ජනපතිවරණයේ උණුසුමෙන් යාපනයත් ගිනියම් වෙයි·

දිගු නිහඬතාවයකට පසු පසුගිය දෙසැම්බර් 16 වැනිදා මුළු යාපනයම යළිත් වරක්‌ උණුසුම් විය. ඒ යාපනයේදී දිසාපති කාර්යාලය තුළ හටගත් දේශපාලන යුද්ධයක්‌ නිසයි. යාපනය දිස්‌ත්‍රික්‌කයේ සංවර්ධන කමිටු රැස්‌වීම මෙතරම්ම උණුසුම් වූයේ රටේම උණුසුම් වී තිබෙන ජනාධිපතිවරණයේ තවත් ප්‍රතිඵලයක්‌ ලෙසින්ම බව අමුතුවෙන් කිවයුතු නැත.

යාපනය දිසාපති අරුමෙයිනායගම් මහතා සිරිත් පරිදි සංවර්ධන කමිටු රැස්‌වීම ආරම්භ කළේ දිසාපති කාර්යාලය තුළදීමය. සියලුම දේශපාලන පක්‍ෂවල කණ්‌ඩායම් මේ අවස්‌ථාවට සහභාගි වන නිසා ඔහු මුලින්ම සියලු දෙනාටම කරුණු පැහැදිළි කළේය.

අද අපි පවත්වන්නේ යාපනය දිස්‌ත්‍රික්‌කයේ සංවර්ධන කමිටු රැස්‌වීමයි. රටේ සියලුම දෙනා මේ වන විට ජනාධිපතිවරණයක්‌ සඳහා දින නියම වී ඇති බව දන්නවා. මේ නිසා මේ රැස්‌වීමේදී කවුරුන් හෝ වේවා දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් කතා කිරීමෙන් වැළකී සිටින ලෙස මම ඉල්ලා සිටිනවා.

දිසාපතිවරයාගේ නීත්‍යානුකූල මෙන්ම අහිංසක ඉල්ලීමෙන් පසුව යාපනය දිස්‌ත්‍රික්‌කයේ සංවර්ධන කමිටු රැස්‌වීම ආරම්භ වුණා.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා පළාතේ සංවර්ධන කටයුතුවල ප්‍රගතියත් එම කටයුතුවලදී උද්ගත වී ඇති බාධාවනුත් එකින් එක විස්‌තර කළා. මේ ගැටලුවලට කෙසේ හෝ විසඳුම් සෙවීමට අවශ්‍ය බව කියමින් සභාවේ සිටි පිරිස දැනුවත් කරමින් ප්‍රධාන අමාත්‍යවරයා සිය කතාව කරගෙන යන අතරතුර ඩග්ලස්‌ දේවානන්දා අමාත්‍යවරයා නැගී සිටියේ කිසිවකු බලාපොරොත්තු නොවූ මොහොතකයි.

කඩදාසි ගොන්නක කළින් ලියන ලද ඩග්ලස්‌ දේවානන්දා අමාත්‍යවරයාගේ කතාවේ ආරම්භය වූයේ රජය උතුරු පළාතට සිදුකරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳවයි. නමුත් ඔහුගේ කතාව මැදට යන විට රජයේ සංවර්ධන කටයුතුවලට බාධා හෙළන ප්‍රධාන බලවේගය දෙමළ ජාතික සන්ධානය බව කියවුණා. එතනින් හමාර නොවූ ඩග්ලස්‌ දේවානන්දා අමාත්‍යවරයාගේ කතාවෙන් දෙමළ ජාතික සන්ධානය දැඩිලෙස විවේචනයට ලක්‌වුණා.

මේ අවස්‌ථාවේදී නැගී සිටි උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය එස්‌. අයින්කරන්නේෂන් මහතා -

දැන් දිසාපතිවරයා මතක්‌ කළා මේ රැස්‌වීමේදී දේශපාලන අරමුණු ගැන කතා කරන්න එපා කියලා. රජයේ හොඳ කිය කිය දෙමළ ජාතික සන්ධානයට මඩගහන එක හරිම වැරදියි. මේක දේශපාලන රැස්‌වීමක්‌ නෙමෙයි. ඇමැතිවරයා කවුරු වුණත් අපි මෙහෙම වෙනවට විරුද්ධයි. ඇමැතිතුමා... වහාම ඔය කතාව නවත්වන්න... කියමින් පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා නැගිට බෙරිහන් දුන්නේය.

අයින්කරනේෂන් අමාත්‍යවරයාට බාධා කළ ඊ.පී.ඩී.පී. සංවිධානයේ පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක්‌ද මෙහිදී කෑකෝ ගසන්නට වූහ. සභාව තුළ කිසිවක්‌ හරිහැටි නොඇසෙන නිසා උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා මයික්‍රෆොaනය අතට ගත්තේය.

