යකාගේ කොටි තහනම ඉවත් කිරීම

"යූරෝපා සංගමය විසින් කොටි සංවිධානය තහනම් කිරීම බරපතල වැරැද්දක්‌
- සටන් විරාම නිරීක්‍ෂණ කමිටුවේ හිටපු ප්‍රධානි මේජර් ජනරාල් උල්ප් හෙන්රික්‌සන්

නෙදර්ලන්තයේ මාධ්‍ය යක්‍ෂයාගේ නීතිවේදියා (Devils Advocate) යෑයි හඳුන්වන්නේ වික්‌ටර් කොස්‌වේ නැමැත්තායි. මොහු පෙනී සිටින්නේ බිහිසුණු සමූල ඝාතනයක්‌ වෙනුවෙනි. මිලියන 1.7 ක කාම්බෝජ වැසියන් ඝාතනය කළ කමර් රූප් නැමැති මිනීමරු සංවිධානයේ අංක 2 යෑයි හඳුන්වන නුන් චියා වෙනුවෙන් කාම්බෝජ ජාත්‍යන්තර යුද අධිකරණ හමුවේ පෙනී සිටියේද වික්‌ටර් කොප්පේයි.

කොටි යළි එන බව 2012 ජුලි 26 දා එරික්‌ සෝල්හයිම් කර තිබූ ප්‍රකාශය


යුරෝපා සංගමය වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියකු සමඟ සාකච්ඡා කරන කොටි ත්‍රස්‌තයෙක්‌

නීතිවේදී වික්‌ටර් කොප්පේ සමඟ කොටි ක්‍රියාකාරීහු

කොටි යළි එනවා
- එරික්‌ සෝල්හයිම්

'ප්‍රභාකරන් සිදුකළ ත්‍රස්‌ත ක්‍රියා රැසක සුලමුල සාක්‍ෂි සහිතව සොයාගත් එකම පොලිස්‌ නිලධාරියා මමයි. යුරෝපා අධිකරණය කොටි තහනම ඉවත්කිරීම ගැන විවිධ ප්‍රකාශ කරන විපක්‍ෂය 2002 සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ත්‍රස්‌ත මර්දන පනත අත්හිටවනු ලැබුවා. මාව කොටි ඉලක්‌කයක්‌ කිරීමට ගල්කිස්‌ස පොලිසියේ පැත්තකට දැමුවා. කොටි මරාගෙන මැරෙන බෝම්බයකින් මා දිවි ගලවා ගත්තා. කොටි ක්‍රියාකාරීන් යුරෝපා සංගමයට එරෙහිව පැවරුනුබවට ඉදිරිපත් කිරීමට ඕනෑතරම් සාක්‍ෂි තිබෙනවා. එහෙත් කිසිම සාක්‍ෂියක්‌ ඉදිරිපත් වූයේ නැහැ' - නිලබ්දීන්

වික්‌ටර් හෙවත් යකාගේ නීතිවේදියාගේ ඊළඟ මෙහෙයුමවූයේ ශ්‍රී ලංකාවේ මිනීමරු කොටි සංවිධානය බේරාගැනීමයි. ඊට මගපාදනු ලැබුවේ නෙදර්ලන්ත පොලිසිය ඔපරේෂන් කොනින්ක්‌  මෙහෙයුමින් යුරෝපය තුල කොටි අරමුදල් රැස්‌කළ කොටි යුරෝපා නායක ආර් ශ්‍රීරංගම් නැමැති කොටියා ප්‍රමුඛ කොටි පස්‌දෙනකු අත්අඩංගුවට ගැනීම හේතුවෙනි. මොහුගේ නිවසේ තේ කෝප්පයක තිබී යූ. එස්‌. බී. පරිඝණක උපාංගයක්‌ සොයාගත් බවත් එහි තිබී 2010 කොටි මූල්‍ය සැලැස්‌ම අනාවරණයවූ බවද ඕලන්ද නඩු අධ්‍යක්‍ෂක වෝර්ඩ් පර්ඩිනැන්ඩුස්‌ අධිකරණය හමුවේ හෙලිකරනු ලැබීය.

