ජනාධිපතිවරණයටත් මහ මැතිවරණයටත් දෙකටම එකවර ලෑස්‌ති වන්න
-රනිල්ගෙන් ආසන සංවිධායකයන්ට විශේෂ නිවේදනයක්‌

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය හා විපක්‍ෂයේ පක්‍ෂවල එකමුතුව දෙපසකින් තරග වදින ජනාධිපතිවරණ ඡන්ද සටනේ උණුසුම්ම සිදුවීම් සහිත තවත් සතියක්‌ ගෙවී ගියේය. ඒ සතිය තුළ මේ රටේ ජනතාව දේශපාලන ක්‍රියාකාරකම් ලෙස දෙපැත්තෙන්ම දුටුවේ අපේක්‍ෂකයෝ දෙදෙන එක හැල්මට දුවන රැස්‌වීම් මාලාවකි. රැස්‌වීම් රැස්‌වීම් රැස්‌වීම් හා තවත් රැස්‌වීම්වලට අමතරව තවත් කිසිවක්‌ නැති තරම්ය.

ඒ අතරතුර දේශපාලන කතිකාවේ මතුපිට තලයට ඇතුළාන්තයෙන් දේශපාලන මෙහෙයුම් කිහිපයක්‌ ද සිදුවෙමින් තිබිණි. තමන්ගේ ගොඩ ලොකු කර ගන්නට විපක්‍ෂයෙන් ආණ්‌ඩු පක්‍ෂයටත් ආණ්‌ඩු පක්‍ෂයෙන් විපක්‍ෂයටත් මන්ත්‍රීවරු හා බලවත් දේශපාලන චරිත දිනාගැනීමේ දේශපාලන මෙහෙයුම් දෙක මෙහිදී කැපී පෙනිණි. ඊට අමතරව දක්‌නට ලැබුණ ලොකුම මෙහෙයුම වූයේ මෛත්‍රීපාල සිරිසේනගේ අපේක්‍ෂකත්වය වටා ඒකරාශි වුණු දේශපාලන කල්ලි කණ්‌ඩායම්වලට ගැළපෙන පරිදි විපක්‍ෂයේ පොදු වැඩපිළිවෙළ හෙවත් ප්‍රතිපත්ති ප්‍රකාශය සාදා ගැනීමේ මෙහෙයුමයි.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සාදා අවසන් කර ජනගත කිරීමේ ඉලක්‌කය තිබුණේ 19 වැනි සිකුරාදාටය. සිකුරාදා දිනයට පෙර ප්‍රතිපත්ති ප්‍රකාශනය කාටත් එකඟවිය හැකි ලෙස සකසා සාදා නිමකර ජනගත කිරීමේ අභියෝගය පහසු නොවීය.

මෙම වගකීම එක්‌සත් ජාතික පක්‍ෂයේත් ජාතික හෙළ උරුමයේත් දෙමළ හා මුස්‌ලිම් පක්‍ෂවලත් මෛත්‍රීපාල පාර්ශ්වයේත් අදහස්‌වලට සරිලන සේ සාදා ගැනීමේ වගකීම කමිටුවකට පවරා දී තිබිණි. මෙහි ප්‍රමුඛ භූමිකාව පැවරී තිබුණේ චම්පික රණවකටය. ඒ හැරුණු විට විපක්‍ෂයේ එක්‌ එක්‌ ක්‍ෂේත්‍රයන් පිළිබඳ විද්වතුන් හා විවෘත මතධාරීන්ගේ අදහස්‌ උදහස්‌ දැක්‌වීම් ද මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පිටිවහලක්‌ වී තිබිණි. මේ අයුරින් ලහිලහියේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සෑදෙමින් තිබිණි.

අනාගත රජය ගැන කරු අනාවැකි කියයි

පසුගිය සතියේ මැතිවරණ ඡන්ද සටනේ විපක්‍ෂයේ පොදු එකමුතුවේ ඡන්ද සටන තුළ කැපී පෙනෙන මෙහෙවරක්‌ ඉටුකරන කරු ජයසූරිය එක්‌ අනාවැකියක්‌ කීවේය. ඒ මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයෙන් පසුව බලයට පත්වන අනාගත රාජ්‍යය ගැනය. දින 100 වැඩපිළිවෙළින් පසු රනිල්ගේ අගමැතිත්වයෙන් බිහිවන්නේ ජාතික ආණ්‌ඩුවක්‌ බවත් එහි අමාත්‍ය මණ්‌ඩලය ඉතා සීමිත අමාත්‍යවරු ගණනක්‌ සිටින එකක්‌ බවත් ඔහු කීවේය. එපමණක්‌ නොව, මේ රජය අවුරුදු 2 ක්‌ පමණ කාලයක්‌ තුළ රටේ කෙරෙන ලොකු අත්හදා බැලීමක්‌ බව ද කරු පෙන්වා දුන්නේය.

මේ රටේ දේශපාලන අනාගතය ලොකු වෙනසකට පරිවර්තනය කරන සියලු පක්‍ෂවලින් යුතු කෙටිකාලීන ජාතික ආණ්‌ඩුව තනාගැනීමට තම පක්‍ෂය, තම නායකයා වන රනිල් වික්‍රමසිංහ හා එක්‌සත් ජාතික පක්‍ෂයේ පාක්‍ෂිකයන් කරන ලද කැපකිරීම මේ රටේ දේශපාලන ඉතිහාසය තුළ සිදු වූ ලොකුම කැපකිරීම වන බව ද මෙහිදී කරු ජයසූරිය පෙන්වා දුන්නේය.

