කෙස්‌ කැපීමට ගොස්‌
බෙල්ල කපා නොගත යුතුය

හිස කෙස්‌වලට ප්‍රාණයක්‌ නැතත් මිනිසාගේ හිසකෙස්‌ දෛනිකව වැඩෙයි. හිස කෙස්‌වල වටිනාකම මිනිසුන්ට දැනෙනුයේ තට්‌ටය පෑදුණු කලය. එහෙත් ඒවායෙහි කිසිදු වටිනාකමක්‌ නොමැත. එහෙත් කාන්තාවෝ සිය කේශ කලාපය ගැන දැඩි උනන්දුවක්‌ දක්‌වති. නමුත් සෑම නිවසකම අහුමුලුවල කාන්තා කෙස්‌ රොදවල් ගුලි පිටින් දැකිය හැකිය. මේ ලක්‍ෂණය අශෝභන මෙන්ම නිවසින් සිරිකත බැහැර වී මූදේවිය ළඟා කෙරෙන ලක්‍ෂණයකි.

මංගල හිසකෙස්‌ කැපීම හෙවත් ළමයෙකුගේ මුල්ම වරට හිසකෙස්‌ කැපීම මංගල කරුණකි. මේ නිසාම කෙස්‌ කැපීමට නැකත් පිළියෙළ කර ගැනීමට අපි පුරුදුව ඇත්තේ දුරාතීතයේ සිටය. නමුත් මේ ගැන එතරම් සැලකිල්ලක්‌ නොදක්‌වා තමන්ට පහසු අවස්‌ථාවක හිසකෙස්‌ කපන දෙමව්පියෝද අද සමාජයේ දක්‌නට ලැබෙති.

"කෙස්‌ කපන්න ආයෙ අලුතින් නැකත් ඕනෙ නැ. උපන් වෙලාවෙම කෙස්‌ රොදක්‌ කපලා දැම්ම නම් ඉවරයි." මෙසේ කියන පිරිස්‌ අපට නිරන්තරයෙන්ම හමුවුවත් කිසිවෙකුත් එසේ නොකළ යුතුය. ඊට හේතුව දරුවා උපදින විට

පවතින පංචාංගයද කලාව පිහිටන ක්‍රමයද කිසිවකුත් නොදනී. විෂ කලාව ඇති අවස්‌ථාවක්‌ නම් දරුවාට ඉන් සිදුවන්නේ හානියක්‌ මිස යහපතක්‌ නොවේ.

දරුවකු බහතෝරන වියේදී එනම් කතා කිරීමට පටන් ගන්නා කාල වකවානුවේදී හිසකෙස්‌ කැපීම අශුභය. මේ නිසා ළමයා ගොත ගසන්නකු වන බවට පැරණි සමාජයේ සිටම විශ්වාසයක්‌ පවතී. මව ගැබ්ගෙන පස්‌ මසක්‌ ගත වී සිටින්නේ නම් ද එම කාලයේ දරුවකුගේ හිසකෙස්‌ කැපීම සුබ නොවේ. එසේ කිරීම ඉපදී සිටින දරුවාට මෙන්ම උපදින්නට සිටින දරුවාටද හානියකි. අසුබ තත්ත්වයකි.

පියාගේ ජන්ම පත්‍රයට හෝ මවගේ ජන්ම පත්‍රයට අනුව කරුණු සලකා බලා හිසකෙස්‌ කැපීමද නොකළ යුතු දෙයකි. බොහෝ අය පියා උපන් නැකත මව උපන් නැකත අනුව දරුවාගේ හිසකෙස්‌ කපනු ලබයි. මේ තත්ත්වය දරුවාට විවිධ රෝගාබාධ පැමිණීමට හේතුවකි.

දරුවකු ඉපදී වසරක්‌ ගතවූ පසුව හිසකෙස්‌ කැපීම ඉතා හොඳය. අවුරුදු තුනෙන් අවුරුදු පහෙන් හිසකෙස්‌ කැපීම ඉතා හොඳ නමුත් මේ කාලවලදී ළමයාගේ බහතේරීම පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

දවස්‌ වශයෙන් සැලකිල්ලට ගන්නා විට සඳුදා, බදාදා, බ්‍රහස්‌පතින්දා හා සිකුරාදා යන දිනයන් හිස කෙස්‌ කැපීමට සුබ දවස්‌ වන බව මතක තබා ගන්න. එමෙන්ම ඒ ඒ දිනවලට යෙදී ඇති නැකත ගැනද සිතා බැලිය යුතුය. චන්ද්‍රෂ්ඨක නැකත කෙස්‌ කැපීමට අශුභය. ත්‍රිජන්ම නැකතද එසේමය. අස්‌විද, පුනාවස, මුවසිරස, රේවතී, සුවණ, පුෂ, හත, සිත, දෙට, උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප යන නැකැත්වලින් ජන්මියාට සුදුසු නැකතක්‌ බලා ඒ අනුව කෙස්‌ කැපීම ඉතාම සුදුසුයි.

