රජයේ සේවකයන්ට අය වැයෙන් ලැබෙන්නේ මොනවාද?
රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න

මෑතකදී රටේ වැඩියෙන්ම කතාබහට ලක්‌වූ අයවැය ලේඛනය බවට 2015 වසර සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය පත්වී තිබේ. ඒ ජනතාවාදී අයුරෙනි. එහිදී රාජ්‍ය සේවකයන් සඳහා ලැබෙන සහන මොනවාද? විශ්‍රාමිකයන්ට ලැබෙන සහන මොනවාද? රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා "දිවයින ඉරිදා සංග්‍රහයට" පවසනුයේ ඒ ගැනය.

සමස්‌තයක්‌ විදිහට ගතහොත් 2015 වසරේ අයවැය මේ රටේ සෑම ජන කොට්‌ඨාසකම අවශ්‍යතාව ඉටු කරන අයවැයක්‌. මේ අයවැයෙන් ජනාධිපතිතුමා සියලු ජන කොටස්‌ ගැන කතා කරනවා. සෑම අංශයක්‌ ගැනම අවධාරණය කරමින් අයවැය සකස්‌ කිරීම නිසා සියලු දෙනාට දැනෙන අයවැයක්‌ බවට මෙය පත්වී තිබෙනවා. මේ අයවැය තරම් රාජ්‍ය සේවකයන්ගේ අවධානය දිනාගත් අයවැයක්‌ මෑතදී ඉදිරිපත් වුණේ නැහැ.

ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද සෑම අයවැයකදීම රාජ්‍ය සේවකයන්ගේ සාක්‌කුවට බොහෝ දේවල් එකතු වුණා. නමුත් ඒ අය බලාපොරොත්තු වුණේ එය අදට පමණක්‌ නොවී, අනාගතයේදී තමන්ගේ සුරක්‍ෂිතභාවය ආරක්‍ෂාවන ලෙස වැඩිවේ යෑයි කියායි.

ජීවන වියදම් දීමනාව රු. 10,000 දක්‌වා ඉහළට

මෙතෙක්‌ කල් සෑම වසරකදීම රජයේ සේවකයන්ට ජීවන වියදම් දීමනාව ලබා දුන්නා. 2006 වසරේ රු. 1000 ක්‌ දුන්නා. මේ විදිහට සෑම වසරකදීම ජීවන වියදම් දීමනාව ලබාදීම නිසා 2013 වසර වෙන කොට රු. 7800 ක්‌ ජීවන වියදම් දීමනාව වශයෙන් රජයේ සේවකයන්ට ලැබෙනවා. මේකට එක එක විරෝධතා රාජ්‍ය අංශයෙන් එල්ල වුණා. මෙම දීමනාවේ "ස්‌ථාවරභාවයක්‌ නැහැ. එල්ලා දෙනවා" ආදී චෝදනා එල්ල වුණා. අතිකාලවලට, විශ්‍රාම වැටුපට මෙය එකතු වෙන්නේ නැහැ" කියලත් කිව්වා. මේක නිකං සාක්‌කුවට එන මුදලක්‌ විතරයි කියලත් කිව්වා. මෙවර ඒ රු. 7800 ට රු. 2200 ක්‌ එකතු කරලා, ඒක රු. 10,000 ක්‌ බවට පත් කර තිබෙනවා.

වැටුපෙන් 20% ක්‌ මූලික වැටුපට එකතු වෙයි.

ඒ වගේම 2011 දී රජයේ සේවකයන්ට ජීවන වියදම් දීමනාවට අමතරව තවත් සියයට පහක විශේෂ දීමනාවක්‌ ලබා දුන්නා. 2012 දී සියයට දහයක්‌ දුන්නා. 2013 දී සියයට පහක්‌ දුන්නා. එතකොට 20% යි. ඒ 20% ත් ජීවන වියදම් දීමනාව වගේම "එල්ලා තමයි" දුන්නේ. මූලික වැටුපට එකතු කළේ නැහැ. මෙවර අයවැයෙන් ඒ 20% ම මූලික වැටුපට එකතු කර තිබෙනවා.

