සූක්‌ෂම මාධ්‍ය පරිපාලකයකු වූ
සීවලි රත්වත්තේ දොස්‌තර මහත්මයා


සිය මෙහෙවර නිමවා, අද අවසන් ගමන් යන වෛද්‍ය සීවලි හංසසාර රත්වත්ත මහතා, රටේ ජීවත් වූ බරපතළ චරිතයක්‌ දැයි යමෙකුට ප්‍රශ්නයක්‌ තිබිය හැකිය.

බාන්ස්‌ රත්වත්ත දිසාවේගේ හා මහවලතැන්න කුමාරිහාමිගේ පුතෙකු ලෙස ඔහු උපත ලබන්නේය. රටේ ප්‍රභූ පවුල් ලෙස සැලකෙන වලව් පරපුරක උපන් අයිතිය ඔහු සතු විය. තම වැඩිමහල් සොහොයුරිය සිරිමාවෝ බණ්‌ඩාරනායක වීම හේතු කොට ගෙන බණ්‌ඩාරනායක දේශපාලන බලයේ යම් තැනක්‌ ඔහුට ද තිබුණි. මේ සීමාව තුළ පමණක්‌ සීවලි රත්වත්ත මනින්නට යන්නේ නම්, ඔහුගේ සැබෑ 'බර' එයින් මිනිය නොහැකි බව අපගේ හැඟීමය.

අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායකගේ පෞද්ගලික ලේකම් ධුරය මුල් අවස්‌ථාවේදී හොබවන ලද්දේ ඔහු විසිනි. ලංකා වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත් ඔහු වෘත්තීය වෛද්‍යවරයකු සේම රාජ්‍ය පරිපාලනයට පිවිසෙන්නේ ද එතැනිණි. එතැන් සිට ඔහු රාජ්‍ය කටයුතු සඳහා දායක වන්නට පටන් ගත්තේය. අපනයන සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ පදවිය දරමින් රාජ්‍ය තනතුරු කිහිපයක්‌ම ඔහු විසින් හෙබවූහ.

මේ සියල්ලට වඩා ඔහුගේ තර්තව්‍යය වැදගත්භාවයක්‌ උසුලන ලද්දේ මාධ්‍ය පරිපාලනයේදීය.

උපාලි සමූහ ව්‍යාපාරයට ඔහු පැමිණෙන්නේ උපාලි විජයවර්ධනගේ හදිසි අතුරුදන්වීමෙන් අනතුරුවය. උපාලි විජයවර්ධන අතුරුදන් වන්නේ සිය සමාගමේ ප්‍රමුඛතම අධ්‍යක්‍ෂක මණ්‌ඩලය සමගය. එක්‌ ප්‍රමුඛ අධ්‍යක්‍ෂකවරයකු හැරුණු කොට උපාලි සමූහ ව්‍යාපාරයේ පිරමීඩයේ මුදුනත සියලු 'ගල්' ගැලවී ගොස්‌ තිබිණි. ලොව පුරා විහිදුණු, විවිධාංගීකරණය වූ උපාලි සමූහ ව්‍යාපාරයේ මුදුනතට ඔහු පැමිණෙන්නේ එතෙක්‌ තමන් දැරූ ජාත්‍යන්තර තනතුරක්‌ ද හැර දමාය.

සීවලි රත්වත්තේ ඒ වන විට එ.ජා. සංවිධානයේ පරිපාලකයකු ලෙස කටයුතු කරමින් සිටියේය.

උපාලි සමූහ ව්‍යාපාරයේ සභාපති ලෙස ඔහු පත් වන විට, පැවැති එජාප ආණ්‌ඩුව යටතේa ඇමැතිවරු හා උපාලි විජයවර්ධන අතර තිබුණු ගැටලු හේතුවෙන් ව්‍යාපාරයෙන් පළිගැනීම සඳහා ඒ වන විටත් විවිධාකාර උගුල් අටවා තිබිණි. මේ සියල්ල හා ඒ සඳහා උපායන් දැනගෙන සිටි පිරිස යානය පිටින්ම අතුරුදන් වී තිබූ නිසා සීවලි රත්වත්ත මහතාට භාර වුණේ අර්බුද සහිත ව්‍යාපාරික ගමනක්‌ යමින් සිටි ස්‌ථානයකි. ශූර ව්‍යාපාරිකයෙක්‌ පවා අත නොගසන, අත ගැසුවද කළමනාකරණය කරගැනීමට අපොහොසත් වන එම ප්‍රශ්න කන්දරාවම ක්‍රම ක්‍රමයෙන් ඔහු නිරවුල් කරන්නට පටන් ගත්තේය. උපාලි සමූහ ව්‍යාපාරය, එහි නිර්මාතෘ නොමැතිව මෙතෙක්‌ දුරක්‌ පැමිණ සිටින්නේ සීවලි රත්වත්ත විසින් එදා කරන ලද සුපරික්‍ෂාකාරී මැදිහත්වීම හේතුවෙනි.