මෙම ශ්‍රීරංගම් නැමැත්තා නෙදර්ලන්තයේසිටින 13000 ක්‌ පමණ ද්‍රවිඩයන්ගෙන් වසරකට යුරෝ 2000 බැගින් කප්පම් ගත් බවද නෙදර්ලන්ත පොලිසිය තවදුරටත් සොයාගෙන තිබිණි.

ශ්‍රී ලංකාව තුල කොටි පරාජය වුණා. එහෙත් ඔවුන් යුරෝපය තුළ ජීවමානයි කියෙනවා යෑයි නඩු අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් කියාසිටියේය.

මෙලෙස ත්‍රස්‌තවාදයට උපකාර වනු පිණිස අරමුදල් එකතු කිරීම ගැන නෙදර්ලන්ත කොටි ක්‍රියාකාරීහු පස්‌දෙනාට සිරදඬුවම් නියම විය. මේ පසුබිම මත නෙදර්ලන්ත කොටි ජාලය යකාගේ නීතිවේදියා ප්‍රමුඛ නීතිවේදීන් තිදෙනකු යුරෝපා අධිකරණය නඩුවේ නඩුවක්‌ ගොනුකරමින් කොටි තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.

2011 පෙබරවාරි මස යුරෝපයේ පහල අධිකරණයක්‌ නඩුවේ මෙම නඩුව පවරා තිබුණේ 2006 මැයි 18 දා යුරෝපා සංගමය කොටි සංවිධානය තහනම් කර තිබූ හෙයිනි.

මෙහිදී කොටි වෙනුවෙන් පෙනීසිටි වික්‌ටර් කොප්පේ යුරෝපා අධිකරණය හමුවේ අපූරු තර්ක කීපයක්‌ ඉදිරිපත් කළේය. කොටි සංවිධානය ත්‍රස්‌ත සංවිධානයක්‌ නොවෙයි. එය ජනතාවගේ ජීවිත රැකදීම සඳහා සටන්වැදුණු සංවිධානයක්‌. ඔවුන් සිදුකල සියළු ක්‍රියා ජාත්‍යන්තර මානුෂික නීතිරීති මත සිදුවූවක්‌ යෑයි ඔහු කියා සිටියේය.

බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය සහ යුරෝපා සංගමය වෙනුවෙන් නීතිවේදීහු 17 පෙනී සිටියත් ඒ කිසිවකුත් කොටින්ගේ බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියා සනාථ කිරීමේ සාධක හා ලිපිලේඛන හා ජාත්‍යන්තර පොලිසියේ සහ යුරෝපොල් පොලිසියේ වාර්තා ඉදිරිපත් කර නොතිබුණි.

යුරෝපා සංගමය විසින් කොටි සංවිධානය තහනම් කිරීමට මුල්වූයේ විදේශ ඇමතිව සිටි ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා බවත් කොටි ඊට පලිගැනීමක්‌ ලෙස කදිරගාමර්ව ඝාතනය කළ බව ප්‍රකාශ කිරීමට එකී නීතිවේදීන්ට නොහැකිවිය.

යුරෝපා අධිකරණය මෙම කොටි නඩුව විභාග කරද්දී අපේ තානාපති අංශ සිදුකළේ නඩු විභාගය නිරීක්‍ෂණය කිරීම පමණක්‌ බව කොටි යුරෝපා ජාලයද හෙලිකළහ.

මෙම කොටි නඩුවට මැදිහත්වී කොටි සිදුකළ ත්‍රස්‌තක්‍රියා රැසක්‌ සනාථ කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රජයට සහ තානාපති අංශවලට තිබුණි. එහෙත් අපේ අය කළේ කොටි නඩුව නැරඹීමයි. මේ නඩුව සර්කස්‌ සංදර්ශනයක්‌ද?

