ශ්‍රී ලංකාවේ ජනපතිවරණ වංශ කතාවේ 36 වසරක පසු විපරමක්‌...

වර්ෂ 1815 දී අත්සන් කරනු ලැබූ කන්ද උඩරට ගිවිසුමත් සමග අප රටේ දීර්ඝ කාලයක්‌ පුරා පැවත ආ රාජාණ්‌ඩු ක්‍රමය නිමාවට පත් විය. එතැන් පටන් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ පූර්ණ යටත්විජිතයක්‌ විය. 1948 දී අපි කිසිදු ලේ වැගිරීමකින් තොරව නිදහස ලැබූ අතර 1947 සිට ඩොනමෝර් ආණ්‌ඩුක්‍රමය ක්‍රියාත්මක විය. ඩොනමෝර් ආණ්‌ඩුක්‍රමය අප රට තුළ වසර 25 ක කාලයක්‌ ක්‍රියාත්මක විය. 1972 වර්ෂයේදී නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ අප රටට හඳුන්වාදෙනු ලැබීය. එහිදී පාර්ලිමේන්තුවට වගකියනු ලබන පූර්ණ බලය සහිත අගමැතිවරයකු පත් වූ අතර ජනාධිපතිවරයා නාමමාත්‍ර පදවියකට සීමා විය. එම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවද 1978 දක්‌වා වූ වර්ෂ 6 ක්‌ පුරාවට අප රට තුළ ක්‍රියාත්මක විය. 1978 වර්ෂයේදී නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්මත වූ අතර එම ව්‍යවස්‌ථාව මගින් පූර්ණ විධායක බලතලවලින් යුත් ජනාධිපති තනරතුක්‌ ඇති කරනු ලැබුවේය. මෙම විධායක ජනපති ක්‍රමය අද දක්‌වා අවු. 36 ක්‌ පුරාවට ක්‍රියාවට නැන්විණි.

විධායක බලැති ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ප්‍රථම ජනාධිපතිවරණය පවත්වනු ලැබුවේ 1982 ඔක්‌තෝබර් මස 20 වැනිදාය. නාම යෝජනා භාර ගැනීම 1982 සැප්තැම්බර් මස 17 වෙනිදායින් අවසන් විය. නාම යෝජනා භාරගනු ලැබ මසකට අඩු දින ගණනකදී මැතිවරණය පවත්වනු ලැබීය. ප්‍රථම ජනාධිපතිවරණය සඳහා මැතිවරණ අපේක්‍ෂකයෝ 6 දෙනකු තරග කරනු ලැබීය. එනම් ඡේ. ආර්. ජයවර්ධන, හෙක්‌ටර් කොබ්බෑකඩුව, රෝහණ විඡේවීර, ජී. ජී. පොන්නම්බලම්, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා හා වාසුදේව නානායක්‌කාර යන මහත්වරුය. ඡේ. ආර්. ජයවර්ධන මහතා ඡන්ද තිස්‌හතර ලක්‍ෂ පනස්‌දාස්‌ අටසිය එකොළහක්‌ ලබමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ලැබීය. (34,50,811) මෙය ප්‍රතිශතයක්‌ වශයෙන් ගත් කල 52.91% විය. ජයවර්ධන මහතාගේ ප්‍රතිවාදියා වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් තරග කරනු ලැබූ හෙක්‌ටර් කොබ්බෑකඩුව මහතා ලබාගනු ලැබූ ඡන්ද ප්‍රමාණය වූයේ ඡන්ද විසිපන් ලක්‍ෂ හතළිස්‌අටදාස්‌ හාරසිය තිස්‌අටකි. ඔහු ලබාගත් ප්‍රතිශතය වූයේ 39.07% කි. රෝහණ වීඡේවීර මහතා ලබාගත් ඡන්ද ප්‍රමාණය වූයේ ඡන්ද 2,73,428 කි. එහි ප්‍රතිශතය වූයේ 4.19% කි. ජී. ජී. පොන්නම්බලම් මහතා ඡන්ද 173,934 ලබාගත් අතර ප්‍රතිශතයක්‌ වශයෙන් ගත්කල 2.67% කි. කොල්වින් ආර්. ද සිල්වා මහතා ඡන්ද 58,531 ලබාගත් අතර, වාසුදේව නානායක්‌කාර මහතාට ඡන්ද 17,005 ක්‌ හිමිවිය.