මන්ත්‍රී දඩයමේ වැරදුණු කුරුමානම්

මෛත්‍රීපාල සිරිසේනගේ කණ්‌ඩායම හා එක්‌සත් ජාතික පක්‍ෂය පසුගිය සතියේත් මන්ත්‍රී දඩයම අතහැර තිබුණේ නැත. ආණ්‌ඩු පක්‍ෂයෙන් කවර හෝ අන්දමේ මන්ත්‍රීවරයෙක්‌ තම පිලට ගැනීමේ සටනට සමහරු කීවේ මන්ත්‍රී දඩයම කියාය. පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු එල්ල කර ගනිමින් මේ සඳහා දියත් කර තිබූ මෙහෙයුමේ පළාත් සභා මට්‌ටමින් පහළ මෙහෙයුමේ යම් සාර්ථකත්වයක්‌ පසුගිය සතියේත් තිබිණි. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බිලිබා ගැනීමේ මෙහෙයුම නම් සම්පූර්ණයෙන්ම අසාර්ථක වී තිබිණි.

කොතරම් අසාර්ථක වුවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනිය ඇතුළු විපක්‍ෂයේ නායකයෝ මෙහෙයුම නම් සැර බාල කර තිබූ බවක්‌ නොපෙනිණි.

මෛත්‍රීපාල පාර්ශ්වය මෙම මෙහෙයුම් එක්‌තරා සිදුවීමක්‌ නිසා තවත් වේගවත් කළේය. සිදුවීම චම්පික හා රතන හිමි සමඟ මෛත්‍රීපාල කණ්‌ඩායමට ගිය උදය ගම්මන්පිල ආපසු ආණ්‌ඩුවට පැමිණීමයි. පසුගිය සතියේ සිදු වූ එම ආපසු ගමනයත් සමඟ චන්ද්‍රිකාගේ නායකත්වයෙන් මෛත්‍රී පිලේ සංවිධායකයෝ හා සැලසුම්කරුවෝ ඇමැතිවරු කණ්‌ඩායමක්‌ හා මන්ත්‍රීවරු පිරිසක්‌ ඉලක්‌ක කර තරමක්‌ වෙනස්‌ අන්දමේ මෙහෙයුමක්‌ ඇරඹූහ.

ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු වන පියසේන ගමගේ, එස්‌. බී. නාවින්න මෙන්ම දඹුල්ලේ සිංහයා වන ජනක බණ්‌ඩාර තෙන්නකෝන් ද මේ මෙහෙයුමින් ආණ්‌ඩුවෙන් ගලවාගත හැකි වෙතැයි විපක්‍ෂයේ මෙහෙයුම්කරුවෝ විශ්වාස කළහ.

මේ සැලසුම පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පාර්ශ්වයට ද නිරතුරුව තොරතුරු ගලා එමින් තිබිණි. එම කණ්‌ඩායම ද චන්ද්‍රිකා පාර්ශ්වයේ මෙහෙයුමට එරෙහි ප්‍රති මෙහෙයුම ආරම්භ කරමින් සිටින ඇමැතිවරු ආරක්‍ෂා කර තබා ගැනීමේ ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක කළහ.

මේ අතරවාරයේ පසුගිය සතියට පෙර සතියේ දිනක එස්‌. බී. නාවින්න ඇමැතිවරයා හිටි හැටියේම පියසේන ගමගේ ඇමැතිවරයාගේ නිවසට පැමිණියේය. එස්‌. බී. නාවින්න පැමිණියේ කුමන අන්දමේ මෙහෙයුමකටදැයි විපිලිසර වූ සමහර අංශ වහ වහා ක්‍රියාත්මකව නාවින්න හිටි හැටියේ පියසේන ගමගේ ගේ නිවසට පැමිණ ඇති බව ජනාධිපති මහින්දගේ පාර්ශ්වයේ මහ මොළකරුවන්ට දන්වා සිටියහ.

සැකය ගැන සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු එක්‌වෙති

පිටස්‌තර මෙහෙයුම් කාර්යාලවල මොන මොන දේ ගැන කතා වුවත් පියසේන ගමගේ ඇමැතිවරයාගේ නිවසේ සිදුවෙමින් තිබී ඇත්තේ සිතන දේට වඩා හාත්පසින්ම වෙනස්‌ අන්දමේ සිදුවීමකි. සැබැවින්ම නාවින්න අමාත්‍යවරයා පැමිණ ඇත්තේ මේ දිනවල ඇතැම් අයගේ සැකය නිසා තමන් හදවතින් අත්aවිඳින වේදනාව ගැන පියසේන ගමගේට කියන්නටය.

"මට දැන් ගෙදර ඉන්න නෑ. මේ කටකතා පත්තරවල පළ කරලා හැම තැනම මමත් යනවා කියන කතාව පැතිරිලා ගිහින්. හැමෝම අහනවා. අපි කොහොමද ඉතින් හිත හදාගෙන වැඩක්‌ කරන්නේ. අන්තිමේ මම මෙහෙම හිතුවා. කියන එකෙක්‌ ඕන දෙයක්‌ කියපුදෙන්. හිතන අය ඕන එකක්‌ හිතපුදෙන්. මම ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙලා මහන්සි වෙලා වැඩ කරනවා. එච්චරයි.