කොටි සංවිධානය ත්‍රස්‌ත ක්‍රියා සිදුකළේ නැතැයිකියමින් වික්‌ටර් කොප්පේ තර්ක කරද්දී සිය ගණන් සිවිල් වැසියන්ව ඝාතනයවූ කොටුවේ මහ බැංකු බෝම්බය පිපිරවීම දියත්කළේ ප්‍රභාකරන් බවත් ඊට සාක්‌කි ලෙස බෝම්බකරුට තෑගි වශයෙන් දුන් තෑගි පෙට්‌ටියේ ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණ තිබී සොයාගත් හිටපු ත්‍රස්‌ත මර්දන ප්‍රධානි පොලිස්‌ පරීක්‍ෂක නිලබ්දීන්ගේ සහය ලබාගැනීමට බලධාරීහු ක්‍රියාකළේ නැත.

මේහැර කොටුව පිළියන්දල නුගේගොඩ ඇතුළු ස්‌ථාන රැසක සිදුවූ බෝම්බ පිපිරීම් ගැන පරීක්‍ෂණකළ පොලිස්‌ නිලධාරියාද මෙරට සිටියේය.

නිලබ්දීන් කොටින්ගේ ත්‍රස්‌ත ක්‍රියා රැසක්‌ ගැන පරීක්‍ෂණ මෙහෙයවූ පොලිස්‌ නිලධාරියායි.

එහෙත් යුරෝපා අධිකරණය වෙත එම නිලධාරීන්ට යොමුකර කොටින්ට එරෙහි නඩුව පරාජය කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට මෙරට බලධාරීන්ට නොහැකිවූයේ ඇයි? අඩුවශයෙන් කොටි සිදුකල මිනිස්‌ ඝාතන ගැන කිසිදු වාර්තාවක්‌ යුරෝපා අධිකරණය වෙත යොමුවූයේ නැත.

හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි - ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස ඇතුළු දේශපාලනඥයන් රැසක්‌ ඝාතනය කිරීමේ සිදුවීම් වෙනුවට යුරෝපා නීතිවේදී කණ්‌ඩායම යොමුකර තිබුනේ අන්තර්ජාලයේ පළවූ තොරතුරු සහ මාධ්‍ය වාර්තායි.

එකී වාර්තා සාක්‍ෂි ලෙස පිලිගත නොහැකියෑයි යුරෝපා අධිකරණය තීන්දුකරනු ලැබීය.

මෙහිදී කොටි වෙනුවෙන් තර්ක කළ වික්‌ටර් කොප්පේaගේ කොටි සංවිධානය නීත්‍යානුකූල අරගලයක්‌ දියත් කර ඇත්තේ එදිරිවාදිකම් දක්‌වන රජයකට යෑයි කියා සිටියේය.

මෙකී නඩු විභාගය හමුවේ යුරෝපා සංගමයද පැවසුවේ කොටි සංවිධානයෙන් ත්‍රස්‌තවාදී තර්ජනයක්‌ එල්ලවීමේ ප්‍රවනතාවයක්‌ නැති බවයි.

කොටි වෙනුවෙන් හඬ නැගූ මේ යකාගේ නීතිවේදියා කොටි සන්නද්ධ අරගලයක නිරත වූ බවත් එකී අරගලය ත්‍රස්‌තවාදි ක්‍රියාවක්‌ නොවන බව එය ජාත්‍යන්තර මානුෂික නීතියට අනුකූල බවත් පළකළේය.

මෙලෙස 2011 වසරේ සිට 2014 ඔක්‌තෝබර් 16 දක්‌වා යුරෝපා සංගමයට එරෙහි නඩු විභාගය පැවැත්වෙද්දී විදෙස්‌ රටවල සිටින මෙරට තානාපති මුනිවත රැකිබව පැහැදිලිය.