කනිෂ්ඨම රාජ්‍ය සේවකයාටත් රු. 25,000 ක වැටුපක්‌

මේ සියල්ල බලන විට කනිෂ්ඨ සේවකයකුගේ මුලු පඩිය රු. 25,000 ක්‌ වෙනවා. 2006 ට පෙර කනිෂ්ඨ සේවකයෙක්‌ගේ මාසික වැටුප රු. 7,900 යි. 2006 වසරේදී 6/2006 කියන චක්‍ර ලේඛයෙන් මෙම මාසික වැටුප රු. 11,730 දක්‌වා වැඩි කළා. ලිපිකරු හා සමාන්තර ශ්‍රේණි සඳහා මාසික වැටුප තිබුණේ රු. 9040 යි. එය රු. 4950 කින් වැඩි කළා. ඒ කියන්නේ යටත් නිලධාරියෙක්‌ගේ මාසික වැටුප රු. 13,990 දක්‌වා වැඩි වුණා. ඊළඟට මාණ්‌ඩලික නිලධාරියෙක්‌ගේ ඒ කියන්නේ පරිපාලන සේවය හා ඒ හා සමාන දීප ව්‍යාප්ත සේවාවල මාසික දීමනාව තිබුණේ රු. 22,935 යි. 2006 දී ජනාධිපතිතුමා විසින් එය එක වර රු. 9,810 කින් වැඩි කළා. අවසානයේදී එම නිලධාරින්ගේ අවම මාසික වැටුප 2006 වසරේදී රු. 22,935 ක්‌ වුණා. ඉතිහාසයේදී මෙවැනි වැටුප් වැඩිවීම් රාජ්‍ය සේවකයන්ට කරලා තියෙන්නේ, මහින්ද රාජපක්‍ෂ යුගයේ විතරයි. 2006 සිට මෙවර අයවැය දක්‌වා බලන විට කනිෂ්ඨ සේවකයකුගේ අවම මාසික වැටුප රු. 25,000 දක්‌වා වැඩි කරන්න කටයුතු කරලා තියෙනවා. කනිෂ්ඨ සේවකයන්ට වැටුප් වැඩිවෙනකොට රජයේ ප්‍රතිපත්තිය අනුව, ඉහළ නිලධාරීන්ටත් වැටුප් වැඩිවිය යුතුයි. ඒ අනුව 1(4 අනුපාතය පදනම් කරගෙන සියලුම රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවෙනවා. කනිෂ්ඨම සේවකයාට 1 වෙනකොට අමාත්‍යාංශ ලේකම්වරයාට හතරක්‌ වෙනවා. එයත් මෙවර අයවැයේ යෝජනාවක්‌.

3000 ක අන්තර්කාලීන දීමනාවක්‌,

මේ සියල්ල සමස්‌ත රාජ්‍ය සේවයටම ලැබෙන දේවල්. මෙහි ගණනය කිරීම්, සැකසීම් සඳහා යම් කාලයක්‌ ගත වෙනවා. 2015 ජුලි මාසයේ පළවැනිදා සිට මෙම වැටුප් වැඩිවීම් ගෙවීමට බලාපොරොත්තු වෙනවා. එම සැකසීම කරන තෙක්‌ අදාළ පඩි වැඩිවීම අන්තර්කාලීන දීමනාවක්‌ ලෙස ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. එම අන්තර්කාලීන දීමනාව රු. 3000 ක්‌ රජයේ සේවකයන්ටත් රු. 2500 ක්‌ විශ්‍රාමිකයන්ටත් ගෙවනවා.

අග්‍රහාර රක්‍ෂණය රු. ලක්‍ෂ 5 දක්‌වා ඉහළට

මෙතෙක්‌ රජයේ සේවකයන්ට ශල්‍යකර්ම, බරපතළ රෝග සඳහා රෝහල් ගතවීමේදී ගෙවනු ලැබූ අග්‍රහාර රක්‍ෂණ දීමනාව රුපියල් තුන් ලක්‍ෂ පනස්‌ දාහේ තමයි තිබුණේ. මෙවර අයවැයෙන් එය රු. ලක්‍ෂ පහ දක්‌වා වැඩි කර තිබෙනවා.

වැඩිකරන ලද ශිෂ්‍යත්ව හා මහපොළ දීමනා රාජ්‍ය සේවක දූ දරුවන්ටත්...

විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව සඳහා ලබාදෙන මහපොළ ශිෂ්‍යත්වය රු. 2500 සිට රු. 4000 දක්‌වා මෙවර අයවැයෙන් වැඩි කර තිබෙනවා. පහේ ශිෂ්‍යත්ව දීමනාව රු. 500 සිට රු. 1500 දක්‌වා වැඩිකර තිබෙනවා.

ඒ වගේම මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ දරුවන්ට විශේෂ අවස්‌ථාවක්‌ ඒ දෙකේදීම උදාකර දී තිබෙනවා. රජයේ සේවකයකුගේ දරුවෙක්‌ ශිෂ්‍යත්වය සමත් වූවොත් පාසලක්‌ ලැබුණොත් ශිෂ්‍යාධාර මුදල හිමි වෙන්නේ නැහැ. රජයේ සේවකයන්ගේ දරුවන්ටත් ශිෂ්‍යාධාරය ලබා දීම සඳහා මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. මහපොළ ශිෂ්‍යත්වයත් රජයේ සේවකයන්ගේ දරුවන්ට ලබා දුන්නේ නැහැ. කාර්යාල කාර්ය සහායකයෙකුගේ දරුවෙකුටවත් මහපොළ ශිෂ්‍යත්වය හිමි වුණේ නැහැ. මහපොළ ශිෂ්‍යත්වයත් රජයේ සේවකයන්ගේ දරුවන්ට ලබා දෙන්න මෙවර අයවැයෙන් කටයුතු කර තිබෙනවා.

ණය ලබා ගැනීමේදී දීමනා සහිත වැටුප සැලකිල්ලට ගැනීම

රාජ්‍ය සේවකයකු ණය ලබා ගැනීමේදී මෙතෙක්‌ කල් ගණනය කළේ මූලික වැටුපට අනුවයි. දීමනා රාශියක්‌ රජයේ සේවකයන්ට එකතු වුණත්, ඒ කිසිවක්‌ ණය ලබා ගැනීමේදී බැංකු විසින්

සැලකිල්ලට යොමු කළේ නැහැ. මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා,

දීමනා සහිත වැටුප ණය ලබා ගැනීමේදී සැලකිල්ලට යොමු කිරීමට.

අනියම්, තාවකාලික සියලු රාජ්‍ය සේවකයන්ට ස්‌ථිර පත්වීම්

විශේෂයෙන්ම 2002 වසරේ සිට 2004 දක්‌වා කාලය තුළ රාජ්‍ය සේවය සඳහා කිසිම සේවකයකු බඳවා ගත්තේ නැහැ. 16/2002 කියලා චක්‍ර ලේඛයක්‌ නිකුත් කළා, ඒ අනුව සියලුම රජයේ ආයතනවලට නියෝග කළා, ඇබෑර්තු පුරවන්න එපා කියලා. යම්කිසි ඇබෑර්තුවක්‌ තිබෙනවා නම් ඒවා නොපවතින විදිහට සලකන්න කියලා එමගින් දැනුම් දුන්නා. එහෙම තමයි එජාපය බලයේ සිටි අවුරුදු දෙකහමාර ගත වුණේ. බඳවා ගන්න පටන් ගත්තට පස්‌සේ ඒක කෙරුණෙත් මන්දගාමී ලෙසයි. මේ නිසා විශාල පුරප්පාඩු රාජ්‍ය අංශයේ තිබුණා. මේ නිසා රාජ්‍ය සේවය විශාල අකාර්යක්‍ෂමතාවකට ගොදුරු වුණා. ඒ වගේම රාජ්‍ය සේවය අර්බුදයට ගොදුරු වෙමින් තිබුණා.

2005 සිට පසුගිය කාලයේ සෑම වසරකම පරිපාලන සේවා විභාගය පවත්වලා පරිපාලන නිලධාරීන් 1132 ක්‌ පරිපාලන සේවයට බඳවා ගත්තා.

සුළු සේවකයන්, රියෑදුරන්, ලිපිකරුවන් ආදී සෑම ක්‌ෂේත්‍රයක්‌ සඳහාම රාජ්‍ය සේවකයන් විශාල පිරිසක්‌ පසුගිය කාලයේ බඳවා ගත්තා.

