ඇමැතිගෙන් සී.අයි.ඩී. එක ප්‍රශ්න කරයි

හේමන්ත රන්දුණු

සෞඛ්‍ය ඇමැති තිස්‌ස අත්තනායක මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) ඊයේ (30 වැනිදා) පැය 4 ක්‌ තිස්‌සේ ප්‍රශ්න කර කටඋත්තර ලබා ගත්තේය.

ඇමැතිවරයාගෙන් මෙසේ ප්‍රශ්න කර ඇත්තේ ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර රහසිගත ගිවිසුමක්‌ ඇති බවට කරන ලද හෙළිදරව්ව සම්බන්ධයෙන්ය.

ඊයේ පෙරවරු 8.30 ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි සෞඛ්‍ය ඇමැතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදී ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර රහසිගත ගිවිසුමක්‌ ඇති බව කියමින් ඊට සම්බන්ධ ලියවිල්ලක්‌ද තිස්‌ස අත්තනායක මහතා ඉදිරිපත් කරනු ලැබුවේ මීට දින කීපයකට උඩදීය.

මෙම ලියවිල්ල ව්‍යාජ එකක්‌ බව කියමින් විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්‌පතිවරයා වෙත ලිත පැමිණිල්ලක්‌ කරමින් ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ කරන ලෙසයි.

පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබිණි.

ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඉකුත් සතියේ දී විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත්හ.

මෙම ලියවිල්ලේ ඇති අත් අකුරු සහ අත්සන් පිළිබඳව නිවැරැදිතාව සොයා ගැනීමට අත් අකුරු විශේෂඥයන්ගේ සහාය ලබාගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.