"ටීඑන්ඒ" මෛත්‍රීට

දයා ලංකාපුර

මෙවර ජනාධිපතිවරණයේ දී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) ඊයේ (30 වැනිදා) එක්‌විය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනා ඇතුළු පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ හා ක්‍රියාකාරීන්ගේ පූර්ණ සහයෝගය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන බව එම සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා ඊයේ

(30 දා) කොළඹ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.

ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාගේ ප්‍රතිපත්ති ගැඹුරින් සළකා බලා තම සන්ධානයේ හවුල්කාර පක්‍ෂවල නායකයන් හා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේද අදහස්‌ විමසීමෙන් පසු මෙම තීරණය ගත් බව හෙතෙම ඊයේ (30 දා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

"ඒකාධිපතිත්වය පරදවා යළිත් ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීමට සිය දහස්‌ ගණනින් ජනතාව විරුද්ධ පක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා වටා එක්‌වනවා. හංසයා ලකුණට ඡන්දය දී ඔහු දිනවන ලෙස සියලු ජන කොටස්‌වලින් දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටිනවා" යයිද ඒ මහතා කීය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩෙක්‌කලනාදන්, සිවශක්‌ති ආනන්දන්, එම්. ඒ. සුමන්දිරන් සහ ප්ලොට්‌ සංවිධානයේ නායක උතුරු පළාත් සභා මන්ත්‍රී ඩී. සිද්ධාර්ථන් යන මහත්වරුද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූහ.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට සම්බන්ධන් මහතා සහ සුමන්දිරන් මහතා මෙසේ පිළිතුරු දුන්හ.

ප්‍ර. (- දෙමළ ජාතික සන්ධානය 2001 මැතිවරණයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉදිරිපත් කළ අපේක්‍ෂකයන්ට උදව් දුන්නා. 2005 දී ජනාධිපතිවරණ ඡන්දය වර්ජනය කරන ලෙස උතුරු නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලුවා. 2010 ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතාට සහාය දුන්නා. මෙවර මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දෙනවා. මොකක්‌ද ඔබේ පක්‍ෂයේ ප්‍රතිපත්තිය?

සම්බන්දන් මහතා - ලෝකයේ හැමදේම කාලයෙන් කාලයට වෙනස්‌ වෙනවා. 2001 දී උතුරේÊඑල්ටීටීඊ ය බලවත්. එකල ආණ්‌ඩුවත් විපක්‌ෂයත් ඔවුන් සමග සාකච්ඡා කළා. 2005 දීත් ඔවුන් ජනාධිපති ඡන්දය වර්ජනය කරන ලෙස ඉල්ලුවා. ජනතාවගේ ඉල්ලීම ඉටු නොකර බැරිවුණා. ඉන්පසු ජනතාවට තීරණ ගැනීමට නිදහස දැන් තිබෙනවා. අපි මෙවර තීරණයක්‌ ගත්තේ වර්තමාන තත්ත්වය ගැන සළකා බැලීමෙන් පසුවයි.

ප්‍ර. - දෙමළ ජාතික සන්ධානය මුලසිටම උතුරු පළාත් සභාවට පොලිස්‌ බලතල, ඉඩම් බලතල ඉල්ලා සිටියා. ඒ ගැනත් දේශපාලන විසඳුමක්‌ ගැනත් පොදු අපේක්‍ෂකයා සමග සාකච්ඡා කළාද?

පි. - අපි මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කළේ මේ ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කොට යහ පාලනය ඇති කිරීම සඳහායි. ඒ හැර අපි ඔහු සමග කිසිදු එකඟතාවකට හෝ ගිවිසුමකට එළැඹ නැහැ.

දෙමළ ජාතික සන්ධානය අපේක්‍ෂා කරන්නේ එක්‌සත් නොබෙදුණු රටක්‌ තුළ සෑම දෙනාටම පිළිගත හැකි සාධාරණ විසඳුමක්‌. ඒ විසඳුම සිංහල, දෙමළ හා මුස්‌ලිම් ජන කොටස්‌වලට පිළිගත හැකි එකක්‌ විය යුතුයි.

ප්‍ර. - දෙමළ ජාතික සන්ධානය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ වේදිකාවට ගොඩවෙනවාද?

පි. - තවම අපි ඒ ගැන තීරණයක්‌ ගෙන නැහැ.

ප්‍ර. - ජනාධිපතිවරණයට තව දින 9 යි තිබෙන්නේ. දෙමළ ජාතික සන්ධානය ඒ ගැන තීරණය ගන්නේ අද (30 දා) යි. ඉතින් උතුරු නැගෙනහිර ඡන්ද ව්‍යාපාරයක්‌ සඳහා ගෙන් ගෙට ගොස්‌ ජනතාව දැනුවත් කිරීමට මේ කාලය ප්‍රමාණවත්ද?

පි. - උතුරු නැගෙනහිර ජනතාව මීට පෙර පැවැති පළාත් සභා මැතිවරණ, පළාත් පාලන මැතිවරණවලදී ක්‍රියා කළ ආකාරය ගැන දෙමළ ජනතාව දන්නවා. ඒ නිසා ඔවුන්ට තීරණ ගැනීමේදී ප්‍රශ්නයක්‌ වෙන්නේ නැහැ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.