උපාලි සමූහ ව්‍යාපාරය ජාතික තලයේදී වැදගත්භාවයක්‌ උසුලන ලද්දේ "දිවයින" හා "දි අයිලන්ඩ්" පුවත්පත් හේතුවෙනි. සිංහල ජාතිකවාදී දර්ශනයකින් යුක්‌තව එතෙක්‌ නොතිබුණි. නිර්මාණශීලීභාවයකින් එය හැඩගැන්වී තිබිණි. වර්තමානයේ මෙන්ම එදා ද පුවත්පතකට තිබූ අභියෝග අතර ප්‍රධාන වූයේ පිටතින් එන ගැටලුවලට වඩා ඇතුළතින් පැමිණෙන ගැටලුය. වත්මනෙහි ජාතික පුවත්පත් සියල්ලේම හිමිකාරීත්වය සමග දේශපාලන චරිත බැඳී පවතී. එක්‌කෝ එහි හිමිකරුවන් දේශපාලනයේ ක්‍රියාකාරී චරිතය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය. නැතහොත් එම පවුල් වල අය එවැනිය. සීවලි රත්වත්ත, උපාලි පුවත්පත් ආයතනය පාලනයට ගන්නා විටද තත්ත්වය එසේමය. පැවැති එජාප ආණ්‌ඩුව තදින් විවේචනය කරන තැනක "දිවයින" පුවත්පත තිබිණි. ඒ අවස්‌ථාවේ පාලක පන්තිය ඒ දෙස බැලුවේ "සිරිමාවෝගේ මල්ලිගේ පත්තරය" තමන් විවේචනය කරනවා යන කෝණයෙනි. මේ නිසා විවිධාකාර වූ ප්‍රශ්න ගණනාවකට උපාලි ආයතනය මුහුණ පෑවේය. හිමිකාරිත්වය විසින් තමන්ට ආණ්‌ඩුවෙන් පටවන බර, කර්තෘ මණ්‌ඩලයට නිදහස්‌ කිරීම මෙහිදී සාමාන්‍ය සිරිතය. ඒ වෙනුවට කර්තෘ මණ්‌ඩල ස්‌වාධීනත්වය ද බේරාගෙන පුවත්පත පරිපාලනය සඳහා සීවලි රත්වත්තයන් දක්‍ෂ විය. එජාප යුගය නිමවී ඊළඟට පැමිණියේ පො.එ.පෙ. යුගයය. සීවලි රත්වත්තගේ සොහොයුරිය අගමැතිනිය වී, ඇයගේ දියණිය ජනාධිපති වූ ආණ්‌ඩුවක්‌ එවර බිහිවිය. එජාප පාලනය දිවයිනෙන් විවේචනය කරන විට සිරිමාවෝගේ මල්ලීගේ පත්තරය ලෙස "දිවයින" එදා පාලකයන් දුටු ආකාරය සැබෑවක්‌ නම් මේ යුගයේදී "දිවයින", "අයිලන්ඩ්" පුවත්පත් පො.එ.පෙ. ආණ්‌ඩුවේ සියල්ල නිවැරැදි යෑයි කියන තැනට පත් විය යුතුව තිබුණි. එසේ වනවා වෙනුවට, පො.එ.පෙ. පාලනය විකල්ප පුවත් පතකටත් වඩා විවේචනය කරන්නට "දිවයින", "අයිලන්ඩ්" පටන් ගත්තේය. සිය ඥතිකම සමග පුවත්පත් කළමනාකාරිත්වය පටලවා නොගැනීමට තරමේ සියුම් ශක්‌තියෙන් සීවලි රත්වත්ත යුතු වීම නිසා "දිවයින", "අයිලන්ඩ්" පුවත්පත් දෙකම තම ගමනේ ඉදිරියට ගියේය. රට බෙදීම සඳහා වන යෝජනාවලිය චන්ද්‍රිකා ආණ්‌ඩුව කරලියට ගෙන එන්නේ මේ යටතේය. එයට එරෙහිව තදින්ම ආණ්‌ඩුව සමග හැප්පෙන්නේ "දිවයින" හා "දි අයිලන්ඩ්"ය. එතැනදී ඥතිකම දෙදරවා ආණ්‌ඩුව විසින් උපාලි සමූහ ව්‍යාපාරයට පෙරළා හිරිහැර කරන්නට පටන් ගත්තේය. තම ඥතිකම හෝ ආණ්‌ඩුවට අභියෝග කළ නිසා එල්ල වූ හිරිහැරය, කර්තෘ මණ්‌ඩලයට කාන්දු නොකරන්නට තරමේ පරිපාලන ශක්‌තියක්‌ සීවලි රත්වත්ත සතු වූ අතර ඒ නිසාම බාහිරින් බොහෝ කරදර රත්වත්ත පවුලට එල්ල විය. බෙදුම්වාදයට කවදත් නොමසුරුව සේවය කළ විකල්ප පුවත්පත් සීවලි රත්වත්ත වෙත ආයුධ වෙළෙන්දා යන අභූත ලේබලය අලවන්නට පටන් ගත්තේය. කිසි දිනක නොකරන ලද දෙයක්‌ සම්බන්ධයෙන් මඩ කෑමට සීවලි රත්වත්තට සිදුවූයේ ඔහුගේ හිමිකාරිත්වය තිබූ "දිවයින" හා "දි අයිලන්ඩ්" පුවත්පත් විසින් අර්බුදය, දෙමළ ත්‍රස්‌තවාදය ලෙසත්, එය යුදමය ක්‍රියාමාර්ගයකින් පමණක්‌ අවසන් කළ යුතු බවටත් වන ස්‌ථාවරයේ සිටි නිසාය. අවසානයේදී එම අපහාසය අධිකරණ ක්‍රියාමාර්ගයකින් සීවලි රත්වත්තයන් විසින් නිරවුල් කර ගත් අතර ආයුධ වෙළෙන්¹ යන අභූත ලේබලය ඇලවූ පාර්ශ්වයට තමන් ගෙතු මුසාවට සමාව ගන්නට ද සිදුවිය.

