එයාර් ඒෂියා යානාව "කළු අත" කල්ලිය විනාශ කළා

- චීන අන්තර්ජාල අඩවි මෙහෙයුම්කරුවෙක්‌


* මළ සිරුරු 6ක්‌ හා සුන්බුන් හමුවෙයි

* එයාර් ඒෂියා යානාව චණ්‌ඩ මාරුත කළු ෆැක්‌ටරිය නමැති අවදානම් කලාපය හරහා පියාසර කළා

* යානාවේ වේලාව සංශෝධනය කිරීම නිසා ඉන්දුනීසියානු රූ රැජිනගේ දිවි ගැලවේ.

* එයාර් ඒෂියා යානාව අඩි 100 ක්‌ මුහුදු පත්ලේ


දින තුනක්‌ ගතවී ඇතත් එයාර් ඒෂියා යානාව මෙතෙක්‌ සොයා ගැනීමට නොහැකි වී ඇත. එහෙත් යානාවේ හදිසි දොරටුවක්‌ බවට සැලකෙන දොරටුවක්‌ ඇතුළු සුන්බුන් කොටස්‌ 10 ක්‌ ඊයේ උදේ නිරීක්‍ෂණ ගුවන් යානාවක්‌ විසින් සොයාගෙන තිබේ. මේ යානාව අතුරුදන් වී ඇත්තේ චණ්‌ඩ මාරුත කම්හල (Thunder Storm Factory) නමින් හඳුන්වන කලාපයේයි. ඉන්දුනීසියානු බලධාරීන් පවසන්නේ එයාර් ඒෂියා යානාව මුහුදු පත්ලේ ඇති බවයි. මගින් 162 ක්‌ රැගත් මෙම එයාර් බස්‌ යානාව අතුරුදන් වීමට පෙර අනතුරු අඟවන සංඥවක්‌ නිකුත් කර නැත.

එයාර් ඒෂියා යානාව පියාසර කළේ චණ්‌ඩමාරුත කම්හල නමින් හඳුන්වන කලාපය හරහා වූවත් මෙම කලාපය හරහා යැම පළපුරුදු නියමුවන් ප්‍රතික්‍ෂේප කර තිබූ බවද වාර්තා විය.

මෙම යානාව ඇති තැන සොයා ගැනිමේ අධි තාක්‍ෂණික උපකරණ සවි කර නොතිබූ බවද වැඩිදුරටත් සිදු කළ විමර්ශනවලින් හෙළි වී ඇත. මේ අතර පසුගිය දෙසැම්බර් 15 දා චීන බ්ලොග් අඩවි මෙහෙයවන්නකු අනතුරු අඟවමින් පැවසුවේ "කළු අත" නමැති කල්ලිය මගින් එයාර් ඒෂියා යානාවක්‌ බිම දැමීමට ක්‍රියා කරන බවයි.

මේ කළුඅත කල්ලිය කවුරුන්දැයි මෙතෙක්‌ හෙළි වී නැත.

එම්. එච්. 376 සහ එම් එච් 17 යානා පවා වැනසීමට කළු අත කල්ලිය සම්බන්ධයි. දැන් ඔවුන් එයාර් ඒෂියා යානාවක්‌ වැනසීමට සැලසුම් කරනවා යෑයි එම චීන බ්ලොග් අඩවි මෙහෙයවන්නා අනතුරු අඟවමින් පවසා තිබේ. එහෙත් දෙසැම්බර් 17 දායින් පසු එම බ්ලොග්a අඩවි මෙහෙයවන්නා නිහඬ වී ඇත.

මෙම එයාර් ඒෂියා යානාවේ ඉන්නීසියානු රූ රැජින වූ ඇන්ගි මනෙස්‌වි ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයන් දසදෙනකු සිංගප්පූරුවට යැමට සූදානම් වී සිටි බවද අනාවරණය වේ.

එහෙත් යානාව ගමන් අරඹන නියමිත වේලාව පැය දෙකක්‌ කලින් සඳහන් වී තිබීම නිසා ඇය සහ පවුලේ අයගේ දිවි ගැලවුණි.

ඉන්දුනීසියානු රූ රැජින ඇතුළු පිරිස සුරබයා ගුවන්තොටුපළට එනවිට එයාර් ඒෂියා යානාව පිටත් වී තිබිණි.

ඒ සමගම ගුවන්තොටුපලේ නිලධාරියකු ඇයට පවසා ඇත්තේ යානාව පිටත්වී විනාඩි 42 කට පසු අතුරුදන්වී ඇති බවයි.

