මුදල් තනතුරු වරදාන ලුහුබඳින පැනිලි තවම ඉවර නෑ

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ආරම්භ වූ එක්‌ පක්‍ෂයක සිට තවත් පක්‍ෂයකට පැනීම හෙවත් 'පිල්මාරු' තවමත් අවසන්වී නැත. පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ගෙන් ආරම්භ වූ මෙම පක්‍ෂ මාරු කිරීම් මේ වනවිට පළාත් සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් දක්‌වා පැතිරගොස්‌ තිබේ.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය අනුව බලන විට පක්‍ෂ මාරු කිරීම් වැඩියෙන්ම සිදුවී ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණ සහ ජනාධිපති මැතිවරණ පැවැත්වෙන කාල සීමාවන් තුළදීය. එසේ වුවද මෙවර ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය ආරම්භවීමත් සමඟ පටන්ගත් පක්‍ෂ මාරු කිරීම් තවමත් අවසන් වී නැත.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මැති ඇමැතිවරුන් 60 ක්‌ පමණ තමා සමඟ පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම්ව සිට ඉන් ඉවත්වී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කරන මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට තිබිණි. එහෙත් මේ වන විට ආණ්‌ඩු පක්‍ෂයේ සිට විපක්‍ෂයට ගොස්‌ ඇත්තේ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගෙන් 15 කටත් අඩු සංඛ්‍යාවකි. ඒ අතර ආණ්‌ඩුවද විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ආණ්‌ඩුවට එක්‌කර ගැනීමේ මෙහෙයුමක්‌ දියත් කළ අතර එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා සහ ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සහ බස්‌නාහිර පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දීමට පැමිණියේ ඒ අනුවය.

මේ අතර පොදු අපේක්‍ෂකයාට සහාය දීම සඳහා ආණ්‌ඩුවෙන් මැති ඇමැතිවරුන් ඉවත්ව යැම වළක්‌වා ගැනීම සඳහා ආණ්‌ඩුවද දැඩි උත්සාහයක යෙදෙමින් සිටී. පසුගිය කාලයේ ආණ්‌ඩුව තුළ විවිධ කෙණෙහිලිකම් හා නොසලකා හැරීම්වලට ලක්‌වී කලකිරී සිටිනා මැති ඇමැතිවරුන් රඳවා ගැනීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්‌ඩුවේ ප්‍රධානින් පසුගිය දිනවල මහත් වෙහෙසක්‌ ගත්හ. ඒ නිසා විපක්‍ෂයට යැමට සිටි මැති ඇමැතින් සංඛ්‍යාවක්‌ නතර කර ගැනීමට ආණ්‌ඩුව සමත් වී ඇත. එහෙත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය හා පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන, දොස්‌තර රාජිත සේනාරත්න හා මංගල සමරවීර යන මහත්වරුන් විසින් ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් විපක්‍ෂයට ගැනීමේ වෑයම නතරවී ඇති බවක්‌ නොපෙනේ. විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ ඉදිරි දිනවලදී ආණ්‌ඩුවේ ප්‍රබල මැති ඇමැතින් පිරිසක්‌ විපක්‍ෂයට එනු ඇති බවයි.

එහෙත් මේ දිනවල ආණ්‌ඩු පක්‍ෂයේ සිට විපක්‍ෂයට පැමිණෙන බොහෝ දෙනා පළාත් සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ය.

පසුගිය සතියේ අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්දික රාජපක්‍ෂ, මීරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සෝමරත්න දේනෙත්ති, ජා-ඇල නගර සභාවේ සභාපති අංජු පෙරේරා, කෝට්‌ටේ මහ නගර සභා මන්ත්‍රීවරුන් වන රන්ජන් පොන්නම්පෙරුම සහ ධනුක විශ්වජිත්, සබරගමුව පළාත් සභාවේ සභානායක ජයතිස්‌ස රණවීර, ඇඹිලිපිටිය නගර සභා මන්ත්‍රී විජිත පුංචිහේවා සහ මහනුවර හිටපු නාගරික මන්ත්‍රී අතුල සෙනරත් යන මහත්වරුද හලාවත නාගරික මන්ත්‍රී ජීවනි කාරියවසම් මහත්මියද එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ඉවත්වී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහායදීමට එක්‌වූහ.