සමහර කාලවල තිබුණු සේවක හිඟය නිසා, කොන්ත්‍රාත් ක්‍රමයට, දෛනික වැටුප් පදනමෙන් සේවකයන් බඳවා ගන්න රාජ්‍ය අංශයට සිදු වුණා. ඒ අය කොන්ත්‍රාත් ක්‍රමයට දිගටම වැඩ කළා. ඒ අය ස්‌ථිර කරන ක්‍රමවේදයක්‌ මෙතෙක්‌ තිබුණේ නැහැ. මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා දින 180 ට වඩා වැඩ කර තිබෙන අනියම්, තාවකාලික සේවකයන් ස්‌ථිර කිරීමට. මේක රාජ්‍ය සේවා, ව්‍යවස්‌ථාපිත ආයතන ඇතුළු සියලුම රාජ්‍ය ආයතන සඳහා ක්‍රියාත්මකයි. සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනවලට බඳවා ගත්තේ අවම අධ්‍යාපන සුදුසුකමක්‌ බලලයි. මෙතැනදී ඒ සියල්ල පැත්තක තියලා, එම සේවකයන්ටත් ස්‌ථිර අනාගතයක්‌ උදා කර දෙන්න ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා.

උ.පෙළ සමතුන් ලක්‍ෂයකට අලුතෙන් රජයේ රැකියා

උපාධිධාරීන්ට තිබූ රැකියා ප්‍රශ්නයට සාර්ථක විසඳුමක්‌ ලබා දුන්නේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතායි. උපාධිධාරීන් පනස්‌ දාහක්‌ රජයේ රැකියා සඳහා බඳවා ගත්තේ මහින්ද රාජපක්‍ෂ යුගයේ පමණයි. ඊළඟට ප්‍රශ්නය තිබෙන්නේ උසස්‌ පෙළ සමත් අයගේ රැකියා ප්‍රශ්නය. මේ නිසා උසස්‌ පෙළ සමතුන් පනස්‌ දාහක්‌ ගුරු සහයකයන් වශයෙන් බඳවා ගෙන, ඒ අයට වසර පහක්‌ තුළ උපාධි මට්‌ටමට පැමිණීම සඳහා අවස්‌ථාව ලබාදී සේවයේ ස්‌ථිර කිරීමට මේ අයවැයෙන් පියවර ගෙන තිබෙනවා. ඊට අමතරව රජයේ කාර්යාලවල කටයුතු සඳහා තවත් පනස්‌ දාහක්‌ බඳවා ගන්නවා.

මෙතැනදී අපි මතක්‌ කළ යුතු දෙයක්‌ තිබෙනවා. එක කාලයකදී රාජ්‍ය සේවය අකුලන්න හැදුවා. රටේ එක කාලයක මතයක්‌ තිබුණා රාජ්‍ය සේවය අපේ රටේ ආණ්‌ඩුවට බර වැඩියි කියලා. ආණ්‌ඩුවට බර වැඩියි කියන්නේ ජනතාවට බර වැඩියි. ඒ බර අඩු කරන්න නම් මේක හකුලන්න ඕනේ කියලා උත්සාහයක යෙදුණු කාලයක්‌ තිබ්බ. 1990 වසරේදී 44/90 කියන චක්‍රලේඛයක්‌ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේදී නිකුත් කළා. ඒ චක්‍රලේඛයෙන් කිව්වා, ඕනෑම රජයේ සේවකයකුට ගෙදර යන්න පුළුවන් කියලා. මාස කිහිපයක පඩිය ඒ වෙනුවෙන් ලබා දුන්නා. සමහරු ඒ වෙලාවේ තමන්ට තිබ්බ යම් යම් ප්‍රශ්න නිසා විශ්‍රාම ගියා. 2002 රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ කාලයේදී චොක්‌සි ඇමැතිතුමාත් මේ වගේම වැඩපිළිවෙළක්‌ ගෙනාවා. ඒ වෙලාවේ එතුමා කිව්වා" මේ රටේ රාජ්‍ය සේවය මේ රටට උසුලන්න බැරි තරමට බරයි. ඒක නිසා අපි රාජ්‍ය සේවය අකුලන්න පියවර ගන්නවා" කියලා. ඒ අනුව ඒ අයට විශ්‍රාම යැමට දිරි ගැන්වීම් වගයක්‌ ලබා දුන්නා. ඒ ආණ්‌ඩුව අපේක්‍ෂා කළේ පළවැනි අවුරුද්දේදී ලක්‍ෂයක්‌ ගෙදර යවන්න. දෙවැනි අවුරුද්දේදී තව ලක්‍ෂයක්‌ ගෙදර යවන්න. තුන්වැනි අවුරුද්දේ තවත් ලක්‍ෂයක්‌ ගෙදර යවන්න. ඒ ආණ්‌ඩුව විසුරුවා හැරිය නිසා ඒක කරගන්න බැරි වුණා. නමුත් අයවැය ප්‍රකාශයේ තිබ්බා. ඒ සඳහා අවශ්‍ය ගැසට්‌ නිවේදනයත් හැදුවා. ඒක නැවතුනාට, අලුතෙන් රජයේ සේවය පිරිස බඳවා ගත්තේ නැහැ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා තමයි, කිසිම කෙනෙක්‌ ගෙදර යවන්නේ නැතුව අලුතෙන් රජයේ සේවයට අවශ්‍ය නිලධාරීන් බඳවා ගන්න කටයුතු කළේ.

