ඩාවුඩ්ගේ ලිපියෙන් අතීතයට කැඳවීමක්‌

මුස්‌ලිම් කොංග්‍රස්‌ ඇමැති සෙව් ඩාවුඩ් මහතා විසින් ජනාධිපතිතුමා වෙත ලියන ලද අනුවේදනීය ලිපිය කියවූ විට මගේ සිහියට නැගුණේ මීට වසර හැටකට පෙර (1954) ඇතිවූ දේශපාලන සිද්ධියකි.

එම වසරේ කොළඹ නගරාධිපති පදවියට පත්වූයේ සම සමාජ පක්‌ෂ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාය. එක්‌සත් ජාතික පක්‌ෂයේ අපේක්‌ෂක වී. ඒ. සුගතදාස මහතා පරදවා ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා ජයගන්නේ එක්‌ වැඩි ඡන්දයකිනි.

මාස කිහිපයක්‌ ගතවන විට වාමාංශික පක්‌ෂයේ එක්‌තරා මන්ත්‍රීවරයෙක්‌ කළ නොහොබිනා ක්‍රියාවක්‌ නිසා පොලිසියේ විමර්ශනයට භාජන විය. ඒ මන්ත්‍රීවරයා සුගතදාස මන්ත්‍රීවරයා වෙත ගොස්‌ මේ ප්‍රශ්නයෙන් ඔහු මුදාගෙන ගොස්‌ එක්‌සත් ජාතික පක්‌ෂයට එක්‌වන බව ප්‍රකාශ කළේය.

වහාම ක්‍රියාත්මක වූ සුගතදාස මහතා අගමැති සර් ජෝන් කොතලාවල මහතාට කතා කොට පොලිස්‌ විමර්ශන අත්හිටුවීය. පසුවදාම එජාප මන්ත්‍රීවරු නගරාධිපතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්‌ ඉදිරිපත් කළහ.

එම යෝජනාව පිළිබඳ විවාදයේදී හැව්ලොක්‌ ටවුන් කොට්‌ඨාසය නියෝජනය කළ එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රී ඩී. එන්. ඩබ්ලිව්. සිල්වා මහතා දුක්‌මුසු ස්‌වරයෙන් කළ කතාව අදත් සිහිපත් කිරීම වටී.

එම කතාවේ අදාළ කොටස මෙසේය.

අද කොළඹ නගරයේ නගරාධිපති පදවිය දරන්නේ නගර ඉතිහාසයේ අපට ලැබුණු හොඳම නගරාධිපතිවරයායි. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා අපේ නගරයේ හොඳම පුරවැසියායි. අද මට ඉතා කනගාටුදායක දිනයකි. මේ අපේ හොඳම නගරාධිපතිවරයාට විරුද්ධව මගේ ඡන්දය පාවිච්චි කිරීමට සිදුව ඇත්තේ පක්‌ෂ දේශපාලනයේ විනය පිළිගැනීමට සිදුව ඇති බැවිනි. මා මේ ක්‍රියාව කරන්නේ මාගේ හිතට එකඟව නොවේ.

ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා විශ්වාසභංග යෝජනාවේදී එක්‌ ඡන්දයකින් පරාජය විය. සුගතදාස මහතා නගරාධිපති වශයෙන් තේරී පත්විය.

කෙසේ වුව ද ඊට වසර එකහමාරකට පසුව 1956 මැතිවරණයේදී මැද කොළඹ ආසනයෙන් තරග කළ සුගතදාස මහතා අන්ත පරාජයක්‌ ලැබුවේය.

සේව් ඩාවුඩ් මහතාගේ ලිපිය කියවන විට මෙම සිද්ධිය මාගේ මතකයට නැගුණේය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

එස්‌. පියසේන විසිනි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.