වත්මන් රජය මිතුරන් කවුද? සතුරන් කවුද යෑයි හඳුනාගෙන නැතැයි අපි මෙයට පෙරද කියා සිටියෙමු යුරෝපා අධිකරණය දුන් කොටි තහනම ඉවත් කිරීමේ තීන්දුව ඊට නිදසුනකි.

නෙදර්ලන්ත පොලිසිය ඔපරේෂන් කොන්නික්‌ මෙහෙයුම යටතේ යුරෝපා කොටි ජාලයේ මූල්‍ය කළමනාකරුවූ එස්‌. රාමචන්ද්‍රන් නැමැති කොටියාද අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු යුරෝ මිලියන 200 ක අරමුදල් එකතු කර තිබූ බව අනාවරණය විය. නෙදර්ලන්ත කොටි ජලායට සම්බන්ධ පස්‌දෙනා වෙනුවෙන් හේග් අධිකරණය නඩුවේ පෙනීසිටි වික්‌ටර් කොප්පේ සැකකරුවන් අරමුදල් එකතුකළේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට මානුෂික ආධාර ලබාදීමට යෑයි තර්ක කළ නමුත් එම තර්කය පිලිනොගත් අධිකරණය ඔවුන්ට වසර 6 ක සිරදඬුවම් නියම කළේය.

මෙම සිද්ධියෙන් පසු නෙදර්ලන්ත කොටි ජලාය වික්‌ටර් කොප්පේa ලවා යුරෝපා සංගමයට එරෙහිව ගොනුකල නඩු විභාගයට දින නියම කරනු ලැබුවේ මේ වසරේ ජනවාරි 26 දායි. ඉන්පසු පෙබරවාරි 26 දා කොටි තහනම අභියෝගයට ලක්‌කරමින් වික්‌ටර් කොප්පේ තර්ක කරද්දී යුරෝපයේ ශ්‍රී ලංකා තානාපති අංශ නිහඬ විය.

මෙහිදී මතුවන බරපතල ප්‍රශ්නය නම් යුරෝපා බුද්ධිසේවා සහ ඉන්ටර්පෝල් පොලිසියේ කොටි ගැන ඇති වාර්තා යුරෝපා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට ක්‍රියානොකළේ මන්ද යන්නයි.

මෙයට පෙර මේජර් ජනරාල් ජගත් ඩයස්‌ට එරෙහිව යුරෝපා මානව හිමිකම් සංවිධානය නඩුවක්‌ ගොනුකර තිබුණි. ඉන් සනාථවන්නේ යුරෝපා සංගමය තුල ශ්‍රී ලංකාවට එරෙහි කුමන්ත්‍රණකාරි ක්‍රියාදාමයක්‌ දියත්වී තිබූ බවයි.

මේ තත්ත්වය මැද යුරෝපා අධිකරණය කොටි තහනම ඉවත්කරන ලෙස දුන් තීන්දුව මාස දෙකක්‌ කාලයක්‌තුල ක්‍රියාත්මක කළ යුතුවේ.

මෙලෙස කොටි තහනම ඉවත්කිරීමට එරෙහිව ශ්‍රී ලංකා රජයට සහ යුරෝපා සංගමයට උත්තරීතර අධිකරණය වෙත යාහැකි නමුත් මෙතෙක්‌ එකී තීන්දුවට යුරෝපා සංගමය එරෙහිවී නැත.

මෙලෙස එකී තීන්දුවට එරෙහිව අභියාචනයක්‌ ඉදිරිපත් නොවූවොත් යුරෝපා සංගමයට අයත් රටවල් 28 ක කොටි තහනම ඉවත්වී කොටින්ට යලි අරමුදල් එකතු කිරීමට ඉඩලැබෙනු ඇත.