නාවින්න එසේ කියද්දී පියසේන ගමගේ ඇමැතිවරයා ද එය අනුමත කරමින් කතා කළේය. ඔව් ඇමැතිතුමා. ජනාධිපතිතුමාට අපි ගැන සැකයක්‌ නැත්නම් එච්චරයි. අපි වැඩ කරමු.

ඇතුළේ කතාබහ මේ ආකාරයෙන් සිදුවුණත් පිටින් ආ දුරකථන ඇමතුම් ගණනාවක්‌ තුළ කියවුණේ වෙනම කතාවකි. අමාත්‍ය බැසිල්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය ඇතුළු සන්ධානයේ ලොකු කුඩා මෙහෙයුම් ප්‍රධානීන් මෙසේ කතා කර තිබිණි. ඒ සෑම කෙනෙක්‌ම සිතා සිට ඇත්තේ පියසේන ගමගේ ඇමැතිගේ නිවසේ ජනපති මහින්දට අහිතකර වෙනත් මෙහෙයුමක්‌ ක්‍රියාත්මක වන බවකි.

රන්දිම නූලෙන් ගැලවුණැයි ජනපති නෙලුවේදී කියයි

කවුරු මොනවා සිතා සිටියත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ සැලසුම වූයේ ආණ්‌ඩුවේ සිටින ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ සහාය නොමැතිව සාර්ථක ඉදිරි ගමනක්‌ යා නොහැකි බවයි. මේ නිසා මහජන රැලි සඳහා පිට පළාත්වලට යන හැම මොහොතකදීම ඒ පළාතේ සිටින ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ නිවෙස්‌වලටම ගොස්‌ අන් අයගේ සැක සංකා දුරු කිරීමට ජනාධිපතිට අවශ්‍ය විය.

ඒ අනුව පසුගිය සඳුදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දකුණේ ගාලු දිස්‌ත්‍රික්‌කයේ රැස්‌වීම් ගණනාවකටම ගියේය. ඇල්පිටියෙන් පටන්ගෙන එදා දවස තුළ රැස්‌වීම් 6 ක්‌ අමතා නෙලුවේ ජනාධිපතිවරණ ප්‍රචාරක කාර්යාලය විවෘත කර සවස 2.30 ට නෙලුවේ පියසේන ගමගේ ඇමැතිවරයාගේ නිවසින් දිවා ආහාරය ගන්නට සියල්ල සැලසුම් කර තිබිණි.

නමුත් ජනාධිපතිවරයාට රැස්‌වීම් 11 ක්‌ අමතන්නට සිදුවිය. මහ වැසි මැද නෙලුවට එන විට හවස 4.00 ට ආසන්න විය. නෙලුවේ කාර්යාලය විවෘත කර රැස්‌ව සිටි ජනතාව අමතමින් කතාවක්‌ ද කර පියසේන ගමගේලයි නිවසට යන විට හවස 4.30 ද ඉක්‌මවා ගොස්‌ තිබිණි.

ජනාධිපතිවරයාව ආදරයෙන් පිළිගත් පියසේන ගමගේ ඇමැතිවරයා හා එම මැතිනිය ඔහුව කෙළින්ම කැටුව ගියේ කෑම මේසය වෙතටය. රන්දිම ගමගේ තරුණ පළාත් සභා මන්ත්‍රීවරයා ද එතන සිටියේය.

කෑම මේසයට නිශාන්ත මුතුහෙට්‌ටිගම, ගීතා කුමාරසිංහ, චන්දිම වීරක්‌කොඩි යන අයට ද ආරාධනා කෙරිණි. ජනාධිපති මහින්දට කෑම බෙදනු ලැබුවේ පියසේන ගමගේ හා රන්දිම ගමගේ විසිනි. රන්දිම අත සෝදන්නට වතුර භාජනයක්‌ ගෙනැවිත් ජනාධිපතිවරයාට පිළිගන්වන අතරේ ජනාධිපති මහින්ද රන්දිමව පෙන්වමින් අනෙක්‌ අයට මෙසේ කීවේය.

මෙයාගෙ යාළුවා නම් ඔන්න පැනලා ගියා.

ජනාධිපතිවරයා "යාළුවා" යනුවෙන් නම් කළේ කාටදැයි සමහරුන්ට එකවරම තේරුණේ නැත. ජනාධිපති මහින්ද එසේ කීවේ හිරුණිකා ගැන බව පියසේන ගමගේට එකවර වැටහිණි.

ඕවා පරණ කතා නේ සර්.... දැන් අපේ කොල්ලා ළඟ ඔය වැඩ නැහැ. නොතේරෙන කාලේ වෙච්ච දේවල්... පියසේන ගමගේ කීවේය.

නොතේරෙන කාලේ තමයි ඒ වුණාට පුතණ්‌ඩියා ගැලවුණේ නූලෙන්. තව ඩිංගෙන් කර ගහනවා.

