රෝහල් වර්ජනයෙන් රෝගීහු අමාරුවේ

ඒමන්ති මාරඹේ


හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් විසින් ඊයේ (30 දා) ක්‍රියාත්මක කරනු ලැබු දීපව්‍යාප්ත වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල බෙහෙත් නිකුත් කිරීම, විකිරණ පරීක්‍ෂණ, රසායනාගාර පරීක්‍ෂණ සිදු කිරීම, සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ මදුරු කීට විද්‍යාත්මක සමීක්‍ෂණයන් සිදු කිරීම ඇතුළු රෝහල් හා සෞඛ්‍ය සේවාවන් රැසක්‌ ඇණ හිට තිබිණි.

මෙම තත්ත්වය මත දිවයින පුරා රෝගීන් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ ඊයේ දිනයේ දැඩි අසීරුතාවන්ට මුහුණ පා සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

රජයේ රෝහල් හෙද හෙදියන් හා පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීන් 13 ක්‌ ඒකාබද්ධව මෙම වර්ජනය ක්‍රියාත්මක කර තිබිණි. ස්‌වභාවික විපත්වලට මුහුණ පා සිටින ප්‍රදේශවල අවතැන් වූ ජනතාව වෙනුවෙන් වර්ජනයේ යෙදී සිටින වෘත්තිකයින් ස්‌වෙච්ඡාවෙන් තම රාජකාරි කටයුතු ඉටු කළ බව හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ පවසයි.

මෙම වර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයෙන් ඊයේ (30 දා) දිනයේ බෙහෙත් ලබාගත නොහැකිවූ රෝගීන්හට තුණ්‌ඩු මත රජයේ ඔසුසල්වලින් බෙහෙත් ලබා ගැනීමටද, ඇණහිට තිබූ හදිසි රසායනාගාර හා විකිරණ පරීක්‍ෂණයන් පෞද්ගලික අංශයෙන් කර දීමටද ප්‍රධාන පෙළේ රෝහල්වල බළධාරීන් විසින් පියවර ගෙන තිබිණි.

එහෙත් ඔසුසල් හා පෞද්ගලික රසායනාගාර ආසන්නයේ නොපවතින රෝහල්වල රෝගීන්ට එම පහසුකම් නොලැබුණ බව වාර්තා වේ.

මානුෂීය හේතූන් මත බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා, කාසල් වීදිය කාන්තා, ද සොයිසා කාන්තා, මහරගම පිළිකා හා සිරිමාවෝ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ළමා යන රෝහල්වල එම වෘත්තිකයන් මෙම වර්ජනයට සහභාගි කර නොගත් බවත් වර්ජනය ක්‍රියාත්මක වූ රෝහල්වල හදිසි සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගිය බවත් හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ පවසයි.

කීට විද්‍යා සහකාර, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක යන වෘත්තිකයින්ද මෙම වර්ජනයට එක්‌ව සිටීම හේතුවෙන් එම සේවා කටයුතුද ඊයේ දිනයේ ඇණ හිට තිබිණි.

වෛද්‍ය සේවාවට පමණක්‌ භාණ්‌ඩාගාර ලේකම්වරයාගේ අනුමැතිය මත මෙම මස ලබාදී ඇති රුපියල් හතළිස්‌ දහසක මාසික දීමනාවට සාපේක්‍ෂව හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවාවන්ටද රුපියල් පහලොස්‌ දහසක රාජකාරි, බාධා හා පැමිණ සිටීමේ දීමනාවක්‌ ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ලැබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.