'බජට්‌' සමග එන 'බකට්‌'

අතේ සතේ නැති වුණත් ක්‍රීඩාවට පෙම් බඳින ප්‍රේක්‍ෂකයන් බහුතරයක්‌ අපේ රටේ සිටිති. ඒ ප්‍රේක්‍ෂකයන් සතුටු කිරීමට ක්‍රිකට්‌ හැරුණු කොට, සෙසු ක්‍රීඩා සියල්ල ජාත්‍යන්තරයේ '
බෝඩ්'
 ලෑල්ලකට පමණක්‌ සීමා වෙයි. මෙරට ක්‍රීඩාවට යළි පණ දීමට නම් ඔක්‌සිජන් පොම්ප කළ යුතුය. එය පාසලෙන් ඇරඹීමේ සංකල්පය දැන් ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්‌ව දියත් කොට තිබීම ඉතා අගනේය.

2015 සඳහා මෙරට ක්‍රීඩාව වෙනුවෙන් රජයේ අනුමත මුදල මිලියන 6500 කි. ඉන් මිලියන 2500 ක්‌ම වැය වන්නේ 2017 වසරේදී හම්බන්තොටදී පැවැත්වෙන යොවුන් ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය හෙවත් තරගාවලිය සඳහා අවශ්‍ය ගෘහස්‌ථ ක්‍රීඩාංගණ සහ පිහිණුම් තටාක ආදිය සඳහාය. තවත් මිලියන 500 ක්‌ ක්‍රීඩා ඇකඩමියක්‌ වෙනුවෙන් වෙන් කර තිබේ. ඒ අනූව 2015 සඳහා වෙන්වු මිලියන 6500 න් තව ඉතිරිව ඇත්තේ මිලියන 3500 ක්‌ පමණි. අපට වාර්තා වන පරිදි තවත් මිලියන 20 ක්‌ ක්‍රිකට්‌ ආයතනයට දීමට එකඟත්වය පළ වී තිබේ. ඒ අප දන්නා වැය ශේෂයයි.

මෙරට මලල ක්‍රීඩාවේ අඳුරු පැතිකඩ නිමා කිරීමට පාසල් ළමුන් හට ක්‍රීඩාව අනිවාර්ය කිරීම වැදගත් සාධකයකි. එහෙත් ඒ සෑම ළමයකුටම ක්‍රීඩාව කරගෙන යැමට අවශ්‍ය මුදල් ලබා දෙන්නේ කවුරුන්ද යන පැනය දැන් මාර්තෘකාවට බඳුන් විය යුතුව තිබේ.

පාසලේ ක්‍රීඩා විෂයකින් දක්‌වන කුසලතාව නිසා 80% ක්‌ ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක්‌ පාර්ලිමේන්තුවේදී සම්මත කර ඇති බව ක්‍රීඩා ඇමැතිවරයා පවසයි. ඒ නිසා ලකුණු ගැනීමට ළමයි පිටියට බසිනු ඇත. එහෙත් ඒ ළමයින් බහුතරයක්‌ ඇල්ම කරන ක්‍රීඩාවක්‌ කිරීමට එක්‌කො පොල් ගස්‌ නැගිය යුතුව ඇත. නැතහොත් කුලී වැඩක්‌ කළ යුතුය. පාසල් ළමුන්ට මේ රාජකාරි දෙකම කළ නොහැකිය. එබැවින් ඔවුන් ක්‍රීඩාවෙන් '
ලිස්‌සා'
 යෑමට උත්සාහ කරනු ඇත.

ක්‍රීඩාවට අවශ්‍ය ජවය තිබුණද ඒ සඳහා යටිතල පහසුකම් නොමැති කමින් ක්‍රීඩාවෙන් '
ලිස්‌සා'
 යන ළමුන් බිහිවන්නේ ඇයිද? යන ප්‍රශ්ණයත් සෙවීම ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීමකි. හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගවලට පැමිණ සෙරෙප්පු දමා මීටර් 100 දිවීමට නොහැකිය. ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී සැහැල්ලු පන්දු ක්‍රීඩා කළ නොහැකිය. එබැවින් ඔවුන්ගේ ක්‍රීඩාවට අවශ්‍ය සපත්තු කුට්‌ටම සහ ඇඳුම මිලදී ගැනීමටද නොහැකි ළමුන් සිටිති. මෙසේ සිටින ළමුන් පාසලට එන්නේද කිලෝ මීටර ගණනක්‌ ඇවිදිමින්ය. ඔවුන්ට මැරතන් ශූරයකු වීමට හෝ දිගු දුර දිවීමේ ශූරයකු වීමට ඒ පුහුණුවම අත්වැලක්‌ වනු ඇත. අවශ්‍ය වන්නේ ඔවුන් සොයා යන මෙහෙයුමක්‌ දියත් කිරීම පමණි.

මෙරට මලල ක්‍රීඩා සංගමයේ වගකිව යුත්තන් කොළඹ හතේ ඇවිද ගියද ගමේ දෙල් පොළොස්‌ කන එවුන් එහිදී හමුවන්නේ නැත. සෙසු සංගම්ද ජාතික තරගාවලි පමණක්‌ පවත්වා ගොඩ යැමට උත්සහ කිරීමේ ප්‍රතිපත්තියෙන් මිදී දක්‍ෂයන් සොයා යා යුතුය. පාසලේ ළමුන්ට ලකුණු දෙන්නාක්‌ මෙන් සංගම්වලටද ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක්‌ ක්‍රීඩා ඇමැතිවරයා විසින් ඇති කළහොත් ඔවුන්ගේ ඇල්මැරුණු පරිපාලනයට එය ජවයක්‌ වනු ඇත.

ජාත්‍යන්තරයටම අභියෝග කරන ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට හට බහුතරය රොක්‌ වන හේතුව සෙසු ක්‍රීඩාවලටද ඒත්තු ගැන්විය යුතුය. ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ගෙනෙන ජය සමග ඔවුන්ගේ ආර්ථික ශක්‌තියද සමස්‌ත රටේ ජනතාව හොඳින් දන්නා බැවින් ක්‍රිකට්‌ සමග බහුතරය ළංව සිටිති. එබැවින් සෑම ළමයකුම ක්‍රිකට්‌ ක්‍රීඩකයකු කිරීමේ උනන්දුව දෙමව්පියන් හටද තිබේ. ක්‍රිකට්‌වලට පසු රග්බි සහ පාපන්දුව මෙරට ජනප්‍රියම ක්‍රීඩාව බවට පත්ව තිබේ.

එහෙත් රග්බි ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයකුට ලැබෙන ආර්ථික වාසියක්‌ නොමැත. ඔවුන්ට ජාතික කණ්‌ඩායමට වඩා තමන්ගේ ක්‍රීඩා සමාජයෙන් වැඩි මුදලක්‌ ලැබෙන බැවින් ජාතික කණ්‌ඩායම මග හැර තමන්ගේ ක්‍රීඩා සමාජ තරගාවලියට හෝ වෙළෙඳසේවා තරගාවලියට ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයෝ වැඩි රුචියක්‌ දක්‌වති. ඒ අනූව මහ ලොකු ජාත්‍යන්තර තරගාවලි තියෙන ශ්‍රී ලංකාවට ආසියාවේ පළමු කණ්‌ඩායම් තුන අතරට හෝ පැමිණීමට නොහැකි වීම කණගාටුවට කරුණකි.

අසේල විතාන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.