ඔය කතාව තව තවත් දුරට ගියේය. නිශාන්ත මුතුහෙට්‌ටිගමගේ කට ඇවිස්‌සිණි. ගීතා ද ජනාධිපතිතුමන් ද ඒ කතාවට දැක්‌වූ උනන්දුව නිසා තව තවත් නම් ගණනාවක්‌ම කියවිණි.

ඒ අතර ජනාධිපතිවරයා "කෝ මනූෂ... මනූෂ අද දවස පුරාම දැක්‌කේ නැහැ. මොකද මිනිහ ආවෙ නැත්තේ. මම ආවාම වරද්දන්නේ නැතුව ළඟ ඉන්න මිනිහා...." යෑයි විමසා සිටියේය.

මනූෂට ලොකු ප්‍රශ්නයක්‌ වූ බව ජනාධිපතිවරයාට දැනගන්නට ලැබුණේ ඒ මොහොතේය.

මෛත්‍රීට අහංගමත් නෑදැයෝ ඉන්නවලු

පසුගිය බදාදා උදේ පටන් පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන සිටියේ ගාල්ල ප්‍රදේශයේය. උදෙන්ම බලපිටිය නගරයේ ඔහුගේ ලොකු රැස්‌වීමක්‌ තිබිණි.

ඉන්පසුව ගයන්ත කරුණාතිලක සංවිධානය කළ රැස්‌වීමක්‌ ඇල්පිටියේදී පැවැත්විණි. ගයන්ත ඊට අතිවිශාල සෙනඟක්‌ සම්බන්ධ කර තිබීමෙන් ප්‍රමෝදයට පත් මෛත්‍රී ඇල්පිටිය රැස්‌වීම අමතා විශේෂ ප්‍රකාශයක්‌ කළේය.

"අපි ලබන 8 වැනිදා ලබන ඓතිහාසික ජයග්‍රහණයෙන් පසුව අපේ රජයක්‌ පිහිටුවනවා. අන්න එහෙම පිහිටුවන රජයේ බලවත් අමාත්‍ය ධුරයක්‌ ඔබේ නායකතුමාට ලබාදෙන්න මම පොරොන්දු වෙනවා...."

මෛත්‍රී එසේ කීවේ ගයන්ත කරන සේවය ද මතක්‌ කරමින් ඔහුගේ ආධාරකරුවන් දිරිමත් කරමිනි.

ඉන්පසුව මෛත්‍රී ගියේ බද්දේගමටය. බද්දේගමට යන විට ඔහුගේ වේදිකාව හා ශබ්ද විකාශන යන්ත්‍ර සියල්ල යම්කිසි පිරිසක්‌ විසින් ගිනි තබා විනාශ කර තිබිණි.

ඉන් පසුබට නොවූ මෛත්‍රී රැස්‌වීම එතනම පැවැත්වූයේය.

අක්‌මීමන හා හබරාදුව පවත්වනු ලබන

රැස්‌වීම්වලට චන්ද්‍රිකා ද පැමිණ තිබිණි. ඉන්පසුව අහංගම නගරයේදී මෛත්‍රීගේ රැස්‌වීමක්‌ තිබිණි. එහිදී මෛත්‍රී දකුණේ ජනතාවට නෑකමක්‌ ද කියමින් විශේෂ කතාවක්‌ කීවේය.

මටත් මේ අහංගම නෑදෑයෝ ඉන්නවා. මගේ බිරිඳගේ පියා අහංගම කෙනෙක්‌. කවුරුත් දන්නවා අහංගම නාඩි වෙද මහත්තයාව ඒ මගේ මාමණ්‌ඩියි. ඒ අනුව බලනකොට රජරට නොවෙයි මේ දකුණේත් ඉන්න අය මගේ නෑදැයෝ...."

ඇල්පිටිය රැස්‌වීමට ගයන්ත ආවේ නිල් හා කොල පාට මිශ්‍ර කමිසයක්‌ ඇඳගෙනය. එය දුටු රාජිත මෙන්න මෙයා පාට ගැළපෙන්නම ඇඳලා... එහෙම තමයි ඉන්න ඕන... යෑයි කීවේය.

දැන් මේ අපේ මෛත්‍රීපාල මැතිතුමා අඳින ඇඳුමත් ආණ්‌ඩුවට ප්‍රශ්නයක්‌ වෙලා නේ. ඕවා ගැන හිතලා මම කාටවත් ප්‍රශ්නයක්‌ නොවෙන්න තමයි මේ විදියට අඳින්නේ... ගයන්ත කීවේය.

ඔව්... දැන් මේ ආණ්‌ඩුව මගේ ඇඳුමටත් බයවෙලා ඒකත් විවේචනය කරන්න පටන් අරන්.... මෛත්‍රී ද කීවේය.

වාද්දුවේ පැවැති මෛත්‍රීගේ රැස්‌වීම ද විශේෂ සිදුවීම් රැසක්‌ සහිත එකක්‌ වූහ. එජාප නායක රනිල් රැස්‌වීමට එන මොහොතේ තවත් පැත්තකින් ඉමිටියාස්‌ බාකිර් මාකර් ද පැමිණ වේදිකාවට නැගීම රැස්‌ව සිටි ජනතාවගේ ප්‍රසාදයට ලොකු හේතුවක්‌ විය. කලක්‌ ඉමිටියාස්‌ සිටියේ රනිල් සමඟ උරණ වී පක්‍ෂයේ කටයුතුවලින් ඈත්වය. ඉමිටියාස්‌ මෙසේ වේදිකාවට නැග රනිල් ළඟ වාඩි වී සිටියදී කතා කරමින් සිටියේ රාජිතය. රාජිත සිය වේගවත් කතාව කළේ එක ළඟ වාඩි වී සිටින නායකයන් දෙදෙනාව ද ජනතාවට පෙන්වමින් වීම විශේෂත්වයකි.