දෙවැනි ජනාධිපතිවරණය පවත්වනු ලැබුවේ වර්ෂ 1988 දෙසැම්බර් 19 වැනිදාය. දේශපාලන පක්‍ෂ 3 ක්‌ මේ සඳහා තරග කරනු ලැබීය. එනම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය, එක්‌සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා මහජන පක්‍ෂයයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය වෙනුවෙන් සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියද, එක්‌සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් ආර්. ප්‍රේමදාස මැතිතුමාද ශ්‍රී ලංකා මහජන පක්‍ෂය වෙනුවෙන් ඔසී අබේසේකර මහතාද තරග කරනු ලැබීය. ආර්. ප්‍රේමදාස මහතා ඡන්ද විසිපන් ලක්‍ෂ හැටනවදාස්‌ එකසිය අනූනවයක්‌ (25,69,199) ලබා ගනිමින් ජනපතිවරණය ජයග්‍රහණය කරනු ලැබීය. එම ඡන්ද ප්‍රමාණය ප්‍රතිශතයක්‌ වශයෙන් ගත් කළ 50.43% කි. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ලබාගත් ඡන්ද සංඛ්‍යාව වූයේ ඡන්ද විසිදෙලක්‍ෂ අසූනවදාස්‌ නවසිය හැටකි. (22,89,960) එය ප්‍රතිශතයක්‌ වශයෙන් ගත් කළ 44.95% ක්‌ වේ. ඔසී අබේගුණසේකර මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 235,719 කි. එය ප්‍රතිශතයක්‌ වශයෙන් ගත් කල 4.63% කි.

මෙතෙක්‌ පැවැති ජනපතිවරණයන් අතුරින් ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ඉතා අවම මට්‌ටමක පැවැති ජනාධිපතිවරණය මෙය විය. ජනතා විමුක්‌ති පෙරමුණේ භීෂණය හා උතුරු නැගෙනහිර පැවැති යුද්ධම වාතාවරණය මෙයට හේතුවිය. ප්‍රේමදාස ජනපතිතුමාට තම ධුර කාලය සම්පූර්ණ කිරීමට නොහැකි විය. ඊට හේතුවූයේ 1993 මැයි පළමු වැනිදා කොළඹ ආමර්වීදියේ මැයි පෙළපාලිය සංවිධානය කරමින් සිටියදී මරාගෙන මැරෙන කොටි ත්‍රස්‌තවාදී ප්‍රහාරයකින් මිය යාමයි. ව්‍යවස්‌ථාවට අනුව ජනාධිපතිවරයා හදිසියේ මියගියහොත් ජනාධිපති ධුරයේ වැඩ බැලීමට පත් වනුයේ අග්‍රාමාත්‍යවරයාය. ඒ අනුව වසරකට අධික කාලයක්‌ විධායක ජනාධිපතිවරයකු ලෙස කටයුතු කිරීමේ වාසනාව ඩී. බී. විඡේතුංග මහතාට හිමිවිය.

1994 නොවැම්බර් මස 9 දිනට ජනාධිපතිවරණය සඳහා දින නියම විය. එක්‌සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා වූයේ ගාමිණී දිසානායක මහතාය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ පොදුජන එක්‌සත් පෙරමුණේ ජනපති අපේක්‍ෂකයා වූයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. 1994 නොවැම්බර් 24 වැනිදා තොටළඟ ප්‍රදේශයේ එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රචාරක රැලියක්‌ පැවැත්විය. ඊට පක්‍ෂයේ ප්‍රධාන පෙළේ නායකයන් රැසක්‌ සහභාගි විය. ත්‍රස්‌තවාදීන් විසින් එල්ල කරනු ලැබූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ගාමිණී දිසානායක, වීරසිංහ මල්ලිමාරච්චි, ජී. එච්. ප්‍රේමචන්ද්‍ර වැනි ප්‍රධාන පෙළේ නායකයන් කිහිප දෙනෙක්‌ ඝාතනයට ලක්‌විය. ඉන්පසු ජනපති තරගයට දිසානායක මහතාගේ වැන්දඹු බිරිඳ වන වජිර ශ්‍රීමති දිසානායක මහත්මිය තරග කරනු ලැබීය.

