විදුලිබල මණ්‌ඩලයේ නිලධාරීන්
අසභ්‍ය වචනයෙන් බැණ තර්ජනය කළා

- මඩකලපුව මංගලාරාමාධිපති හිමියෝ කියති

සුසන්ත අමරබන්දු - අම්පාර විශේෂ

මඩකලපුවේ තිබෙන එකම බෞද්ධ විහාරස්‌ථානය වන මඩකලපුව මංගලාරාම විහාරස්‌ථානයේ බුදු මැදුරේ මීට ඉහත දින දෙකකදී නිසි පරිදි විදුලි බිල් ගෙවා තිබියදී විදුලිය විසන්ධි කළ විදුලිබල මණ්‌ඩලයේ කොළඹින් පැමිණි නිලධාරීන් පිරිසක්‌ යෑයි කියා ගන්නා පිරිසක්‌ 23 වැනිදා දහවල් මංගලාරාම විහාරස්‌ථානයට පැමිණ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ට ඉතා අසභ්‍ය ලෙස බැණ වදිමින් මුළු විහාරස්‌ථානයේම විදුලිය විසන්ධි කිරීමට උත්සාහ කළ බව උන්වහන්සේ "දිවයින" ට පවසා සිටිති.

විහාරස්‌ථානයේ බුද්ධ මන්දිරයට, ආවාස ගේ ඇතුළු ස්‌ථාන සඳහා විදුලි මීටර් 04 ක්‌ සවිකර තිබෙනවා බොහෝ කලකින් පසු බුද්ධ මන්දිරයේ සිතුවම් නැවත අඳිමින් ප්‍රතිසංස්‌කරණ කටයුතු කරන නිසා එම ස්‌ථානයේ විදුලි රැහන් පද්ධතිය ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා ගලවා තිබෙන බැවින් එම සිතුවම් අඳින ශිල්පීන් ඇතුළු පිරිස තාවකාලික ලෙස වයර් ඇද අවශ්‍ය මොහොතට විදුලිය ලබා ගන්නවා. 17 වැනිදා විදුලිබල මණ්‌ඩලයේ කොළඹින් පැමිණි පිරිසක්‌ යෑයි කියා ගන්නා පිරිසක්‌ විදුලිය හොරෙන් ගන්නවා යෑයි පවසමින් බුද්ධ මන්දිරයේ විදුලිය විසන්ධි කර එහි තිබු වයර් සියල්ලම රැගෙන ගොස්‌ තිබුණා. නැවතත් 20 වැනි දිනද එම පිරිස පැමිණ එම ආකාරයෙන්ම බුද්ධ මන්දිරයේ තිබුණ විදුලි

රැහැන් රැගෙන ගොස්‌ තිබුණා. මා අවස්‌ථා දෙකේදීම විහාරස්‌ථානයේ සිටියේ නැහැ යෑයිද මංගලාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ පැවසූහ.

සුමනරතන හිමියෝ මෙසේද කීහ.

විදුලි බිල් සියල්ල නිසි පරිදි ගෙවා තිබියදී පන්සලේ විදුලිය විසන්ධි කිරීමට උත්සාහ කළ විට මා එයට ඉඩ දුන්නේ නැහැ. මාහට අසභ්‍ය වචනයෙන් බැණ වැදී සිදුකළ චෝදනාව නැවතත් ඉල්ලා අස්‌කර ගන්නා ලෙස පැවසූ විට එම නිලධාරියා එම පැවසූ දේ ඉවත් කර ගන්නා බව පවසමින් සමාව ගත්තා. මේ සිද්ධිය ගැන සොයා බලන ලෙස ජනාධිපතිතුමාගෙන් හා විදුලිබල ඇමැතිනියගෙන් ඉල්ලා සිටිනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.