විමල්ගේ උගුරටත් බෙහෙත් අරගෙනලු

මේ අයුරින් විපක්‍ෂයේ රැස්‌වීම් කෙරෙන අතරවාරයේ ආණ්‌ඩු පක්‍ෂයේ රැස්‌වීම් ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පළාතෙන් පළාතට යමින් තිබිණි. ජනාධිපතිවරයා යන සෑම රැස්‌වීමකටම අනිවාර්යයෙන් ම සහභාගි වෙන කථිකයන් ලෙස කැපී පෙනුණේ විමල් වීරවංශ, ජොන්ස්‌ටන් ප්‍රනාන්දු ඇතුළු කිහිපදෙනෙකි. විමල්

රැස්‌වීම්වල දීර්ඝ ලෙස කතා කිරීම නිසා අධික ලෙස වෙහෙසට පත්ව සිටියේය. ඔහුගේ උගුරේ ආබාධයක්‌ ද හටගෙන තිබිණි. ඊට බෙහෙත් ගන්නට ගිය වෙලේ වෛද්‍යවරු කීවේ විමල්ට විවේක ගන්නා ලෙසය. එහෙත් බෙහෙත් බිව් විමල් පසුදා සිටම රැස්‌වීම්වලට යැම විශේෂත්වයකි.

චන්ද්‍රිකා අත් එසවිල්ල ජොනී විග්‍රහ කරයි

බදාදා බත්තරමුල්ල රැස්‌වීමට ගිය සන්ධාන කථිකයෝ ඊළඟට ගියේ කුලියාපිටිය ජොන්ස්‌ටන්ගේ ආසනයේ තිබූ මහා රැලියටය. ජනාධිපතිතුමා ඒ වේදිකාවේදී කැපී පෙනෙන කතාවක්‌ කළේය.

රැස්‌වීම යන අතරතුර ජොන්ස්‌ටන් ළඟට ආ එක්‌තරා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්‌ සැමටම ඇසෙන ලෙස චන්ද්‍රිකා බණ්‌ඩාරනායකගේ "අත් ඔසවා කරන ආචාර කිරීම" ගැන ප්‍රශ්න කළේය.

මොකක්‌ද සර් ඒ අත්දෙක උස්‌සලා එකට එක ඇඟිලි අල්ලලා කරන වැඩේ.

ආ.... ඒකද.... ඒක ප්‍රතිඥවක්‌. වැඩි දවසක්‌ යන්න කලින් රට දාලා ආපසු විදේශගත වෙනවා කියල ජනතාව ඉදිරියේ කරන ප්‍රතිඥවක්‌. ඇයි අර විජය කුමාරතුංග මැරිච්ච වෙලේත් මිනිය ඉස්‌සරහ තියාගෙන කළේ ඔය ප්‍රතිඥව නේ. ඊට පස්‌සේ කෙළින්ම ගියා රට....

මෛත්‍රී යන බව බැසිල් දැනගත් හැටි

දෙපිලම දැන් තරගකාරී ලෙස කරට කර මාධ්‍ය මෙහෙයුම් ද අරඹා තිබේ. පුවත්පත්වල මෙන්ම විද්යුත් මාධ්‍යවල මාධ්‍යවේදීන්, මාධ්‍ය ප්‍රධානීන් හමුවෙමින් ඔවුන් වෙත කරුණු පැහැදිලි කරමින් කළ යුත්තේ කුමක්‌ද සිදුවන්නේ කුමක්‌ද කියා පෙන්වා දෙමින් සුහදතාව වර්ධනය කරගැනීමට දැන් දෙපිලේම සංවිධායකයෝ උනන්දුය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මේ සඳහා කවදත් උනන්දුය. එක්‌සත් ජාතික පක්‍ෂය, චන්ද්‍රිකා පාර්ශ්වය හා මෛත්‍රී පාර්ශ්වය ද දැන් ඒ සඳහා වැඩි උනන්දුවක්‌ දක්‌වමින් කටයුතු කරන බව පෙනේ.

දෙපැත්තකින් දෙපිරිසක්‌ මේ සඳහා උනන්දු වන මේ වකවානුවේ මේ නිසාම මාධ්‍යවේදීන් ද අවිවේකීය. වසර අවසානයේ තිබෙන සාද, සාකච්ඡා, සම්මන්ත්‍රණ, හමුවීම් හා රාත්‍රි භෝජන සංග්‍රහයන්වල කෙළවරක්‌ නැත. ඒ අතර මැතිවරණ හුටපට ද පැමිණීම නිසා තත්ත්වය තව තවත් දරුණු වී යෑයි කීම සාධාරණය.