ඒක රැකියා ලබාදීමේ වැඩපිsළිවෙළක්‌ විතරක්‌ නෙමෙයි. රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීමේත් පියවරක්‌. නිසි තැනට පුරප්පාඩු නැතිව නිලධාරීන් ඉන්නවා නම් මහජන සේවය නොපිරිහෙලා ඉටු වෙනවා. ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විදිහට අපි පසු විපරම් කිරීමේ ක්‍රමවේදයක්‌ හදලා තියෙනවා. රාජ්‍ය පරිපාලන ඇමැති විදිහට මමත් ඒ සඳහා සෘජුවම ඒ ඒ තැන්වලට ගිහිල්ලා විමර්ශන, නිරීක්‍ෂණ කරනවා.

විශ්‍රාමිකයන්ටත් වාසි රැසක්‌

රාජ්‍ය සේවය නිම කරපු විශ්‍රාමිකයන් සඳහාත් මෙවර අයවැයෙන් සුබවාදී වැඩකොටසක්‌ ඉටුකරලා තියෙනවා. 2006 වැටුප් පදනමට තමයි මෙතෙක්‌ විශ්‍රාම වැටුප හැදුනේ. ඒ වෙනුවට 2015 නව වැටුප් ව්‍යqහයට අනුව විශ්‍රාම වැටුප තීරණය කිරීම සඳහා මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. ඒ නිසා විශ්‍රාමික වැටුප් විෂමතාව මුළුමණින්ම ඉවත් කිරීමට අඩිතාලම යොදා තිබෙනවා. ඒ වැටුප් විෂමතාව 2015 ජුලි මාසයේදී ඉවත් වෙනවා. එතෙක්‌ සියලු විශ්‍රාමිකයන්ට රු. 2500 ක අන්තර් දීමනාවක්‌ ලබා දීමට මේ අයවැයෙන් යෝජනා කර තිබෙනවා. ඒ විතරක්‌ නොවෙයි, බැංකුවල තැන්පත් පොලී අනුපාතය දැන් අඩු කර තිබෙනවා. එසේ වුවත් විශ්‍රාමික හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා තැන්පත් පොලී අනුපාතය 12% ක්‌ කිරීමට කටයුතු යොදා තිබෙනවා. තමන්ගේ ව්‍යාපාරික කටයුත්තක්‌ හෝ වෙනත් ජීවන තත්ත්වය උසස්‌ කරන කටයුත්තක්‌ සඳහා තමන් විශ්‍රාම වැටුප ලබන බැංකුවෙන් ඇප රහිතව රු. 50,000 ක ණය මුදලක්‌ ලබා ගැනීමේ අවස්‌ථාවත් මේ අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

සාකච්ඡා කළේ
මනෝඡ් අබයදීර උදේශ සංජීව ගමගේ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.