මේ බව කොටින්ගේ අතිජාත මිත්‍රයාවූ එරික්‌ සෝලහයිම් දැනසිටි බව සනාථ වේ. 2012 ජුලි 26 දා නෝර්වේහි ආප්ටන්පෝස්‌ටන් පුවත්පත වෙත ප්‍රකාශයක්‌ කරමින් කොටි යලි එනවා යෑයි සඳහන් කර තිබුණි.

2016 අගෝස්‌තු 06 වැනිදා ආරක්‍ෂාව විශේෂාංගයෙන් අපි මේ බවද හෙලි කළෙමු. එසේම නෙදර්ලන්ත කොටි ජාලයේ මීළඟ සැලසුම නමින් 2011 ඔක්‌තෝබර් 23 දා ආරක්‍ෂක විශේෂයෙන් තවත් හෙලිදරව්වක්‌ විය.

මෙලෙස කොටි තහනම ඉවත් කරගැනීමට නෙදර්ලන්ත කොටි ජාලය ක්‍රියාකරද්දී රජයේ ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය කිසිවක්‌ දන්නේ නැත. මේ මාධ්‍ය ඒකකය මෙහෙයවන්නේ නෝර්වේ අරමුදල් මත යෑපෙන ශ්‍රී ලංකා මාධ්‍ය විදුහල නැමැති එන්.ජී.ඕ. කම්පැනියේ සේවය කළ නිලධාරිනියකි.

මේ නිලධාරිනිය 2010 මාර්තු 17 දා ලොව පුරා විකාශනය කළ ප්‍රවෘත්ති වාර්තාවක සඳහන් වූයේ ශ්‍රී ලංකා රජය මාධ්‍යවේදීන්ට සහ ක්‍රියාකාරීන්ට හිරිහැර කරන බව ජාත්‍යන්තර මානව හිමිකම් කණ්‌ඩායම් චෝදනා නගන බවයි.

රජයේ ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය පත්වී ඇත්තේ මෙම තත්ත්වයට නම් නෙදර්ලන්ත කොටි ජාලය පිනුම්ගැසීම පුදුමයක්‌ නොවේ.

මෙවන් පසුබිමක්‌ මැද විපක්‍ෂයේ දේශපාලනඥයකු කොටි තහනම ඉවත් කිරීමේ තීන්දුව නිසා රජය ජනතාවගෙන් සමාව යෑදිය යුතුයෑයි ප්‍රකාශ කර තිබේ.

එහෙත් 2002 සැප්තැම්බර් 4 වැනිදා බදාදා මැදියම් රැයේ සිට කොටි තහනම ඉවත්කිරීමට එදා පැවැති රජය ක්‍රියාකළේය. ඊට අදාළ ගැසට්‌ නිවේදනය එකල ආරක්‍ෂක ඇමැතිවූ තිලක්‌ මාරපන විසින් ප්‍රකාශයට පත්කර තිබුණි.

මේ අතීතය වසන් කළ හැකිද?

මේ අතර යුරෝපා අධිකරණය දුන් තීන්දුව ගැන දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් සතුට පලකරමින් එකී තීන්දුව නිසා සරණාගත දෙමළ ජනතාවගේ දේශපාලන කටයුතුවල නව වෙනසක්‌ සිදුවන බව කියා සිටියේය.

මෙලෙස සාක්‍ෂි ඉදිරිපත් නොවීම තුලින් යුරෝපයෙන් කොටි තහනම ඉවත් කිරීමේ තීන්දුවෙන් පසු වික්‌ටර් කොප්පේගේ ඊළඟ අරමුණ බ්‍රිතාන්‍ය රජය පනවා ඇති කොටි තහනම ඉවත් කර ගැනීමයි.

මේ අතර යුරෝපා පහල උසාවිය දුන් තීන්දුව අභියෝගයට ලක්‌කරමින් ශ්‍රී ලංකා රජය අභියාචනයක්‌ ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. මෙය අශ්වයා පැනගියාට පසු ඉස්‌තාලය වැසීම යනු ක්‍රියාවකි.

