මම සමුගත් දිනෙක
රටේ යොවුන් ක්‍රිකට්‌ ක්‍රීඩාව
නැංවීමට කැමැත්තෙමි


ඒ හයිද්‍රාබාද් නගරයයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 5 කින් යුත් එක්‌දින තරගාවලියේ තරග 3 ක්‌ ඒ වන විට අවසන්ව තිබුණි. ශ්‍රී ලංකාව දෙසින් පරාජිත ප්‍රතිඵලයකි. තරග 3 ම පරාජයට පත්ව සිටියි. එහෙත් අවසන්වූ තෙවැනි තරගයේදී සිය එක්‌දින ලකුණු 12,000 සම්පූර්ණ කරමින්, වසරේ පළමු ශතකයද සමග පරාජිත තරගයේ වීරයා වීමට සමත්වූ මහේල ජයවර්ධන මා ඉදිරියේ සිටියි. ශ්‍රී ලංකා පිල සිව්වැනි තරගය වෙනුවෙන් කොල්කටා වෙත පිටත්වීමට ඇත්තේ තවත් පැය කිහිපයක කාලයකි. ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වෙමින් තෙලංගනා ප්‍රාන්තය ආන්ද්‍රd ප්‍රදේශ් වෙතින් වෙන්වීමේ උණුසුම තවම පහව ගොස්‌ නොමැති නිසාදෝ හයිද්‍රdබාදයේ ආරක්‍ෂාව තර කර ඇත. අවිගත් ආරක්‍ෂකයෝ හෝටල් ආලින්දයේද එහා මෙහා යති. ශ්‍රී ලංකා බලඇණියේ ප්‍රබලම අවිය මා ඉදිරියේය. කෝපි කෝප්පයක්‌ තොලගාමින් ඉතාම නිදහසේ, නමුත් වගකීමක්‌ සහිතව ඔහු වචන හසුරුවයි. ඒ මහේලගේ සුපුරුදු වාග් පෞරුෂයයි. ක්‍රිකට්‌ ක්‍රීඩාවේ සිය තුන්කල් දැක්‌මයි.

ප්‍රශ්නය - ඔබේ එක්‌දින ජාත්‍යන්තර ලකුණු 12,000 ශතකයක්‌ සමගින් සම්පූර්ණ කරන්න ලැබුණා. ලෝක ඉතිහාසයේ එම දක්‍ෂතාව දැක්‌වීමට සමත්ව සිටින්නේ 5 දෙනෙක්‌ විතරයි. ඒ වගේම අංක 4 වැනි ස්‌ථානයක ක්‍රීඩා කරන පිතිකරුවෙක්‌ එම දක්‍ෂතාවට පැමිණි පළමු අවස්‌ථාව මේ...

පිළිතුර - පෞද්ගලිකව එය වටිනා මොහොතක්‌ වුණත් ඒ තරගය පරාජය වීම නිසා එහි ඒ හැටි වැඩක්‌ නැහැ. මොකද මම හැම විටම කණ්‌ඩායම දිනවන්න බලාගෙන ක්‍රීඩා කරන කෙනෙක්‌. කොහොම වුණත් ලකුණු 12,000 ගත්තු 5 න් තුන්දෙනෙක්‌ම ලංකාවේ වීම ගැන සතුටුයි (ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය, කුමාර සංගක්‌කාර, මහේල ජයවර්ධන, ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර්, ඔස්‌ටේ්‍රලියාවේ රිකී පොන්ටිං) මම කවදාවත් මෙය ඉලකක්‌යක්‌ කරගෙන ක්‍රීඩා කරලා නැහැ. මේ ලකුණු 12,000න් පෙනෙන්නේ අපි රටක්‌ හැටියට පසුගිය අවුරුදු දහය දොළහ හොඳින් ක්‍රීඩා කළා කියන එකයි. එයට දායකත්වයක්‌ දෙන්න පුළුවන් වීම ගැන මම ගොඩක්‌ සතුටු වෙනවා.