ඇමරිකාව ඇතුළු රටවල් රැසක්‌ එයාර් ඒෂියා යානාව සොයාගැනීම සඳහා මෙහෙයුම් කීපයක්‌ දියත් කර තිබේ. එහෙත් මැලේසියානු යානාවට මෙන් එයාර් ඒෂියා යානාවටත් සිදුවූ දේ සොයාගැනීමට නොහැකිවනු ඇති බවට යානාවේ ගමන් කළ මගීන්ගේ ඥතීහු සැක කරති.

මෙම යානාව මීටර් 100 ක්‌ ගැඹුරු මුහුදේ ඇතැයි සැක කෙරේ. නැව් 30 ක්‌ හා ගුවන් යානා 15 ක්‌ මෙම යානාව සෙවීමට යොදවා ඇතත් අයහපත් දේශගුණික තත්ත්වය නිසා නිරීක්‍ෂක කටයුතු අඩපණ වී ඇත.

2009 වසරේදී මගීහු 102 ක්‌ රැගත් ඉන්දුනීසියා ඇඩැම් එයාර් යානාව ඉන්දුනීසියාවේ සුලාවෙයි දූපත අසළ මුහුදට කඩා වැටී තිබියදි හමු විය. එම යානාවේ කළුපෙට්‌ටිය සොයාගනු ලැබුවේ ඇමරිකානු රොබෝ යාත්‍රාවක්‌ මගිනි.

මේ අතර එයාර් ඒෂියා යානාවේ හිමිකරු ටෝනි පර්ඩිනැන්ඩස්‌a සුරබයා නගරයට පැමිණ ඇත. ඔහු 2001 දී ගුවන් යානා දෙකකින් යුත් එයාර් ඒෂියා ගුවන් සමාගම මැලේසියානු හයිකොට්‌ සමාගමින් මිලයට ගෙන ඇත්තේ මැලේසියානු රින්ගිට්‌ එකකටය. එකළ මැලේසියානු රින්ගිට්‌ එකක මිල ශත පණහකි.

එහෙත් ටෝනි පර්ඩිනැන්ඩස්‌a මැලේසියාවේ සිටින 28 වැනි කෝටිපතියා බවට පත්වී ඇත. ඔහුගේ ආදායම ඩොලර් මිලියන 850 කි.

එයාර් ඒෂියා සමාගම ලාබදායී ගුවන් ප්‍රවේශපත්‍ර සපයන ආයතනයක්‌ බවට පත් කිරීමට ටෝනි පර්ඩිනන්ඩස්‌a ක්‍රියා කළේය.

මේ පසුබිම මැද යානාව අතුරුදන් වූ ප්‍රදේශයේ විශාල තෙල් පැල්ලම් දෙකක්‌ දක්‌නට ලැබීම නිසා නිරීක්‍ෂණ නැව් කීපයක්‌ ජාවා මුහුදු කලාපය වෙත පිටත්ව ගොස්‌ තිබේ.

මේ අතර අලුත්ම ආරංචි මාර්ග දක්‌වන්නේ එයාර් ඒෂියා යානාවේ නියමුවා අඩි 3200 සිට 38000 දක්‌වා ඉහළ නැංවීම සඳහා කළ ඉල්ලීමට ඉන්දුනීසියා පාලක මන්දිරය අවසර දී නැත්තේ තවත් යානාවක්‌ ඉන්දුනීසියාව බලා පැමිණෙන නිසාය.

එයාර් ඒෂියා යානාව පියාසර කළ මාර්ගයේ චණ්‌ඩ මාරුතයක්‌ හටගත් බවද වාර්තා විය. නිල් හැන්ස්‌පෝඩ් නමැති ගුවන් යානා සමාගම් ප්‍රධානියා පවසන්නේ එයාර් ඒෂියා යානාව චණ්‌ඩ මාරුත කම්හල නමැති ප්‍රදේශය හරහා පියාසර කිරීමට ඔවුහු ක්‍රියා කර ඇති බවයි.

ගුවන් යානා රැසක්‌ මෙම අවදානම් කලාපය මගහැර පියාසර කරනවා යෑයි ඔහු කියා සිටියේය.

මේ නිසා මගීන් 162 ක්‌ රැගත් එයාර් ඒෂියා යානාවට සිදුවූයේ කුමක්‌ද යන්න ගැන දැන් සැකයක්‌ මතුවී ඇත. ඊයේ දහවල් වන විට ඇමරිකානු පී 3 යානාවක්‌ විසින් එයාර් ඒෂියා යානාවේ හදිසි දොරටුව යෑයි සැලකෙන කොටසක්‌ සහ තවත් කොටස්‌ කිහිපයක්‌ ම දැක ඇති බවට වාර්තා විය.

 කීර්ති වර්ණකුලසූරිය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.