1994 ජනපතිවරණය ලෝක වාර්තා පිහිටුවූ ජනපතිවරණයක්‌ විය. එනම් ලොව ප්‍රථම විධායක ජනපතිනිය වීමේ ගෞරවය චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියට හිමිවිය. ඡන්ද හතළිස්‌ හත් ලක්‍ෂ නවදාස්‌ දෙසියපහක්‌ (47,09.205) ලබාගත් ඇය වාර්තා කළ ප්‍රතිශතය වූයේ 62.28% කි. මෙය මෙතෙක්‌ පැවැති ජනපතිවරණයකදී වාර්තා කළ වැඩිම ඡන්ද ප්‍රතිශතය විය. එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග කළ ශ්‍රීමා දිසානායක මහත්මියට ලබාගත හැකි වූයේ ඡන්ද විසිපන් ලක්‍ෂ පහළොස්‌දාස්‌ දෙසිය අසූතුනකි. එහි ප්‍රතිශතය වූයේ 35.91% කි.

1999 වර්ෂයේදී පවත්වනු ලැබූ ජනපතිවරණයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ පොදු පෙරමුණෙන් නැවත වරක්‌ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය තරග කළ අතර එක්‌සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් තරග කරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මහතාය. 1999 පැවැත්වූ ජනපතිවරණය වැඩිම අපේක්‍ෂක සංඛ්‍යාවක්‌ තරගකරනු ලැබූ ජනපතිවරණය විය. පිළිගත් දේශපාලන පක්‍ෂ 10 ක්‌ හා ස්‌වාධීන කණ්‌ඩායම් තුනක්‌ තරග කරනු ලැබීය. ප්‍රධාන පක්‍ෂ දෙකට අමතරව ජනතා විමුක්‌ති සහයෝගිතා පෙරමුණ, ශ්‍රී ලංකා මුස්‌ලිම් කච්චි බහුජන නිදහස්‌ පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එජා පෙරමුණ, ජනතා විමුක්‌ති පෙරමුණ, ලිබරල් පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික සන්ධානය, සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්‍ෂය යන පක්‍ෂ තරග කරනු ලැබීය.

මෙම ජනපතිවරණයේදී ජනපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක සහභාගි වූ ප්‍රචාරක රැලියකට (කොළඹ පුරහල භූමිය) කොටි ත්‍රස්‌තයන් විසින් එල්ල කරනු ලැබූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් යන්තමින් දිවි ගලවා ගනු ලැබීය. මෙම ප්‍රහාරයෙන් ඇයගේ එක්‌ ඇසක්‌ අහිමිවිය. මෙම ප්‍රහාරයෙන් යම්කිසි දේශපාලනමය වාසියක්‌ ඇයට අත්වුවද 1994 ජනපතිවරණය මෙන් වැඩි ප්‍රතිශතයකින් 1999 පැවැත්වූ ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට ඇයට නොහැකි විය. චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියට ගතහැකි වූයේ ඡන්ද හතළිස්‌ තුන්ලක්‍ෂ දොළොස්‌දාස්‌ එකසියපනස්‌ හතකි. (43,12,157) එය ප්‍රතිශතයක්‌ වශයෙන් ගත් කල 51.12% කි. රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද තිස්‌හය ලක්‍ෂ දෙදහස්‌ හත්සිය හතළිස්‌ අටකි. (36,02,748 කි) ප්‍රතිශතයක්‌ වශයෙන් ගත්කල 41.71% කි. ජනතා විමුක්‌ති පෙරමුණ ඡන්ද 344,373 ක්‌ ලබාගත් අතර එය ප්‍රතිශතයක්‌ වශයෙන් ගත් කල 1% කි. ජනතා විමුක්‌ති පෙරමුණේ ජනපති අපේක්‍ෂකයා වූයේ නන්දන ගුණතිලක මහතාය.