ප්‍රශ්නය- ඔබ කියන්නේ මේ වසරේ ඔබේ පළමු ශතකය වාර්තා වීමත්, එක්‌දින ලකුණු 12,000 පසුකිරීමත් වැනි අවස්‌ථාවල වටිනාකම තරගාවලියේ පරාජයෙන් වැසී ගියා කියන එක.

පිළිතුර- මේ තරගාවලියේදී අපි හොඳින් ක්‍රීඩා කළේ නැහැ කියන එක අපි පිළිගත යුතුයි. අපි අත්දැකීම් අඩු ක්‍රීඩකයන් එක්‌ක මේ තරගාවලියට ආවා කිව්වත්, ප්‍රමාණවත් තරම් අත්දැකීම් සහිත පිරිසකුත් කණ්‌ඩායමේ සිටියා. මේ පරාජයට අපිට නිදහසට කාරණා නැහැ.

ප්‍රශ්නය- මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සූදානම මද බවත් ඒ වගේම ශාරීරික යෝග්‍යතා ව්‍යායාම සැසියක්‌ අතරතුර මෙයට සහභාගීවෙන්න වීමත් යම් කිසි කථාබහකට ලක්‌වූ කාරණයක්‌. අපි මේ වසරේ දිගටම ජයග්‍රනය ලබාගෙන පැමිණි කණ්‌ඩායමක්‌. ඇත්තටම මේ පසුබෑම, විශේෂයෙන්ම පිතිකරු අංශයේ පසුබෑම....?

පිළිතුර- ඔව් එහි දෙපැත්තක්‌ තිබෙනවා. අපි දිගටම දිනාගෙන ආවා. ඉදිරියේදී අපිට මාස 7 ක්‌ පමණ එක දිගට තරග තිබෙන කාලයක්‌ එන්නට නියමිතයි. මේ නිසා අපේ බලධාරීන් තීරණය කළා අපේ ශාරීරික යෝග්‍යතාව ගැන වැඩි අවධානයක්‌ යොමුකරලා ඒ අවශ්‍ය පුහුණුවීම් කරන්න. වෙළෙඳ සේවා ගහපු අය විතරයි තරගවලට සෙල්ලම් කළේ. නමුත් ඉන්දියාව වගේ කණ්‌ඩායමකට මුහුණදීමේදී එහෙම බෑ. හොඳ සූදානමකින්, හොඳ සැලැස්‌මකින් එන්න ඕනා. හොඳම කණ්‌ඩායමත් එක්‌ක එන්න ඕනා. සමහරක්‌ ප්‍රායෝගික හේතුන්මත අපේ හොඳම කණ්‌ඩායම මෙහේ ආවේ නැහැ. එයට කාටවත් වැරැද්දක්‌ කියන්න බැහැ. මොකද එහෙම වුනේ සාධාරණ හේතු මත. හැබැයි යොවුන් ක්‍රීඩකයන්ට මෙය ලැබුණු ඉතාම වටිනා අවස්‌ථාවක්‌. ලෝක කු=සලානට කලින් තමන්ගේ දක්‍ෂතා පෙන්නුම් කිරීමට ලැබුණු එම අවස්‌ථාවෙන් ඒ අය මොනතරම් දුරට ප්‍රයෝජන ගත්තද කියන එක තේරීම් කමිටුව විනිශ්චය කරයි. හැබැයි කලින් කිව්වා වගේ පිතිකරු අංශයේ පසුබෑමට නිදහසට කාරණා නැහැ.

ප්‍රශ්නය- පළමු තරග දෙකේදිම ඔබටත් ලකුණු අතරට එන්න බැරිවුණා...

