතුවක්‌ වෙයි.

ඊයේ අප පුවත්පතේ පළවූ මෙම ප්‍රවෘත්තිය අප නැවත අපගේ අවධානයට ගන්නේ එතුළින් ප්‍රකාශයට පත්වන විශේෂ කාරණා ගණනාවක්‌ම තිබෙන නිසාය. එකක්‌ නම් කුඩා නගරවල පවා රාත්‍රිය අනාරක්‍ෂිත වීමය. සොරකු දරුවකු සොරකම් කරගෙන යැම නොදකින ජනශූන්‍ය නිහඬ නගරය පිළිබඳව ඒ නගරයේ ආරක්‍ෂාවට සිටින අදාළ පොලිස්‌ ස්‌ථානයේ නිලධාරීන් ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? ඔවුන් සියල්ලන්මත් එදා අර මහලු යුවළ මෙන් තද නින්දකට වැටී සිටි බවද? නගරයේ රාත්‍රි ආරක්‍ෂාව වෙනුවෙන් කිසිදු වැඩ පිළිවෙළක්‌ ඔවුන් සතු නොවන බවද? තත්ත්වය එසේ නම් රටේ පවත්නා මෙබඳු නගර එම නගර පිටින්ම උස්‌සා ගෙන යැමට හැකි සොරුන්, මංකොල්ලකරුවන් බිහිවීම වැඩි ඈතක නොවිය හැකිය. යුරෝපා කොටි තහනම ඉවත්කිරීමෙන් නව ප්‍රාණයක්‌ ලබා ක්‍රියාත්මකව සිටින ත්‍රස්‌ත කල්ලි තම නව ක්‌ෂේමභූමි පිළිබඳව දැනටමත් සිතියම් සකස්‌ කරමින් සිටිනවා විය හැකිය.

අනෙක්‌ කරුණ නම් අප හැමදාම කතා කරන මේ රටේ දරුවනට එරෙහිව පවත්නා අපරාධය. දරුවන් විවිධ අපචාරවලට ලක්‌කිරීම්, දරුවන් පැහැරගෙන යැම්, දරුවන් ඝාතනය කිරීම් පසුගිය කාලය තුළ වාර්තා වූයේ හතු පිපෙන්නාක්‌ මෙනි. ඒ අතර වාර්තා වූ තවත් එක්‌ ප්‍රවණතාවක්‌ වූයේ සිඟාකෑම සඳහා විවිධ සංවිධානාත්මක කල්ලි විසින් දරුවන් යෙදවීමය. මෙහිදී දරුවෝ ඇතැම් විට ඔවුන් ගේ අසරණ සහ මුග්ධ මාපියන්, භාරකරුවන් වෙතින් ඉල්ලා ගැනෙති. නැතහොත් ඔවුන් සොරකම් කරගෙන ගොස්‌ සිඟමනෙහි යොදවති. මේ අතිශය දරුණු අපරාධය වැළැක්‌වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය යුහුසුළු නොවන්නේ යෑයි අප නොකියමු. ප්‍රශ්නය මේ තරම්වත් සමනයවී පවතින්නේ දක්‍ෂ සහ කාර්යශූර පොලිස්‌ නිලධාරීන් ගේ අවධානය මේ කෙරෙහි යොමුවී පවතින නිසා බව පිළිගැනීමට අප අකමැති නැත. එහෙත් මේ සඳහා රටේ සාමාන්‍ය ජනතාව වඩාත් දැනුවත් කරන වැඩපිළිවෙළක්‌ ආරම්භ කිරීම සේම රටේ දරුවන් කෙරෙහි වඩාත් අවධානය යොමු කරන වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමද පොලිසියේ යුතුකමය.

"දරුවන් බලා ගැනීම දෙමව්පියන්ගේ වගකීමය" යන සුපුරුදු කතාවටම සීමා නොවී දරුවන්ට එරෙහිව බිහිවී ඇති නව අපරාධ ප්‍රවණතාවන්ට එරෙහිව විශේෂ වශයෙන් කටයුතු කරන පොලිසියක්‌ රටේ නිර්මාණය විය යුතුය යන්න අපගේ අදහසය. ඒ සඳහා අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක්‌ද නිර්මාණය වීම ඉක්‌මන් ජාතික අවශ්‍යතාවක්‌ය යන්නද අපගේ අදහසය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.