ජන්ම පත්‍රයට අනුව චන්ද්‍රයා 3,5,9,10,11,12 වැනි භාවවලට පැමිණ සිටින අවස්‌ථාවක කෙස්‌ කැපීම නොකළ යුතුය. එය ඉතාම අශුභය. කේන්ද්‍රයේ හත්වැන්නේ රවි, කුජ යෙදී ඇත්නම්ද ශනි හා සිකුරු 7 වැන්නේ සිටීනම්ද හිසකෙස්‌ කැපීම සඳහා සුදුසුම නැකතක්‌ බැලීම ඉතාම අවශ්‍ය කරුණකි. එම භාවවල බුධ, චන්ද්‍ර, ගුරු සිටියහොත් කෙස්‌ කැපීමේ නැකත සුබ නැකතක්‌ යොදාගෙන ජන්මියාට ඉතා සුබඵල දෙන තත්ත්වයක්‌ ළඟාකොට ගත හැකිය.

මංගල හිසකේ කැපීම සඳහා පුරපසළොස්‌වක පොහොය, අමාවක පොහොය මෙන්ම රාත්‍රී කාලයද යොදා නොගත යුතුය. ආහාර අනුභව කළ විගස ද සෑහෙනකාලයක්‌ නිරාහාරව සිටින විටද කෙස්‌ කැපීම නොකළ යුතුය.

වෘෂභ, මිථුන. කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු හා මීන යන රාශියකින් ජන්මියාගේ ලග්නයට සුදුසු හා ගැලපෙන රාශි දිනයක්‌ කෙස්‌ කැපීමට යොදා ගන්න. තිථි වශයෙන් සලකන විට පුර පක්‍ෂයේ 2 - 3 5 - 7 -10 -11 - 13 යන තිථි සුබ බවද මතකයේ තබා ගන්න.

දරුවාගේ කෙස්‌ කපන දිනයේදී ඔහුව ඉතා සතුටෙන් තැබීමට කළ හැකි සෑම දෙයක්‌ම කරන්න. ජලය ඇති තැනකට දරුවා රැගෙන ගොස්‌ සමන් පිච්ච මල්, ඊතණ, සුණුසහල්, විලඳ, එලඅබ, සඳුන්, පිනිදිය සහිත පැන් කළයක්‌ සකසා එම කළය දරුවාගේ හිසමත තබා නියමිත නැකතට කෙස්‌ කැපීමෙන් ඉතාම සුබඵල ළඟාකරගත හැකිය. කෙස්‌ කපන අවස්‌ථාව ආරම්භ වීමට පෙර හා කෙස්‌ කපන අවස්‌ථාවේදී සුබ ස්‌ත්‍රෝත්‍ර, මන්ත්‍ර පිරිත් ආදිය කීම ගුණදායකය. කෙස්‌ කැපීමෙන් පසුව ඉහත සඳහන් කළ ඖෂධ පැන් කළයෙන් පළමුව නහවා ඊට පසුව ළමයා හොඳින් නාවන්න.

කපන ලද හිසකෙස්‌ පයට පෑගෙන සේ තැනින් තැන දැමීමද, කෙස්‌ සුළඟේ පාවී යැමට ඉඩදීම ද සුදුසු නොවේ. ඒවා එකතුකොට ගලාගෙන යන ජලයකට දමන්නේ නම් මැනවි. කැපූ හිසකේ වැළලීමෙන් වැළකී සිටින්න.

හිසකේ කැපීම අවසන් වූ පසුව හකුරු සහිත කිරිබතක්‌ පිළියෙළ කොට එහි මුල් භාගය බුද්ධ පූජාවටද, සෙසු භාගය දානයකටද වෙන්කොට පශ්චිම භාගය දරුවාට කෑමට දෙන්න. දරුවාගේ යහළුවන් සමගද මව්පිය නැසියන් සමඟද මේ කිරිබත් අනුභව කිරීම ඉතා හොඳය.

හිසකෙස්‌ කැපීම අප සාමාන්‍ය දෙයක්‌ ලෙස සලකනු ලැබූවද දරුවකුගේ ශ්‍රියාව, තේජස, සැපත, බලපරාක්‍රමය වර්ධනය වීමට හිසකේ කපන නැකත පාදක වන බව අමතක නොකළ යුතුය. ඉපැරණි පොත්පත්වල එය සඳහන් වේ. කෙස්‌ කැපීමේ සුබ යෝගයන් ගැන එක්‌ පැරණි කවියක මෙසේ සඳහන් වේ.

'කිවි ගුරු සඳු යන මින් එකකු බල යුතී

සය තුන දහය සහ එකොලෙස සිටිය යුතී

එම කල යෙදේ 'චූඩා' යෝගය සො ඳැතී

හිසකේ රැවුල් මේ යෝගෙන් කපනු යුතී

ජ්‍යෝතිෂවේදී
දිනසේන රතුගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.