පිළිතුර- පළවෙනි තරගයේදී මම පන්දුවට පහරදෙන්න එනකොට පන්දුවාරයකට ලකුණු 10 ක විතර සාමාන්‍යයක්‌ තියාගන්න අවශ්‍ය වුණා. මම බැලුවේ ඒ පීඩනයෙන් මිදෙන්න. නමුත් පුළුවන් වුණේ නැහැ. දෙවැනි තරගයේදී මම ගහපු පහරෙ වැරැද්දක්‌ තිබුණා. ඉන්දියාව සමග තරගයකදී පළමුවෙන් පන්දුවට පහර දෙනවා නම් ලකුණු 300 ක ඉලක්‌කයක්‌ දෙන්න ඕනා. ඒ මානසිකත්වයේ ඉඳගෙනයි මම එහිදී පන්දුවට පහර දෙන්න හැදුවේ. කඩුලු වැටිලා අපි පත්වෙලා සිටින පීඩනය අනිත් කණ්‌ඩායම දෙසට යොමු කරවන්න වුනහම අපි ඒ වගේ අවදානම් පහරවලට යනවා. විටෙක එය වාසනාව. දෙවැනි තරගයේදී ඒ අවදානම් පහරේ මට වාසනාවක්‌ තිබුණේ නැහැ. නමුත් තුන්වැනි තරගයේදි එවැනි අවදානම් සහිත පහරවල වාසනාව මට තිබුණා. ඒ අවදානම නොගෙන මේ වගේ රටක ක්‍රීඩා කරන්න අමාරුයි.

ප්‍රශ්නය- ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු ස්‌ථානය දිගින් දිගටම අස්‌ථාවරයි. මෙය ශ්‍රී ලංකා පිලට එක්‌තරා විදිහක අභියෝගයක්‌ වෙලා තිබෙන අවස්‌ථාවක්‌ මේක. මේ අභියෝගය ඔබට භාරදුන්නොත්. ඔබ කැමතිද ආරම්භක පිතිකරු ස්‌ථානයේ ක්‍රීඩා කරන්න.

පිළිතුර- එය කණ්‌ඩායම් කළමනාකාරීත්වය සහ තේරීම් කමිටුව විසින් ගතයුතු තීරණයක්‌. නමුත් මම 2011 ලෝක කුසලානයෙන් පසුව පටන්ම ආරම්භක පිතිකරු ස්‌ථානයේ ක්‍රීඩා කරන්න කැමැත්තෙන් හිටියා. මම පෞද්ගලිකව හිතනවා කණ්‌ඩායමට මගෙන් වැඩිම ප්‍රයෝජනයක්‌ ගතහැකි ස්‌ථානය එතැන කියලා. එතැන මගේ ලකුණු සාමාන්‍යයත් හොඳයි. ස්‌ථාවරයත් හොඳයි. අවාසනාවකට මැදපෙළ අපට ස්‌ථාවර ක්‍රීඩකයන් නැති නිසා මට ආරම්භක පිතිකරු ස්‌ථානය ලබාගන්න බැහැ. මොකද තේරීම් කමිටුව හිතන්නේ ඒ ස්‌ථාවරය සඳහා මම මැද පෙළ සිටිය යුතුයි කියලා. මොකද නැතිනම් ඇත්තටම ඇන්ජලෝ මැතිව්ස්‌ට මැදපෙළින් වැඩි පීඩනයක්‌ දරාගන්න වෙනවා. තිරිමාන්න සහ චන්දිමාල් වැනි ක්‍රීඩකයන් අන්තිම මාස කිහිපයේ ශ්‍රී ලංකා zඒ Z කණ්‌ඩායම තුළ සිටිමින් හොඳින් ලකුණු අතරට ආවා. ඒ අය ඇවිත් මැද පෙළ ශක්‌තිමත් කළොත් සැලැස්‌මක්‌ සහිතව මට ආරම්භක පිතිකරු ස්‌ථානයට යන්න පුළුවන් වෙයි.

ප්‍රශ්නය- මේ වසරේ ඔබේ පළමු ශතකය වාර්තා වෙන්න නොවැම්බර් මාසය වෙනතුරුම කල් ගතවුණා...