මෙම අභියාචනය පිළිබඳව වික්‌ටර් කොප්පේa ප්‍රතිචාර දක්‌වමින් ශ්‍රී ලංකා රජයට කළහැකි දෙයක්‌ නැතැයි කියා සිටියේය.

ශ්‍රී ලංකා රජයට කොටි ගැන සාක්‍ෂි ඉදිරිපත් කිරීමේ හැකියාවක්‌ නැහැ. වසර කීපයක්‌ම ශ්‍රී ලංකා රජය නිහඬව සිටියා යෑයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

එහෙත් යකාගේ නීතිවේදී වික්‌ටර් කොප්පේට අභියෝගයක්‌ එල්ල කරමින් ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණ සොයාගත් හිටපු ත්‍රස්‌ත මර්ධන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නිලබ්දීන් විදේශ රටක සිට ආරක්‍ෂක විශේෂාංගය ඇමතුවේය.

ප්‍රභාකරන් සිදුකළ ත්‍රස්‌ත ක්‍රියා රැසක සුලමුල සාක්‍ෂි සහිතව සොයාගත් එකම පොලිස්‌ නිලධාරියා මමයි. යුරෝපා අධිකරණය කොටි තහනම ඉවත්කිරීම ගැන විවිධ ප්‍රකාශ කරන විපක්‍ෂය 2002 සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ත්‍රස්‌ත මර්දන පනත අත්හිටවනු ලැබුවා. මාව කොටි ඉලක්‌කයක්‌ කිරීමට ගල්කිස්‌ස පොලිසියේ පැත්තකට දැමුවා. කොටි මරාගෙන මැරෙන බෝම්බයකින් මා දිවි ගලවා ගත්තා. කොටි ක්‍රියාකාරීන් යුරෝපා සංගමයට එරෙහිව පැවරූනඩුවට ඉදිරිපත් කිරීමට ඕනෑතරම් සාක්‍ෂි තිබෙනවා. එහෙත් කිසිම සාක්‍ෂියක්‌ ඉදිරිපත් වූයේ නැහැ යෑයි නිලබ්දීන් කියා සිටියේය.

නිලබ්දීන් කල ප්‍රකාශය සත්‍යයකි. යුරෝපයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලද සිටින පාර්ශවයන් ප්‍රභාකරන් සිදුකල ඝාතන ගැන දන්නේද?

මේ පසුබිම යටතේ මෙරට බටහිර තානාපති කාර්යාල කොටි ත්‍රස්‌තවාදීන්ගේ ඥතීහු විදේශ ගත කිරීමේ රහස්‌ ව්‍යාපෘතියක්‌ අරඹා තිබුණි.

පසුගියදා හමුදා ප්‍රහාරයකින් මියගිය තේවියාන් නැමැති කොටි ත්‍රස්‌තයාගේ මවවූ රාජිතාමලර් නැමැත්තියට වසර 6 ක්‌ දක්‌වා කැනඩාවේ පදිංචිව සිටීමට කොළඹ කැනඩා තානාපති කාර්යාලය වීසා බලපත්‍රයක්‌දී තිබුණි. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුමට තේවියාන් සම්බන්ධ යෑයි පොලිසිය ඔහුගේ මව කැනඩාව බලා යැමට උත්සාහ කරද්දී ත්‍රස්‌ත මර්දන නිලධාරීන්ට අසුවිය. මේ අතර යාල්දේවි දුම්රිය කන්කසන්තුරේ දක්‌වා ධාවනය කිරීමට තීරණය කර ඇත්තේ හමුදා අවශ්‍යතාවයක්‌ මත යෑයි උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් ප්‍රකාශ කර ඇත. එසේම යාල් දේවියට කන්කසන්තුරේ දක්‌වා ධාවනය කිරීමට ඉඩනොදෙන බවද ඔහු පවසා තිබේ.

* කීර්ති වර්ණකුලසූරිය
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.