1999 මැතිවරණයේදී ජනතා විමුක්‌ති පෙරමුණ හැරුණු විට වෙනත් කිසිදු සුළු පක්‍ෂයකට 1% ඡන්ද ප්‍රතිශතයකට ළඟා වීමට නොහැකි විය. 2005 වර්ෂයේ නොවැම්බර් 17 වන දින පවත්වනු ලැබූ ජනපතිවරණය සඳහා ප්‍රධාන පක්‍ෂ දෙකෙන් ඉදිරිපත්වූ අපේක්‍ෂකයන් වූයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතාය. එක්‌සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාය. මෙම ජනපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා ඡන්ද හතළිස්‌අට ලක්‍ෂ අසූහත්දාස්‌ එකසිය හැටදෙකක්‌ (48,87,162) ලබා ගනිමින් ජනපතිවරණය ජයග්‍රහණය කරනු ලැබීය. එහි ප්‍රතිශතය වූයේ 50.29% ක්‌ය. විපක්‍ෂයේ ප්‍රධාන තරගකරු වූ රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද හතළිස්‌හත් ලක්‍ෂ හයදාස්‌ තුන්සිය හැටහයකි. (47,06,366) එය ප්‍රතිශතයක්‌ වශයෙන් ගත් කල 48.43% කි.

2010 ජනපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම 2009 වර්ෂයේ දෙසැම්බර් 17 වන දින සිදුවිය. ජනපතිවරණය පවත්වනු ලැබුවේ 2010 වර්ෂයේ ජනවාරි 26 වන දිනදීය.

මෙහිදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයකු ලෙස සරත් ෆොන්සේකා මහතා ජනපතිවරණයට ඉදිරිපත් වූ අතර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතා නැවත ඉදිරිපත් විය.

මෙහිදී විශේෂත්වය වූයේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමට හමුදාමය නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතා විරුද්ධ පක්‍ෂයේ ජනපති අපේක්‍ෂකයා වීමයි. මෙම ජනපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා ඡන්ද හැටලක්‍ෂ පහළොස්‌දාස්‌ නවසිය තිස්‌හතරක්‌ (60,15,934) ලබාගත් අතර එහි ප්‍රතිශතය වූයේ 57.88 කි. සරත් ෆොන්සේකා මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව වූයේ ඡන්ද හතළිස්‌ එක්‌ලක්‍ෂ හැත්තෑතුන්දාස්‌ එකසිය අසූපහකි. එය ප්‍රතිශතයක්‌ වශයෙන් ගත්කල 40.15% කි.

දෙවැනි වරටත් ජනපති වූ මහින්ද රාජපක්‍ෂ මහතා වර්ෂ 2010 සැප්තැම්බර් මස අටවෙනිදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත විය. ඒ අනුව ජනපතිවරයාට ජනපතිවරණය සඳහා දෙවරකට වඩා වැඩි වාර ගණනක්‌ ඉදිරිපත් වීමේ බාධකය ඉවත්කරනු ලැබීය. ඒ අනුව තුන්වන වරටත් වර්ෂ 2015 ජනවාරි මස 8 වැනිදා පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා තරගකිරීමේ අවස්‌ථාව මහින්ද රාජපක්‍ෂ මහතාට හිමිවනු ඇත. මෙවරද ජනපතිවරණය සඳහා විපක්‍ෂයෙන් ඉදිරිපත් වනුයේ පොදු අපේක්‍ෂකයකුය. ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතාය. මෙවරද කැපී පෙනෙන ලක්‍ෂණය වනුයේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ කැබිනට්‌ මණ්‌ඩලයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ වසර 13 ක්‌ පුරාවට මහලේකම්වරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ ප්‍රතිවාදියා වීමයි.

Ö නිහාල් අබේරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.