මේ අන්දමින් කෙරුණු තවත් එක්‌ විශේෂ හමුවක්‌ හා රාත්‍රි භෝජන සංග්‍රහයක්‌ පසුගිය 18 වැනි බ්‍රහස්‌පතින්දා රාත්‍රියේ කොළඹ ටාඡ් සමුද්‍රd හෝටලයේ රිජන්සි ශාලාවේදී පැවැත්විණි. එය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා සංචාරක මණ්‌ඩලයේ සභාපති භාෂ්වර සේනාංක ගුණරත්න සහ තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකි. පැමිණ සිටියේ පුද්ගලික අංශයේ පත්තරවල දේශපාලන ලිපි හා ආර්ථික සංවර්ධන ප්‍රවෘත්ති කළමනාකරණය කරන මාධ්‍යවේදීන් පිරිසකි.

රාත්‍රි 9.00 ට පටන්ගත් මේ හමුවට මාධ්‍යවේදීන් සැලකිය යුතු පිරිසක්‌ පැමිණ සිටි අතර එහි ප්‍රධාන අමුත්තා වන බැසිල් රාජපක්‍ෂ පැමිණියේ රාත්‍රි 10.00 ට පමණය. සුපුරුදු දේශපාලන ඇඳුම් කට්‌ටලයෙන් තොරව සාමාන්‍ය රාත්‍රි සරල ගමනකට ගැලපෙන සේ ඇඳුමකින් සැරසී විවේකීව පැමිණ මාධ්‍යවේදීන් අතර වාඩි වී බැසිල් සිය සුහද කතාබහ ආරම්භ කළේය.

බැසිල්ට මාධ්‍යවේදීන් වෙත කියන්නට ද බොහෝ තොරතුරු තිබිණි. මාධ්‍යවේදීන්ට බැසිල්ගෙන් අසන්නට ද බොහෝ ප්‍රශ්න තිබිණි. එහෙයින් මේ සාකච්ඡාව උණුසුම් වූවා සේම රසවත් වන බව ද පෙනෙන්නට තිබිණි.

හුඟදෙනකුට විවෘතව කතා කරන්නට අවශ්‍යව තිබුණේ මෛත්‍රීපාල සිරිසේනගේ සමුගැනීම ගැනය. ඔහු ගිය ගමන කලින් දැනගත් එකක්‌දැයි මාධ්‍යවේදීන් විමසූහ.

මම නම් යන්නට දවස්‌ 5 කට කලින් දැනගත්තා. ඒත් ජනාධිපතිතිතුමා නම් එයා ගැන පුදුම විශ්වාසයක තමයි හිටියේ. කවදාවත් එයා එහෙම කරන්නේ නෑ කියන ලොකු විශ්වාසයක තමයි ජනාධිපතිතුමා හිටියේ.

කොහොමද දැනගත්තේ.... කවුරු හරි කිව්වද?

ඔව්... කුඹුරුගමුවේ වජිර හාමුදුරුවන්ගේ පොතක්‌ පිටවන උත්සවයකට මම ගියපු වෙලාවේ උන්වහන්සේ ළඟ හිටපු ලොකු හාමුදුරුවරු පිරිසක්‌ මට ඕක ගැන කිව්වා. මේ ගොල්ලා ආණ්‌ඩුවෙන් එළියට ගිහින් වෙනම පක්‍ෂයක්‌ හදලා කණ්‌ඩායමක්‌ හැටියට විපක්‍ෂයට එකතුවෙලා ජනාධිපතිවරණයට ඉල්ලන්න සූදානම් බව උන්වහන්සේලා දැනගෙන. ඒක උන්වහන්සේලා මට කිව්වේ කේලමක්‌ කියන හැටියට නොවෙයි. රටට සිද්ධවෙන්න යන විනාශයෙන් රට ගලවගන්න කියන පණිවිඩය තමයි කිව්වේ. මෛත්‍රීපාල මැතිතුමාවත් ගලවාගන්න. මට එතනින් තමයි ඕක කලින්ම දැනගත්තේ ඊළඟට ආරංචි මාර්ග ගණනාවකින් ම මම මේවා දැනගත්තා.

මම ජනාධිපතිතුමාට කලින්ම මේ ගැන කිව්වා. නමුත් එතුමා විශ්වාස කළේම නැහැ.

රාජපක්‍ෂලාගේ ආප්පවලට මාධ්‍යවේදියෝ බයයිලු

මේ අතරතුර හෝටලයේ සංග්‍රහ කරමින් උණු උණු ආප්ප හා ඊට සරිලන කට ගැසුම් වර්ග ගෙනැවිත් බෙදමින් සිටියහ. සමහර මාධ්‍යවේදීන් රාජපක්‍ෂවරුන්ගේ ආප්ප කෑම අහිතකර බව කියමින් කතාව තවත් පැත්තකට පටලවා ගත්හ. රාජපක්‍ෂලාගේ ආප්ප හා කළු කෝපි ගැන කතාව එතනින් ඇදී ආවේය.

මම නම් කෑවේ බිත්තර ආප්ප. ඒක නිසා මට ප්‍රශ්නයක්‌ නෑ. මාධ්‍යවේදියෙක්‌ කීවේය.

පනින්න හිතෙන්නේ උණු ප්ලේන් ආප්ප දෙකක්‌ ලුණුමිරිස්‌ එක්‌ක කෑවොත්... තවත් මාධ්‍යවේදියෙක්‌ කීවේය.

බැසිල් ඇමැතිතුමාට ඒ ආප්ප පාටියට යන්න බැරි වුණාද?