මේ අතර ඌව පළාත් සභාවේ එජාප මන්ත්‍රී ජානක තිස්‌සකුට්‌ටි ආරච්චි, බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රී යූ. ඩබ්ලිව්. සුමිත් නිශාන්ත, පානදුර ප්‍රා. සභා මන්ත්‍රී විජය රූපශාන්ත බණ්‌ඩාර, කොළඹ මහ නගර සභා මන්ත්‍රී නදිල් මාලගොඩ, ඇඹිලිපිටිය නගර සභාවේ එජාප මන්ත්‍රී ජයවීර මාතරආරච්චි යන මහත්වරු සහ මෙවර ජනාධිපතිවරණයට තරග කරන ජ.වි.පෙ. ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ක්‍රියාකාරිකයෝ සංවිධානයේ ජාතික සංවිධායක හිටපු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොළ හා ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ නායක විමල් ගීගනගේ යන මහත්වරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහායට පසුගිය සතියේ එ.ජ.නි. සන්ධානයට එක්‌වූහ.

ජාතික හෙළ උරුමයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 29 දෙනාගෙන් 17 දෙනෙකුම ඉන් ඉවත්වී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා එක්‌වී සිටින බව උදය ගම්මන්පිල මහතා පසුගිය බදාදා මාධ්‍ය හමුවකදී පැවැසීය.

ජනාධිපතිවරණය පැවැත්වීමට ඇත්තේ තවත් සති 3 කටත් අඩු කාලයකි. මේ කාලය තුළත් තවත් පැනීමේ හා පිල්මාරු සිදුවීමට ඉඩ තිබේ.

මෙරට පාර්ලිමේන්තු ක්‍රමය ආරම්භ වූ 1947 සිට මේ දක්‌වා කාලය තුළ පක්‍ෂ මාරු කිරීම් විශාල සංඛ්‍යාවක්‌ වාර්තා වී ඇත. එහෙත් ඉන් වැඩි ප්‍රමාණයක්‌ සිදුවී ඇත්තේ ප්‍රතිපත්තිමය තීරණ අනුව නොව පෞද්ගලික හේතුන් මතය.

ප්‍රතිපත්තිමය තීරණ අනුව තමන් සිටි දේශපාලන පක්‍ෂයෙන් ඉවත්වී වෙනත් පක්‍ෂයකට යැම හෝ අලුතින් පක්‍ෂයක්‌ පිහිටුවා ගැනීමට මුලින්ම ආරම්භ වී ඇත්තේ 1952 වසරේදීය. ඒ එවකට පැවැති ඩී. එස්‌. සේනානායක ආණ්‌ඩුවේ පළාත්පාලන ඇමැතිව සිටි එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා තවත් මන්ත්‍රීවරුන් පිරිසක්‌ද සමඟ ආණ්‌ඩුවෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පිහිටුවා ගැනීමය.

ඉන්පසු 1956 බලයට පත්වූ බණ්‌ඩාරනායක ආණ්‌ඩුවේ ඇතිවූ අර්බුද නිසා ඇමැති තනතුරු වලින් ඉවත්කරනු ලැබූ පිලිප් ගුණවර්ධන, පී. එච්. විලියම් සිල්වා යන මහත්වරුන් ඇතුලු පිරිසක්‌ එම ආණ්‌ඩුවෙන් ඉවත්වී මහජන එක්‌සත් පෙරමුණ පිහිටුවාගත්හ.

සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා සමසමාජ සභාග ආණ්‌ඩුව පෙරළා දැමීමට සමත් වූ මහා පක්‍ෂමාරුව සිදුවූයේ 1964 දෙසැම්බර් මාසයේදීය. එම ආණ්‌ඩුවේ රාජාසන කතාව පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී සභානායක සී. පී. ද සිල්වා මහතා ඇතුලු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු එයට විරුද්ධව ඡන්දය දී විපක්‍ෂයට යැම නිසා එම ආණ්‌ඩුව බිඳ වැටුණි. පසුව ඔවුන් විසින් ශ්‍රී ලංකා නිදහස්‌ සමාජවාදී පක්‍ෂය නමින් නව පක්‍ෂයක්‌ පිහිටුවාගනු ලැබීය. එහෙත් මෙම පක්‍ෂ මාරුව ප්‍රතිපත්තිමය කරුණු මත නොව මුදල් මත සිදුවූවක්‌ බව පසුව අනාවරණය විය. බණ්‌ඩාරනායක මැතිනියගේ සභාග ආණ්‌ඩුව පුවත්පත් පනතක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබිණි. එකල පැවැති පුවත්පත් ඒකාධිකාරය බිඳ දැමීමේ අරමුණින් ගෙනා එම පනතට එකල ලේක්‌හවුස්‌, ටයිම්ස්‌ සහ දවස පුවත්පත් ආයතනවල හිමිකරුවෝ විරුද්ධ වූහ. ඔවුන් ව්‍යාපාරික තරහ අමතකකොට එක්‌වී බණ්‌ඩාරනායක මැතිනියගේ ආණ්‌ඩුව පෙරළා දැමීම සඳහා කුමන්ත්‍රණය කළ බව පසු කලකදී හෙළිවිය. ආණ්‌ඩුව පෙරළීමට ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට රුපියල් 50,000 බැගින් ලබාදීමට ලේක්‌හවුස්‌ අධිපති එස්‌මන්ඩ් වික්‍රමසිංහ මහතා කටයුතු කොට තිබූ බව විපක්‍ෂයේ මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රතිපත්ති තීරණ අනුව නැවත වරක්‌ පිල් මාරුකිරීමක්‌ සිදුවී ඇත්තේද සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් 1970 සමඟි පෙරමුණු ආණ්‌ඩුව තුළය. එම ආණ්‌ඩුවේ මුදල් ඇමැතිව සිටි ආචාර්ය එන්. එම්. පෙරේරා මහතා විසින් 1974 හර්තාල් දින සමරු රැස්‌වීමේදී කරනු ලැබූ කතාවක්‌ දුරදිග යැම නිසා එම ආණ්‌ඩුවේ සිටි ආචාර්ය එන්. එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහ ලෙස්‌ලි ගුණවර්ධන යන මහත්වරුන් ඔවුන් දැරූ ඇමැති පදවිවලින් ඉවත් කිරීමට බණ්‌ඩාරනායක මැතිනිය පියවර ගත්තාය. ඒ අනුව සමසමාජ පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත්විය. එම ආණ්‌ඩුවේ අනෙක්‌ හවුල්කාර පක්‍ෂය වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයද 1977 ජනවාරි මාසයේදී ආණ්‌ඩුවෙන් ඉවත් වූ අතර ඉන් ටික දිනකට පසු සමඟි පෙරමුණු ආණ්‌ඩුවේ ප්‍රගතිශීලී මන්ත්‍රීන් ලෙස ප්‍රසිද්ධව සිටි නන්ද එල්ලාවල, ඒ. එම්. ජිනදාස, ටෙනිසන් එදිරිසූරිය සහ ගාමිණි ආරියතිලක යන මහත්වරුද කර්මාන්ත ඇමැතිව සිටි ටී. බී. සුබසිංහ මහතාද ආණ්‌ඩුවෙන් ඉවත්ව ගියහ. මේ වනවිට සමඟි පෙරමුණ ආණ්‌ඩුවෙන් ඉවත්වී ගිය මන්ත්‍රීන් ගණන 31 ක්‌ විය. මේ සියලු දෙනාම ආණ්‌ඩුවෙන් ඉවත්වී විපක්‍ෂයට ගියේ පෞද්ගලික වරප්‍රසාද වරදාන තනතුරු බලාපොරොත්තුවෙන් නොවේ.

විජය කුමාරතුංග මහතාගේ මරණයෙන් පසු විදේශගතව සිටි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය 1990 දී යළි ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට සම්බන්ධ වීමෙන් පසු එයට විරෝධය පාමින් ශ්‍රී ල.නි.ප. ජාතික සංවිධායක අනුර බණ්‌ඩාරනායක මහතා එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවට එක්‌විය. ඔහුට එම ආණ්‌ඩුවේ උසස්‌ අධ්‍යාපන ඇමැති පදවිය හිමිවිය. අනුර බණ්‌ඩාරනායක මහතා සමඟ එක්‌ව දේශපාලන කටයුතුවල යෙදී සිටි ජිනදාස නියතපාල, ප්‍රදීප් හපන්ගම, තිලක්‌ කරුණාරත්න, ආචාර්ය මර්වින් සිල්වා, හේමකුමාර නානායක්‌කාර යන මහත්වරුන් පිරිසක්‌ද චන්ද්‍රිකාගේ ආගමනයට එරෙහිව ශ්‍රී ල.නි.ප.යෙන් ඉවත්වූහ.

