109875 දෙනෙක්‌ තවමත් අවතැන් කඳවුරුවල

සිරිමන්ත රත්නසේකර

පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පවුල් තිස්‌ එක්‌ දහස්‌ අටසිය හැට තුනකට (31863) අයත් පුද්ගලයන් එක්‌ ලක්‍ෂ නමදහස්‌ අටසිය හැත්තෑපස්‌ දෙනකු (109875) ඊයේ (30 වැනිදා) වන විටත් අවතැන් කඳවුරු පන්සිය අනූ නමයක (599) නවාතැන් ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි.

නැගෙනහිර පළාතේ පමණක්‌ පවුල් පහළොස්‌ දහස්‌ තුන්සිය පනස්‌ හතරකට (15354) අයත් පුද්ගලයන් පනස්‌ එක්‌දහස්‌ අටසිය අට දෙනකු (51808) ද උතුරු පළාතේ පවුල් හාරදහස්‌ හත්සිය හතළිස්‌ නමයකට අයත් දහසය දහස්‌ හත්සිය හතළිස්‌ නමදෙනක්‌ ද (16749), මධ්‍යම පළාතේ පවුල් දෙදහස්‌ අසූ නමයකට (2089) අයත් පුද්ගලයන් හත්දහස්‌ එකසිය පනස්‌ තුන් දෙනකු ද (7153) එසේ අවතැන් කඳවුරු තුළ සිsටින බව එම මධ්‍යස්‌ථානය පවසයි.

එසේම මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගංවතුර, නාය යැම් හා පස්‌ කඳු කඩා වැටීම්වලින් ඇතිවූ අනතුරුවලින් ඊයේ (30 වැනිදා) වනවිට පුද්ගලයන් තිස්‌ අටදෙනකු මියගොස්‌ තවත් පුද්ගලයන් විසි එක්‌ දෙනකු තුවාල ලබා ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය කියා සිටී.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස පන්දහස්‌ දෙසීයක්‌ මුළුමනින්ම ද තවත් නිවාස දාසයදහස්‌ දෙසිය අනූවක්‌ (16290) අර්ධ වශයෙන් ද හානි වී ඇති බව එම මධ්‍යස්‌ථානය සඳහන් කරයි.

ඊයේ (30 වැනිදා) පස්‌ කන්දක්‌ කඩා වැටීම හේතුවෙන් බදුල්ල - කොළඹ මාර්ගයේ උඩුනුවර අටේ කණුව ප්‍රදේශය අවහිර වූ අතර ඒ හේතුවෙන් ගමනාගමනයට බාධා ඇති වී තිබිණි.

පසුබිම් වාර්තා

දොඩම්ගස්‌ලන්ද - ඩබ්. ඒ. ජයසේකර
මාතලේ විශේෂ - නිමල් ගුණතිලක
මතුරට විශේෂ - උදය බී යටිවැල්ල
ගම්පොල - සුරංග දිල්හාන්

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.