එල්ලෙන යකඩ පාලම කැඩී ගම් තුනක ජනතාව පීඩා විඳිති

කතරගම - කේ. ඩී. දේවප්‍රිය

පසුගියදා මැණික්‌ ගඟේ ජලය වැඩිවීම නිසා කතරගම නාගහවීදිය ගම්මානයේ තිබූ එල්ලෙන යකඩ පාලම ජල පහරට අසුවී කැඩී ගියේය. මෙම පාලම මුළුමනින් කැඩී යැම මත නාගහවීදිය, ගෝතමීගම, ගාමිණීපුර ඇතුළු ගම්මානවල ජනයාට මෙන්ම දේවාලය වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ටද මේ වන විට සිය වැඩ කටයුතු සිදු කර ගැනීමට බාධාවක්‌ව පවතී.

වසර 15 ක්‌ පුරා පැවැති නාගහවීදියේ පාලම කැඩීයැම මත මෙම ගමේ ජීවත්වන පාසල් දරුවන්ට පාසල් යැමට සිදුව ඇත්තේ කිලෝමීටර් 07 ක්‌ වැනි දුෂ්කර මඟක්‌ ගෙවා කතරගම නගරයට පැමිණීමෙන් පසුවය.

මෙයට අමතරව කතරගම පුදබිමේ සිට රෝගීන් කතරගම රෝහලට රැගෙන යැමද, ත්‍රිSවිල් රථ මගින් නගරයට යැම ඇතුළු ගමනාගමන පහසුකම් රැසක්‌ සපයා ගනු ලැබුවේ මෙම පාලම උපයෝගී කර ගනිමින්ය.

පාලම කැඩීයැම මත ත්‍රීවීල් රථකරුවන්ට හා ගම්වැසියන්ට වාහන උපයෝගී කරගෙන මේ වන විට ගම් 03 ක ජනයාට නගරයට පැමිණීමට සිදුව ඇත්තේ සෙල්ලකතරගම නගරයට පැමිණ කිලෝමීටර් 12 ක දුරක්‌ ගෙවා කඳසුරිඳුගමට පැමිණීමෙනි.

මෙයට හේතුව වී ඇත්තේ සෙල්ලකතරගම මාර්ගයද, දෙටගමුව වැව පිටාර ගැලීම නිසා පසුගියදා මාර්ගය කඩා වතුර බැස්‌සවීමට සැලැස්‌වීය. මෙම මාර්ගයද කඩා දමා තිබුණත් මේ දක්‌වා මාර්ගය යළිත් සකස්‌ කිරීමට බලධාරීන් ක්‍රියා කර නැත.

මේ හේතුවෙන් නාගහවීදිය ගමට තිබුණු එකම පාලමද යළිත් ඉදිකර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

මේ සම්බන්ධව අදහස්‌ දැක්‌වූ නාගහවීදිය පදිංචි ඉෂාරා මිලානි මහත්මිය පැවසුවේ,

පාලම කැඩීයැම අපේ අත් පා කඩා දැම්මා වගෙයි. තව ටික දිනකින් පාසල් ඇරැඹෙනවා. ළමයින්ට පාසල් යන්න වෙන්නේ කතරගම ටවුමට ගිහින්. හදිසියක දී ත්‍රීවීල් එකක යන්න වුවත් යන්න වෙන්නේ විශාල දුරක්‌ ගෙවලා. අපිට නගරයට යන්න තිබුණු එකම පහසුව තමයි මේ පාලම. ඒක ඉක්‌මනට හදා දෙන්න කියලයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ.

කතරගම ජනාධිපති ජාතික පාසලේ 06 වසරේÊඉගෙනුම ලබන සහන් අවිශ්ක සිසුවා පැවසුවේ,

අපිට ඉස්‌කෝලේ යන්න වෙන්නේ කතරගම ටවුමට ගිහින් මේ පාරෙන්. පැය කාලකින් පාසලට යන්න පුළුවන්. දැන් අපිට පැය එකකටත් වැඩි කාලයක්‌ යනවා. පාලම ඉක්‌මනට හදලා දෙන්න කියලා අපි ඉල්ලනවා.

ත්‍රිරෝද රථ රියෑදුරන් පවසන්නේ පවතින නිවාඩුව නිසා වන්දනාකරුවන් පූජා භූමියට එන්නේ ත්‍රීවීල් රථවලින්. දැන් සෙල්ල කතරගමින් යන්නත් බැහැ. ඒ පාරත් කැඩිලා. සෙල්ලට ගිහින් වටයකින් තමයි එන්න වෙන්නේ. මාර්ගය ඉක්‌මනට හදලා දෙන්න කියලා අපි ඉල්ලනවා. මේ කැඩීගිය පාලම වෙනුවට නව පාලමක්‌ තැනීම සඳහා උපකරණ කොටස්‌ ගෙනැවිත් ඇතත් මේ දක්‌වා මෙහි වැඩ ආරම්භ කර නැහැ.

සෙල්ල කතරගම පදිංචි ඒ. සරත් මහතා,

සෙල්ල කතරගම පාර අපරාදේ කැඩුවේ. වතුර පැය දෙකකින් බැහැලා ගියා. දින ගණනාවක්‌ වුණා. ඒත් පාර හදන පාටක්‌ පේන්න නැහැ. පාර කැඩුවා වගේ ඉක්‌මනට හදල දෙන්නත් කියලා අපි ඉල්ලනවා.



පිළිසකර කරන්නැයි ඌව ප්‍රධාන ඇමැතිගෙන් උපදෙස්‌

කතරගම කේ. ඩී. දේවප්‍රිය

මහා වැසි නිසා දෙටගමුව වැව වාන් දැමීම නිසා කඩාගෙන ගිය සෙල්ල කතරගම මාර්ගය ලබන 01 වැනි දිනට පෙර වහා යථා තත්ත්වයට පත් කරන ලෙස ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස්‌ දී ඇත.

මෙයට අමතරව මැණික්‌ ගඟේ ජලය නිසා කඩා ගෙන ගිය නාගහවීදිය ගමට අයත් එල්ලෙන පාලම නැවත සකස්‌ කර තාවකාලිකව සාදවා දීමට කටයුතු කරන බවත් මෙම පාලම වෙනුවට නව පාලමක්‌ ඉදිකිරීමට ලබන ජනවාරියේ දී කටයුතු කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට දැන් වූ බව ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පවසයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.