මෙහෙම අනවශ්‍ය විදිහට කතා කරන එක වැරදියි. අපි මෙතන දේශපාලනය කතා කළේ නැහැ. අපි කතා කළේ සංවර්ධනය ගැනයි. ඒක නිසා ඩග්ලස්‌ දේවානන්දා ඇමැතිතුමා ආණ්‌ඩුව හොඳයි අපි වැරදියි කියලා කියන එක අසාධාරණයි. අපි සංවර්ධන කමිටු රැස්‌වීමට ගැලපෙන විදිහට කතා කරන්න ඕනේ...

සිවාජිලිංගම් මන්ත්‍රීවරයාට කීමට හැකි වූයේ එපමණකි.

තමුසෙ කවුද මයික්‌ එක අරගෙන අපේ ඇමැතිතුමාට බනින්න... ගන්නවා මෙහාට ඔය මයික්‌ එක යනුවෙන් කෑ ගසමින් අයෙකු සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ඉදිරියට පැමිණියේය.

එහෙත් සිවාජිලිංගම් මන්ත්‍රීවරයා කියා සිටියේ "ඔයා මේ සභාවේ කෙනෙක්‌ නෙමෙයි... මම ඇයි ඔයාට මයික්‌ එක දෙන්නේ...

සිවාජිලිංගම් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයත් සමගම ඒ දෙදෙනා පොරකෑවේ මයික්‍රෆොaනයටය. එවිටම ජලය පිරවූ වතුර බෝතලයක්‌ රැගෙන පැමිණි ඊ.පී.ඩී.පී. යේ තවත් අයකු ඉන් පහර දුන්නේ තවමත් කතා කරමින් සිටි අයින්කරනේෂන් පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයාටය.

මොහොතකින් යාපනය දිසාපති කාර්යලය තුළ එකම ගාලගෝට්‌ටියක්‌ ඇතිවිය. හරියට රගර් බෝලයකට පොරකන ක්‍රීඩකයන් රැලක්‌ මෙන් සියලු දෙනාම එකට පොර බදන්නට වූහ. සමහරක්‌ පොරකෑවේ ගුටිබැට හුවමාරුව වළක්‌වා ලන්නටය. තවත් අයෙක්‌ පොරකෑවේ ගුටියෙන් බේරෙන්නටය. මේ අතර අනෙක්‌ පිරිස උත්සාහ කළේ කාහට හෝ පහර දෙන්නටය. අවසානයේදී මේ ගැටුම දෙමළ ජාතික සන්ධානයත්, ඊ.පී.ඩී.පී. සන්ධානයත් අතර "ගෝරියක්‌" බවට පරිවර්තනය වීමට ගත වූයේ මිනිත්තු කීපයකි.

මහා රැළක්‌ එකතු වී එකිනෙකාට පහර දෙමින් මේ නැටූ විගඩම නතර කරන්නට එතැන සිටි පොලිස්‌ නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීය. නමුත් එක්‌ පොලිස්‌ නිලධාරියකු කළේ ලේ ගලමින් සිටි අයින්කරන්නේෂන් අමාත්‍යවරයාගේ ලේ පිසිමින් ඔහුව සභා ශාලාවෙන් ඉවතට රැගෙන යැමය.

ගුටිබැට හුවමාරුව අවසානයේදී ගණන් බලන විට ලොකු තුවාලකරුවන් සිටියේ තුන් දෙනෙකි. ඔවුන් සියලු දෙනාම දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයෝය. ගුටිබැට හුවමාරුව මැද සභා ශාලාවෙන් පිටව ගිය උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මේ බව පොලිසියට දන්වා තිබිණි.

මේ කලබලය ගැන දැනගත් විගස මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා පොලිසියට එරෙහිව කෑකෝ ගසන්නට විය. පහරදී පලායන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ඔහු පොලිසියට දොස්‌ නැගීය. කෙසේ වෙතත් මේ ආරවුල තවත් ආරවුලක්‌ බවට පරිවර්තනය වීමට ඉඩ නොදීමට වටේ සිටි පිරිස වගබලා ගත්හ.

ගුටිබැට හුවමාරුවෙන් මද වේලාවකට පසුව ඩග්ලස්‌ දේවානන්දා අමාත්‍යවරයා සිය කාර්යාලයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පවත්වනු ලැබීය. ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නම් ඊ.පී.ඩී.පී. සාමාජිකයන් පස්‌ දෙනකු තුවාල ලබා සිටියහ. නමුත් රෝහල් ගත වී සිටි ඊ.පී.ඩී.පී. සාමාජිකයන් ගැන නම් තොරතුරු අසන්නට නොවීය. එහෙත් ඩග්ලස්‌ දේවානන්ද අමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළ තුවාල ලැබූවන් පස්‌ දෙනකු වූහ. එතැනින් නතර නොවූ අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට තම දුක්‌ගැනවිල්ලද ඉදිරිපත් කළේය.