මේ අතර 1994 දී පිහිටුවනු ලැබූ පොදුජන එක්‌සත් පෙරමුණ ආණ්‌ඩුවට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්වූ මන්ත්‍රීන් පිරිසක්‌ 'එජාප විකල්ප කණ්‌ඩායම' වශයෙන් එක්‌වූහ. එජාපයේ අර්බුද හේතුකොටගෙන මෙසේ එම පක්‍ෂයෙන් ඉවත්වී ආණ්‌ඩුවට පැමිණියේ ආචාර්ය සරත් අමුණුගම, විජයපාල මෙන්ඩිස්‌, නන්ද මැතිව්, සුසිල් මුණසිංහ, රොනී ද මැල්, මර්වින් සිල්වා, හරින්ද්‍ර කොරයා සහ සරත් කොන්ගහගේ යන මන්ත්‍රීවරුන්ය.

2000 ඔක්‌තෝබර් මස 10 දා පැවැති 11 වැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාලක පොදුජන එක්‌සත් පෙරමුණට හිමිවූයේ ආසන 107 කි. එහෙත් වසරකට වැඩි කාලයක්‌ පාලන බලය රඳවා ගැනීමට චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය සමත්වූවාය. එසේ වුවද ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රස්‌ නායක රාවුµa හකීම් මහතා ජනාධිපතිනිය විසින් ඇමැතිධුරයෙන් ඉවත් කිරීම නිසා මුස්‌ලිම් කොන්ග්‍රසයේ සහ ජාතික සමඟි පෙරමුණේ මන්ත්‍රීවරු ආණ්‌ඩුවෙන් ඉවත්වී විපක්‍ෂයේ අසුන් ගත්හ. ආණ්‌ඩු බලය රැකගැනීම සඳහා ජනතා විමුක්‌ති පෙරමුණේ සහාය ලබා ගැනීමට ජනාධිපතිනියට සිදුවිය. එහෙත් ජ.වි.පෙ. සහාය දුන්නේ කොන්දේසි ඉදිරිපත් කරමිනි. ඔවුන්ගේ ප්‍රධාන කොන්දේසිය වූයේ කැබිනට්‌ මණ්‌ඩලය 20 දෙනකුට සීමා කළ යුතු බවයි. ඒ අනුව 20 දෙනකුගෙන් යුත් කැබිනට්‌ මණ්‌ඩලයක්‌ 2000 සැප්තැම්බර් 14 දා දිව්රුම් දුන් අතර ජවිපෙ එහි තනතුරු බාරගත්තේ නැත.

මෙහිදී කැබිනට්‌ ඇමැති තනතුරු අහිමිවී ගිය මහාචාර්ය ජී. එල්. පීරිස්‌, මහින්ද විඡේසේකර, විඡේපාල මැන්ඩිස්‌, බන්දුල ගුණවර්ධන හා ආරුමුගම් තොණ්‌ඩමන් යන මහත්වරුද මන්ත්‍රීවරුන් ලෙස සිටි බන්දුල පරාක්‍රම ගුණවර්ධන. එදිරිවීර ප්‍රේමරත්න, ජයසුන්දර විඡේකෝන්, ආනන්ද මුණසිංහ, සරත් මුණසිංහ, ලක්‍ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු එජාපයට එක්‌වූහ.

මෙම පක්‍ෂ මාරුවීම් ප්‍රතිපත්තිමය තීරණමත සිදුවූවක්‌ බව පිටතට පෙනුනද ඒ පසුපස ඉදිරි ආණ්‌ඩුවේ ඇමැති තනතුරු ලබාදීමේ පොරොන්දු මෙන්ම මිලියන ගණනක මුදල් බෙදාදී තිබූ බවටද ආරංචි පැතිර තිබිණි.

2005 ජනාධිපතිවරණයෙන් පසු එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුව 2010 වන විට පාර්ලිමේන්තුවේ 2/3 කට වැඩි බලයක්‌ හිමිකරගෙන තිබුණේ ඡන්දෙන් පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් නොව එජාපයෙන් එක්‌කරගනු ලැබූ මන්ත්‍රීවරුන් ගෙනි. මේ නිසා ඔවුන්ට ඇමැති, නියෝජ්‍ය ඇමැති තනතුරු දීම සඳහා ඇමැති මණ්‌ඩලය විශාල ලෙස පුළුල් කරන ලදී. සමහරුන්ට විවිධ වරදාන වරප්‍රසාද හා මුදල් ලැබුණු බවටද රාවයක්‌ තිබේ.

මෙයින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ මාරු කිරීමේ වැඩි හරියක්‌ සිදුවී තිබෙන්නේ ප්‍රතිපත්ති මත නොව මුදල්, තනතුරු, වරප්‍රසාද හා විවිධ වරදාන හේතුවෙන් බවයි.

Ö දයා ලංකාපුර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.