විජයවර්ධන පවුල් හා මාධ්‍ය අතර තිබූ සම්බන්ධයත් ඒ සමගම එම පවුල් හා දේශපාලනය අතර තිබූ සම්බන්ධයත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය හා දේශපාලන අතර කතිකාවක්‌ වී තිබේ. ඩී. ආර්. විඡේවර්ධන ගෙන් පසු ලේක්‌හවුස්‌ ආයතනයේ පරිපාලනයට පත් වූයේ ඩී. ආර්. ගේ දියණියගේ ස්‌වාමිපුරුෂයා වූ එස්‌මන්ඩ් වික්‍රමසිංහය. එස්‌මන්ඩ්ගේ පුවත්පත් විසින් Rජු ලෙසම තම ඥතීන්ගේ පක්‍ෂයට කරන ලද සේවය හේතුවෙන් ශ්‍රීලනිප ආණ්‌ඩු සමග නිරන්තර ගැටුම් නිර්මාණය විය. ඒ සමගම එස්‌මන්ඩ්ගේ ක්‍රියාපිළිවෙත වූයේ තම ඥතීන්ගේ පක්‍ෂය වෙත බර වීමය. අවසානයේ සටන ආණ්‌ඩුව සහ ලේක්‌හවුසිය අතර බවට පත් විය. සටන නිම වූයේ එස්‌මන්ඩ් මූලික වී සිරිමාවෝගේ ආණ්‌ඩුව පෙරළා සිය ඥති ඩඩ්ලි අගමැති කරවීමෙනි. ඊළඟ වතාවේදී සිරිමාවෝගේ ආණ්‌ඩුව බලයට පත්වී ලේක්‌හවුස්‌ ආයතනය රජයට පවරා ගත්තේ මේ දේශපාලන තරගය නිමා කරවමිනි.

ඩී. ආර්. විජයවර්ධනගේ ඇවෑමෙන් ඥති සම්බන්ධය මත එස්‌මන්ඩ් වික්‍රමසිංහ ලේක්‌හවුස්‌ ආයතනය බාර ගත්තා සේ සැහැල්ලුවකින් නොව, උපාලි විජයවර්ධනගෙන් පසු සීවලි රත්වත්ත, උපාලි සමූහ ව්‍යාපාරය බාර ගත්තේය. එතැනදී එස්‌මන්ඩ්ට එජාප නායකත්වයට තිබුණාට වඩා කිට්‌ටු ඥතිත්වයක්‌ සීවලිට ශ්‍රීලනිපය සමග තිබුණි. එසේ වෙද්දී සීවලි පුවත්පත් හිමිකාරිත්වය සීමාව නොඉක්‌මවා කටයුතු කළේය. එස්‌මන්ඩ් සීමාව ඉක්‌මවා ගිය ගමන තුළ මාධ්‍ය භාවිතා වුණු දේශපාලන පක්‍ෂයක වුවමනාවකටය. එසේ නොවී තම මාධ්‍ය ආයතනයේ ගමනට අත නොදමා මාධ්‍ය හිමිකාරිත්වයේ සීමා වේ රැඳී සිටින්නට තරමේ විචක්‌ෂණ භාවයක්‌ සීවලි සතු විය.

සීවලි රත්වත්ත එහිලා දක්‌වන ලද සමාර්ථභාවය නිසි ඇගැයීමකට පාත්‍රවී නැති අතර රටේ බිහිවූ බරපතළ චරිතයක්‌ බවට ඔහු පත් වන්නේ එතැනිණි.

මනෝඡ් අබයදීර

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.