මේ පහරදීම ආරම්භ කළේ දෙමළ ජාතික සන්ධානයයි. ඔවුන් තමයි මේකට මුල්වුණේ. ඔවුන් හැමදාම හැසිරෙන්නෙ මෙහෙමයි. උතුරු පළාත් සභාව ඇතුළෙත් ගහගන්නවා. හැමදාම හැමතැනම අවුල් හදනවා. ඊට පස්‌සෙ එව්වා කාගේ හරි ඇඟේ පටවන එක තමයි එයාලගෙ වැඩේ.

මේ සැරේ සංවර්ධන කමිටු රැස්‌වීමේදී මම පළාතෙ සංවර්ධන කටයුතු ගැන කතා කරන්න හිටියෙ. ඒත් මේ ගුටිබැට හුවමාරුව නිසා රැස්‌වීම කල්දාන්න වුණා. මම මේ කමිටුවෙ සභාපති. ඉතින් මට සංවර්ධන කටයුතු ගැන කතා කරන්න බැරිනම් වැඩක්‌ නැහැනෙ. ආණ්‌ඩුව දෙන සල්ලිවලින් සංවර්ධන කටයුතු කරන්න ඉඩ නොදෙන්නෙ දෙමළ ජාතික සන්ධානය තමයි. උතුරු පළාත් සභාවෙ බලය එයාලට තිබුණට එයාලාට දෙන සල්ලිවලින්වත් වැඩ කරන්නෙ නෑ. ජනාධිපතිතුමා මේ ළඟදී කිළිනොච්චියට ආව වෙලාවෙත් මේ ගැන මතක්‌ කළා. දෙමළ ජාතික සන්ධානයට ඕනෙ දෙමළ මිනිස්‌සුන්ව කුලප්පු කරන්නයි.

මේ පහරදීමට පැමිණි අය අපේ ඊ.පී.ඩී.පී. සංවිධානයෙ මැරයො කියලා තමයි දෙමළ ජාතික සන්ධානයෙ අය කියන්නෙ. නමුත් එදා මෙතෙන්ට ඇවිල්ලා හිටිය සියලුම දෙනා අපේ දේශපාලන කටයුතු කරන අය. ගැටුම ඇති වුණෙත් දේශපාලනය නිසා. එයාලගෙ අයටත් තුවාලයි, අපේ අයටත් තුවාලයි. මේ ගැටුම අතරේ ප්‍රධාන අමාත්‍යවරයා සභා ශාලාවෙන් ඉවත්ව ගියා. එයා එහෙම කළ එකත් වැරදියි. අවසානෙදි මම දිසාපතිවරයාගෙන් මේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවා. දෙමළ ජාතික සන්ධානය වෙනුවෙනුත් සමාව ඉල්ලුවෙ මමයි.

ඩග්ලස්‌ දේවානන්දා අමාත්‍යවරයා යාපනයේ සංවර්ධන කමිටු රැස්‌වීමේදී පමණක්‌ නොව මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීත් රජයේ හොඳ කියමින් දෙමළ ජාතික සන්ධානයට දෙහි කපන්නට අමතක කළේ නැහැ.

යාපනයේ මාධ්‍යවේදීන්ට මේ දවස ඉතාමත් කාර්යබහුල දිනයක්‌ විය. ගුටිබැට හුවමාරුවේ ඡායාරූප පළකරන්නටත් ඒ ගැන විස්‌තර ලියන්නටත් කියන අතරතුර ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකටත් ඔවුන්ට සහභාගි වීමට සිදුවිය. මාධ්‍යවේදීන් පැමිණෙනතුරු ප්‍රවෘත්ති සාකච්ඡාව කල් දමන්නට දෙපාර්ශ්වයේ අයම කටයුතු කර තිබුණා.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණේ ඔහුගේ කාර්යාලයේදී. ඔහුන් විවිධ චෝදනා නගන්නට විය.