මම එතනට යනකොට මෙයා ඩලස්‌ ඇමැතිතුමත් එක්‌ක ආප්ප කාලා ඉවරයි. අනිත් එක මෙයාල හිටියේ වෙන තැනක. වෙනද කෑම කන තැන නොවෙයි. ඔක්‌කොම ඉවරවෙලා පිටවෙලා යනකොට තමයි මම ගියේ. මට ටිකක්‌ කතා කරන්න ඕන වුණා. මම කතා කළාම හොහ් හොහ් ගාල යන්න ගියා.

කාටවත් කියල තිබුණේ නැද්ද පහුවදා යනවා කියලා.

නෑ... ඒ ගෞරවය ගන්න එයාට බැරිවුණා. අච්චර අමුතු මිනිහ නේ අර ෆොන්සේකා. එයත් ඇවිල්ලා ජනාධිපතිතුමා එක්‌ක කතා කරල තමන්ගේ අදහස කෙලින්ම කියල නේ සමුඅරන් ගියේ. ඒක කොච්චර වැදගත්ද? අනිත් එක බලන්න තිස්‌ස අත්තනායක ඒක කරපු අපූරුව. නායකයට ගිහින් කෙළින්ම කිව්වා. ඉල්ලා අස්‌වීම දුන්නා. ඊට පස්‌සේ සිරිකොතට ගිහින් තමන් සමඟ වැඩ කරපු හැම සේවකයකුටම කිව්වා. කියල තමයි එයා ගියේ. මේවා හොඳ පාඩම්. නමුත් මෛත්‍රීපාලට බැරි වුණා ඒක කරන්න.

මේ අතරතුර 1969 සී. පී. ද සිල්වා ඇතුළු කණ්‌ඩායමක්‌ මෙසේ මහ ලේකම්වරයාව සිට පසුව කඩාගෙන විපක්‍ෂයට ගිය කතාව බැසිල් මතක්‌ කළේය. එදා තම පියා වන ඩී. ඒ. රාජපක්‍ෂ ඒ කඩාගෙන යැමට එරෙහිව කළ භූමිකාව ද මතක්‌ කරමින් කීවේ එසේ ගිය මන්ත්‍රීවරුන්ට තබන ලද ලන්සු මුදල ගැනය.

වැඩි ගානක්‌ නෙවෙයි. රු. 50.00 ටයි. එදා ඒක ඉතින් ලොකු ගානක්‌ වගේ තමයි. එදා ඉඳලම මේ පැනිලිවලට සල්ලිත් සාධකයක්‌ වෙලා තියෙනවා.

ඉන්පසුව මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන්නට වූයේ මෛත්‍රීපාල සිරිසේනගේ ජ්‍යෙෂ්ඨත්වය ගැනය. ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය පක්‍ෂය වෙනුවෙන් කළ කැපකිරීම තරුණ ක්‍රියාකාරිකයකු ලෙස පටන්ගත් දේශපාලනයේ ඉතිහාසය මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන විට බැසිල් මෙසේ කීවේය.

ඔයාල දන්නවද මෛත්‍රීපාල මුලින්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ තරුණ සංවිධානයේ ලේකම් වුණ හැටි. පක්‍ෂයේ නායකයා ඉදිරියේ තමයි අනුබද්ධ සමිතියක සභාපති ලේකම් පත් කරන්නේ. ලේකම්වරයා වෙන්න එදා වෙනම කෙනෙක්‌ (නම කීවේය.) බලාගෙන හිටියා. සිsරිමාවෝ මැතිනිය ඉස්‌සරහ පැවැත්වුණු සභාවේදී මෛත්‍රීපාල සිරිසේන තමයි ඒ කෙනාගේ නම යෝජනා කරන්න කතාබහ කරල බාර අරන් හිටියේ.

ඔන්න සභාව ඇරඹුණා. සභාපති ලෙස රත්න දේශප්‍රිය සේනානායක පත්වුණා. ඊළඟට ලේකම්වරයාගේ තනතුරට නාමයෝජනා ගේන්න නියම වුණා. අරය බලාගෙන හිටියා මෛත්‍රීපාල නැගිටලා තමන්ගේ නම යෝජනා කරනතුරු. නමුත් මෛත්‍රී නැගිට්‌ටේ නැහැ. මෙන්න ඒ වෙලාවේ වෙනත් කෙනෙක්‌ නැගිටලා මෛත්‍රීගේ නම යෝජනා කළා.

වෙනත් යෝජනා තියෙනවද කියල මම අහනකොට මැතිනි කිව්වා නෑ නෑ අවශ්‍ය නෑ. ඔය නම හොඳයි.... කියලා අන්න එහෙමයි මෛත්‍රී එදා තරුණ සංවිධානයේ ලේකම් වුණේ.

මාධ්‍යවේදීන් මෙතනදී තවත් පැත්තකට කතාව යොමු කළහ. එක්‌ මාධ්‍යවේදියෙක්‌ මෙසේ කීවේය.

