පාදුක්‌කේ ව්‍යාපාරිකයාගේ මරණයට සැක දෙදෙනෙක්‌ පොලිසියට බාරවෙති

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

මීට දින කීපයකට උඩදී පාදුක්‌ක, පොල්වත්ත ප්‍රදේශයේදී පස්‌ හා ගල් ව්‍යාපාරයේ නිරතවූ ව්‍යාපාරිකයකුට තියුණු ආයුධවලින් පහරදී අතක්‌ වෙන්වෙන්නට කපා මරාදැමීමේ සිද්ධියට සැකකරුවන් දෙදෙනකු පාදුක්‌ක පොලිසියට පැමිණ භාරවී තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් 34 හැවිරිදි වියේ පසුවන අය බවත්, ඔවුන් ගොඩගම පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ඔවුන් මෙම අපරාධය සඳහා භාවිතා කළ තියුණු මන්නා පිහියක්‌, ලේ තැවරුණු කමිසයක්‌ ගලගෙදර පාලමෙන් පහළට විසිකර දමා තිබියදීද සොයාගත් බවත්, ඝාතනය සඳහා භාවිතා කළ ත්‍රිරෝද රථය එක්‌ සැකකරුවකුගේ නිවසේ සඟවා තිබියදී සොයා ගත් බවත් පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්‌වී තිබුණේ ඉන්දික අනුරුද්ධ රණතුංග නමැති 33 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

මොහු පස්‌ හා ගල් ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යනවාට අමතරව නිවාස සැලසුම් ශිල්පියකු ලෙස ද කටයුතු කර ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

ඝාතනයට ලක්‌වූ ඉන්දික අනුරුද්ධ නමැති අය තියුණු මන්නා පිහි පහර කා මරණාසන්නව දඟලමින් සිටියදී මේ දේ කළේ වෙන කවුරුවත් නොවෙයි හංවැල්ල පහත්ගම ඉන්න සුමේධයා යෑයි අවසන් වශයෙන් පොලිසියට ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මරණකරු සඳහන් කළ 'සුමේධ' නමැත්තා පදිංචිව සිටින නිවස ඇතුළු තවත් නිවාස කීපයකට ගොස්‌ පරීක්‍ෂා කර බැලුවද ඔහු එම නිවෙස්‌වල නොසිටි බවද පොලිසිය කියයි.

ඝාතනයට ලක්‌වූ අය මීට ටික කලකට ඉහතදී 'සුමේධ' නමැති අයගේ පස්‌ හා ගල් ව්‍යාපාරයට එක්‌වී කළමනාකරුවකු ලෙස කටයුතු කර ඇති බවත් මේ කාලය තුළදී මරණකරු, 'සුමේධ' නමැති ව්‍යාපාරිකයාගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධයක්‌ පවත්වාගෙන යමින් සිටියදී එය 'සුමේධ' නමැත්තාට හසුවී ඇති බවත් ඉන් කෝපයට පත් 'සුමේධ' මරණකරුව සේවයෙන් ඉවත් කර ඇති බවත් පසුව 'සුමේධ' බිරිඳ සමග පදිංචි ස්‌ථානය වෙනස්‌කර වෙනත් ස්‌ථානයක පදිංචියට ගොස්‌ ඇති බවත් හෙළිවිණැයි පොලිසිය කියයි.

එහෙත් මරණකරු සිය බිරිඳ සමග අනියම් සම්බන්ධය දිගින් දිගටම පවත්වාගෙන යන බව දැන ගැනීමෙන් ඊට පලිගැනීමක්‌ වශයෙන් 'සුමේධ' විසින් පොලිසියට භාරවූ සැකකරුවන් දෙදෙනාව මේ සිද්ධිය සඳහා යොදවන්නට ඇතැයි සැකකරන බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා හෝමාගම මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‌ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මේ පිළිබඳව පාදුක්‌ක පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක බිමල් පෙරේරා මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සනත් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.