මේ පහරදීම ඉතාම සැලසුම් සහගත ලෙස කළ පහරදීමක්‌. මොකද වීදුරු බෝතල්වලට දාගෙන වතුර ගේන මෝඩයෝ දැන් ලෝකෙ කොහෙවත් නෑ. ඊ.පී.ඩී.පී. සංවිධානයේ සියලුම දෙනා එදා වතුර ගෙනැල්ලා තිබුණෙ වීදුරු බෝතල්වල. අමතක වීමකින් හරි බැරිවීමකින් හරි එක්‌කෙනෙක්‌ එහෙම කරන්න පුළුවන්. ඒත් අන් ඔක්‌කොම අය වීදුරු බෝතල්වල වතුර ගේන්නේ නෑනෙ. පොලු මුගුරු අරගෙන එන්න බැරි නිසා තමයි ඔවුන් එහෙම කළේ.

අනෙක්‌ කාරණය තමයි මේ පහරදීමට මැදිවුණු අය ඊ.පී.ඩී.පී. සංවිධානයේ දේශපාලනය කරපු අය නොමෙයි. ඔවුන් එක එක අය ළඟ ඉන්න තරුණයෝ. සිවාජිලිංගම් මන්ත්‍රීවරයාගෙන් මයික්‌ එක උදුරගන්න උත්සාහ කළෙත් අයින්කරනේෂන් ඇමැතිවරයාට පහර දුන්නෙත් එහෙම අය තමයි. පොලිසිය මේ තත්ත්වය පාලනය කළ නිසා තමයි අනතුරු අඩුවුණේ. ඒත් හේ ඇමැතිවරයකුයි මන්ත්‍රීවරු දෙන්නෙකුයි තුවාල වුණා.

සංවර්ධන කමිටු රැස්‌වීමේදී දේශපාලනය ඔස්‌සේ තමන්ගෙ අරමුණු ඉෂ්ඨ කරගන්න යැම නිසා තමයි මෙහෙම වුණේ. මොකද ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා පැරදුණොත් ඊ.පී.ඩී.පී. සංවිධානයේ අයට පවතින්න බෑ. ඩග්ලස්‌ දේවානන්දා කියන චරිතයත් නැතුව යනවා. මේ අය මිනිසුන්ට කළ දේවල් මිනිස්‌සු දන්නවා. බලයක්‌ නැතිවුණු ගමන් මිනිස්‌සු මේ අයට ගහයි. මේක දන්න නිසා තමයි ඊ.පී.ඩී.පී. නායකතුමා ඇතුළු සියලු දෙනාම මොනව හරි බොරු කියලා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාව දිනවන්න උත්සාහ කරන්නේ එදා වුණෙත් එහෙම දෙයක්‌.

දිසාපතිවරයා මුලින්ම කිව්වා දේශපාලන වාසි වෙනුවෙන් කතා කරන්න එයා කියලා. අපි කවුරුවත් එහෙම කළේ නැහැ. ඉතිං ඩග්ලස්‌ ඇමැතිතුමාටත් එහෙම අයිතියක්‌ නෑ. ඒක තමයි අපි විරුද්ධ වුණේ. විරුද්ධ වෙනකොට අපේ අයට ගැහුවා. මම ශාලාවෙන් පිටවෙලා ගියේ පොලිසිය වහාම කැඳවන්න. මම එතනදී නීතිHdනුකූලව කටයුතු කළා.

ප්‍රධාන අමාත්‍යවරයා තවත් බොහෝ දේ මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළත් දකුණේ මෙන්ම උතුරේ පවත්වන්නෙත් වෛරය, ක්‍රෝධය පෙරදැරි කරගත් දේශපාලනයක්‌ බව මේ සිද්ධියත් සමගම ඉතාම පැහැදිළි වුණා. මිනිස්‌සුන්ට සේවය කිරීමට කියමින් මැතිවරණ සටන් පාඨ ලියාගෙන කවුරු දේශපාලනයට ගියත් ඔවුනොවුන් පිරිමසාගන්නේ ඔවුනොවුන්ගේ අවශ්‍යතා මිස රටේ මිනිස්‌සුන්ගේ අවශ්‍යතා නොවන බව ඉතාම පැහැදිළිය. යාපනයේදී මේ දෙපිරිස ගුටිබැට හුවමාරු කරගත්තේද තමන්ගේ දේශපාලනය සඳහා මිස රටේ මහජනතාවගේ පොදු ප්‍රශ්නයක්‌ නිසා නම් නොවේ.

යාපනයේ බොහෝ දෙනකු එදා කිව්වේ "ඕකුන් සේරම ගහගෙන මැරිලා ගියානම් තමයි හොඳ" යනුවෙනි. ඒ යාපනයේ සාමාන්‍ය ජනතාවට ඇත්ත තේරුම් ගොස්‌ ඇති නිසයි. නමුත් මේ පහරදීම් සම්බන්ධව කිසිවකු හෝ මෙතෙක්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නොතිබීම රටටම ප්‍රශ්නයකි.

දිනසේන රතුගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.