නව පාසල්වාරය ආරම්භයේදීම වැඩ වර්ජනයක්‌

නිලන්ත මදුරාවල

අයවැයෙන් පොරොන්දු වූ ආකාරයට ගුරු හා විදුහල්පති උසස්‌ වීම් ලබා නොදීමට එරෙහිව නව පාසල් වාරය ආරම්භයේදී වැඩවර්ජනය කිරීමට ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් එකමුතුව තීරණය කර ඇත.

වසර හයක්‌ තිස්‌සේ ලබා නොදුන් විදුහල්පති උසස්‌වීම් මෙන්ම වසර හතරක්‌ තිස්‌සේ ලබා නොදුන් ගුරු උසස්‌ වීම්ද අද (31 වැනිදා) පෙර ලබාදෙන බව පසුගිය ඔක්‌තෝබර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැයෙන් යෝජනා කෙරිණි.

මෙම යෝජනාව අනුව ගුරු හා විදුහල්පතිවරුන්ගේ උසස්‌වීම් ලබාදීම සඳහා ජංගම සේවා වැඩසටහනක්‌ද අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සැලසුම් කරන ලදී. එහෙත් මේ වන තෙක්‌ ගුරු හා විදුහල්පති උසස්‌වීම් ලබා දී නැතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්‌ටාලින් මහතා "දිවයිනට" ඊයේ (30 වැනිදා) පැවසීය. ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මෙලෙස රැවටීමට එරෙහිව සියලුම පාසල්වලට බලපාන පරිදි වැඩවර්ජනයක යෙදීමට සැළසුම් කර ඇතැයිද හෙතෙම කීවේය.

සමස්‌ත ලංකා එක්‌සත් ගුරු සංගමය, ස්‌වාධීන ලංකා ගුරු සංගමය, ලංකා ජාතික විදුහල්පති සංගමය, සමස්‌ත ලංකා විදුහල්පති සංගමය ඇතුළු වෘත්තීය සංගම් කිහිපයක්‌ ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් එකතුවට අයත්ය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.