තමන්ට ගහගන්න න්‍යාය බැසිල් කියාදෙයි

ඔය ඔක්‌කොම හරිය කියමුකෝ. නමුත් ඇමැතිතුමා ඔබතුමාලා ඔය ගැහිල්ල නතර කරන්න ඇයි වඳුරඹ වේදිකාව ගිනි තිබ්බේ එතකොට ජනතාවගේ අනුකම්පාව ඒ පැත්තට යනවා. අනිත් එක අපි ඔය වඳුරඹ රැස්‌වීම පත්තරේ මුල් පිටුවේ දාන්නේ නැහැ. ඒත් ඒකට ගැහුවාට පස්‌සේ හැම පත්තරයක මුල් පිටුවේ ප්‍රධාන පුවත වුණේ ඒ ගහපු එක. එතනට වැඩ හදන්න එපා.

ඔයගොල්ලන්ට වැරදිලා කවුද ඕවට ගහන්නේ. මුළු ලෝකෙම දන්නවා මේ වගේ වෙලාවක ඔය වගේ රැස්‌වීමකට ගැහුවම ජනතා අනුකම්පාව ඒ පැත්තට යනවා කියලා. ඒක එයාලම කළොත් කොහොමද? එයාලම ප්ලෑන් කරලා එයාලගේ ස්‌ටේඡ් එකට ගහ ගන්නවා. ජනතාව හිතනවා අපි ගැහුවා කියලා. ඔය වගේ ලාභ උපක්‍රම එයාලා පාවිච්චි කරන බව අපි කල් තියාම දන්නවා මේ වගේ මැතිවරණයකදී.

සමීක්‍ෂණවල තත්ත්වය මොකද?

අපි දිනනවා. උඩින්ම දිනනවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වෙනවා.

ඉන්පසුව මාධ්‍යවේදීන් කතා කළේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ විශාලත්වය හා ඡන්ද ප්‍රමාණය ගැනය. බැසිල් කීවේ එහි ලක්‍ෂ 15 කටත් වඩා ඡන්ද තියෙන බවය. ඒ අතර කතාබහ උතුරු පළාතේ දෙමළ ඡන්ද ගැන ද යොමුවිය.

උතුරේ දෙමළ ඡන්දත් විශාල ප්‍රමාණයක්‌ ඒ පැත්තට තියෙනව නේ. ඒක කවර් කරන්න වෙන්නේ ගම්පහින් මාධ්‍යවේදියෙක්‌ කීවේය.

නෑ ගම්පහ ඒ වගේ පොඩි වැඩකට යවන්නේ නැහැ. කුරුණෑගල ගන්න වැඩි ඡන්දවලින්ම අපි උතුරේ ඡන්ද ගණන කවර් කරනවා. බැසිල් ආඩම්බරයෙන් කීවේය.

මේ අයුරින් කතාබහ ඇදී ගියේය. බැසිල් කිසිම කලබලයක්‌ නැතිව හරිම සුහදව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට උත්තර දුන්නේය. ඔහුට ගෙදර යැමට ද අමතක වූවා සේය. මධ්‍යම රාත්‍රිය ද ඉක්‌ම යනතුරු කතාව අවසන් නොවූයේ චම්පිකලාගේ ඉතිහාසය, ජවිපෙ ඉතිහාසය, ඒ දිනවල කොළඹ පැවති වධකාගාරවල තත්ත්වය හොඳින් දැන කතා කරන්නට සමත් මාධ්‍යවේදීන් ද එතන සිටි නිසාය.

රනිල් සංවිධායකයන්ටත් සල්ලි බෙදා දුන්නලු

පසුගිය බ්‍රහස්‌පතින්දා හවස රනිල් සියලුම ආසන සංවිධායකයන් සිරිකොතට කැඳවූයේය. ඔවුන්ට රනිල් ලොකු උපදෙස්‌ මාලාවක්‌ දෙනු ලැබුවේය. සියලුම ඡන්දපොළවල් ආවරණය වන පරිදි වැඩ කරමින් සියලු ඡන්දදායකයන් ඡන්ද පොළට ගෙන ඒමේ ක්‍රියාවලිය රනිල් විස්‌තර කළේය. උපදෙස්‌ දුන්නේය.

සෑම ඡන්දපොළකටම නිල කාර්යාලයක්‌ පවත්වාගෙන යැම පිළිබඳ වගකීම් පවරා දුන්නේය. ඉන්පසුව සිකුරාදා නිකුත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය ගෙන්ගෙට බෙදාදීමේ වැඩසටහන ගැන ද රනිල් සංවිධායකයන් දැනුවත් කළේය. අවසානයේ ඔහු වෙනත් කටයුත්තක්‌ සඳහා පිටත්ව ගියේ අනෙක්‌ නායකයන්ට සභාවේ කටයුතු බාර කරමිනි.

පිටව යැමට මත්තෙන් ඔහු මෙසේ ද කීවේය.

අද මම වෙනත් කටයුත්තකට පිටත්ව යනවා. ඔයගොල්ලා ඉඳල ඔක්‌කොම අහගෙන ඉඳල යන්න. මම හිතනවා අද නම් කවුරුවත් කලින් යන එකක්‌ නෑ කියලා. තෑග්ගක්‌ තියෙනවා. ඒක අරන් යන්න.

රැස්‌වීම අවසානයේ සංවිධායකයන්ට පක්‍ෂයෙන් යම් ආර්ථික ශක්‌තියක්‌ ද පිරිනැමීම මෙහි සිදු වූ විශේෂත්වයකි.

බුලිත ප්‍රදීප් කුමාර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.