පිළිතුර- මම හිතන්නේ අංක 4 ස්‌ථානයේ ක්‍රීඩා කරද්දී පළවෙනි ස්‌ථාන 3 ඉන්න පිතිකරුවන් තරමටම ශතකයක්‌ සඳහා අවස්‌ථාව ලැබෙන්නෙ නැහැ. අනික මම හැමවිටම තරගයේ ඒ මෙහොතේ ස්‌වභායට අනුව පන්දුවට පහරදෙන කෙනෙක්‌. ඒ නිසා මට මේ වසරේ ශතකයක්‌ ලබාගන්න ලැබුණු අවස්‌ථා දෙකතුනක්‌ම ගිලිහී ගියා.

ප්‍රශ්නය- සංගක්‌කාරට මේ මොහොතේ විවේකයක්‌ දෙනවා. නමුත් මහේලව දිගටම කණ්‌ඩායමේ රඳවා තබන්න කණ්‌ඩායම් බලධාරීන් තීරණය කරනවා. ඒ මහේල කණ්‌ඩායමේ සිටින අදිසි නායකත්වය නිසාද? ඔබවත් මේ මොහොතේ විවේක ගැන්වුවොත් ඇන්ජලෝ නායකත්වයේ හුදෙකලා වෙයි කියලද?

පිළිතුර- ඇන්ජලෝට යොවුන් වයසකම නායකත්වය පිරිනමද්දී අපි එක හිතින්ම තීරණයක සිටියා ජ්‍යෙෂ්ඨයන් හැටියට අපි සියලුදෙනා ඇන්ජලෝ වටා ශක්‌තියක්‌ව සිටිය යුතුයි කියන එක. මොකද අපි හැමදාම කණ්‌ඩායමේ ඉන්නේ නෑ, යොවුන් නායකත්වයක්‌ ගොඩනැගිය යුතුයි. ජ්‍යෙෂ්ඨයන් හැටියට අපි ඔහුට පීඩනයකදී වගේම අනෙක්‌ සෑම අවස්‌ථාවකම අපේ උපකාරය ලබාදිය යුතුයි කියන අදහසේ අපි ඉන්නවා. නමුත් මේ අවස්‌ථාවෙදි සංගව විවේක ගැන්වුවේ එයාගේ කොන්දේ ආබාධය ගැනත් හිතලා. එයාට ඉදිරියේදී තරග රැසක්‌ ක්‍රීඩා කරන්නට තිබෙන නිසා. කඩුලු රැකීමත් කරන්න වෙන නිසා සංගව වැඩිය මහන්සි කරවන්න බැහැ. ඒ ගැන හිතලා වගේම තරුණ ක්‍රීඩකයෙක්‌ට අවස්‌ථාවක්‌ දීමටත් අවශ්‍ය වුණා. හැබැයි හැමවිටම ඇන්ජලෝ සමග අපි (ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්) දෙදෙනෙක්‌වත් කණ්‌ඩායමේ සිටිනවා.

ප්‍රශ්නය- ඔබ ඒ පිළිතුරේදී සමුගැනීමක්‌ ගැන සඳහන් කළා. සැබැවින්ම සමුගැනීමට කාලය ළං වෙලා. ක්‍රීඩකයෙකුගේ භූමිකාවෙන් සමුගැනීමෙන් පස්‌සේ මහේලව ක්‍රිකට්‌ ක්‍රීඩාව තුළ අපිට මොන විදිහකට දැකගන්න පුළුවන් වෙයිද?

පිළිතුර- හරියටම දෙයක්‌ හිතලා නැහැ. ඒත් මම කැමතියි 19 න් පහළ වගේ යොවුන් සහ කනිෂ්ට මට්‌ටමේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට දායකත්වයක්‌ ලබාදෙන්න. එහෙම වුණොත් රටේ ජාතික මට්‌ටමට හොඳ ක්‍රීඩකයන් බිහිවන සැලැස්‌මක්‌ ක්‍රියාත්මක කරන්න මගේ හිතේ අදහසක්‌ තියෙනවා.

ඉන්ද්‍රජිත් සුබසිංහ
ඉන්දියාවේ සිට...

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.