වර්ෂාව අඩුවෙයි - ගංවතුර තවමත්

සහන සේවා දිගටම ක්‍රියාත්මකයි


අතුල සූරිය බණ්‌ඩාර - හිඟුරක්‌ගොඩ

වර්ෂාවේ යම් අඩුවීමක්‌ දක්‌නට ඇතත් පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ තවත් බොහෝමයක්‌ ප්‍රදේශ ජල ගැල්මට හසු වී ඇතැයි පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි. විශේෂයෙන්ම ලංකාපුර, තමන්කඩුව, දිඹුලාගල හා මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයන්හි මෙම තත්ත්වය පවතින බවද ආපදා කළමනාකරණ ඒකකය ප්‍රකාශ කරයි.

මේ අනුව පෙරේදා (29දා) වන පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස හත තුළ පදිංචි පවුල් 7212 ක පුද්ගලයන් 27260 ක්‌ ගංවතුරින් පීඩාවට පත්ව සිටියහ. ඉන් පුද්ගලයින් 13519 දෙනෙක්‌ සහන මධ්‍යස්‌ථාන 47 ක නවාතැන් ගෙන සිටියහ. මෙම පුද්ගලයින් නැවත සිය නිවාස කරා යන තෙක්‌ ඔවුනට යුද හමුදාව මගින් පිසූ ආහාර ලබා දීමට පියවර ගන්නා බව 222 වන බලසේනාධිපති කර්නල් කමල් පින්නවල මහතා සඳහන් කළේය. තමා යටතේ පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ සහන මධ්‍යස්‌ථාන 31 ක්‌ පවතින බවත් ඒ මහතා කියා සිටියේය.

මේ අතර ගංවතුර තත්ත්වය තරමක්‌ අඩුවීමත් සමගම දින ගණනාවක්‌ වසා දමා තිබූ පොළොන්නරුව මඩකලපු මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත්ව තිබූ අතර සුංගාවිල සෝමාවතිය පාර තවදුරටත් ජලයෙන් වැසී තිබිණි. එසේම පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ, මින්නේරිය හා කවුඩුල්ල යන ජලාශ ඊයේ (30දා) වන විටද වාන් දමමින් තිබෙනු දක්‌නට ලැබිණි. මෙම හේතුව මත ලංකාපුර කොට්‌ඨාසයට අයත් කිරිමැටිය, පඹුරන, පල්ලියගොඩැල්ල යන ප්‍රදේශයන් නිවාස මෙන්ම අක්‌කර දහස්‌ ගණනක වී වගා බිම්ද ජල ගැලීමට නතු වී තිබිණි.

පැවැති අධික වැසි හා ගංවතුර නිසා පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ වී වගා බිම් අක්‌කර පනස්‌දාහකට ආසන්න ප්‍රමාණයක්‌ විනාශ වී ගොස්‌ ඇතැයි ගොවි සංවිධාන පෙන්වා දෙයි.

පොළොන්නරුවේ මාර්ග පද්ධතීන් රැසකට වර්ෂාවෙන් බලපෑම් එල්ල වී තිබූ අතර ඇතැම් මාර්ග සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ගොස්‌ ඇති බවටද අනාවරණය වේ.

මේ අතර ගංවතුරින් හානියට පත් ජනතාවට පිහිට වීම සඳහා නැගෙනහිර පළාත තුළ හමුදා සාමාජිකයින් 3000 ක්‌ පමණ යොදවා ඇති බවත් හානි වූ ප්‍රදේශයන්හි නිවාස, පානීය ළිං, පාසල් ඇතුළු පොදු ස්‌ථාන පිළිසකර කිරීමට ඔවුන් යොමු කරන බවත් නැගෙනහිර බලසේනා ආඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරා මහතා සඳහන් කළේය. එසේම විපතට පත් පොළොන්නරුව, අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය යන දිස්‌ත්‍රික්‌කයන්හි ජනතාවට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය, බෙහෙත්, ගෘහ උපකරණ ලබාදීමට කැමති පරිත්‍යාගශීලීන් වෙනුවෙන් විශේෂ මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ මින්නේරිය යුද හමුදා ජනපදයේ පිහිටුවා ඇති බවද මේජර් ජෙනරාල්වරයා සඳහන් කළේය.

අවශ්‍ය අයට දුරකථන අංක 027 3274944/-0273281919 දුරකථන අංකවලින් හා අංක 0272246869 පැක්‌ස්‌ මගින් හෝ Fmae of amy.lk විද්යුත් තැපෑල මගින් වැඩි දුරටත් තොරතුරු ලබා ගත හැකි බවද මේජර් ජෙනරාල් ලාල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.