වතුකරයේ ඔබට ස්‌ථිර නිවසක්‌ ලබා දෙනවා
අපි බොරු පොරොන්දු දෙන්නේ නැහැ කරන දේ කියනවා කියන දේ කරනවා
-මහින්ද රාජපක්‌ෂ

කඳුකරයේ වෙනසක්‌ කරන්න හැකි එකම නායකයා මහින්ද රාජපක්‌ෂයි
- ආරුමුගම් තොණ්‌ඩමන්

නවවැනිදාට අපි ජනපති සහ රටේ ජනතාවත් සමග කිරිබත් කනවා
- සී. බී. රත්නායක

නුවරඑළිය - ඩග්ලස්‌ නානායක්‌කාර

වතුකරයේ ජීවත් වන ඔබට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ රජය මගින් ආරම්භ කර තිබෙන බැවින් තවත් මාස කිහිපයකින් ලයින් කාමරවලින් ඉවත්කරන ඔබට අනිවාර්යයෙන්ම ස්‌ථිර නිවසක්‌ ලැබෙන බවත් පැවසූ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වතුකරයේ තිබෙන එක තේ ගසක්‌ හෝ ගැලවීමට ඉඩ තබන්නේ නැති බවත් පැවසීය.

නුවරඑළිය නගරයේදී 28 වැනිදා පැවති ජනාධිපතිවරණ ජනහමුවට එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා,

මම ඔබට ස්‌තුතිවන්ත වෙනවා මෙවැනි සීතල දේශගුණයකදී පවා මෙවැනි සෙනඟක්‌ පැමිණ අපිට සහයෝගය දැක්‌වීම පිළිබඳව.

ලබන 08 වැනිදා තිබෙන මැතිවරණය තීරණාත්මක මැතිවරණයක්‌. ඒ සඳහා තරග කරන්න කෙනෙක්‌ සොයා ගන්න නැතිව අපේ පැත්තේ හිටපු මුනාසික්‌ කෙනෙක්‌ තමයි ඉදිරිපත් කරන්නේ. අපිත් සමග රෑටත් කෑම කාලා තමයි පසුවදා උදේම ගියේ. අපි ළඟ ඉඳලා ගිය කෙනෙක්‌ තමයි ඉදිරිපත් කරන්නේ. අපේ ආණ්‌ඩුවෙන් හොඳ වුණත්, නරක වුණත් ඒ සියල්ලට අපි සියලු දෙනා වගකිව යුතුයි. දැන් එයා හදිසියේ අනෙක්‌ පැත්තට ගිහින් සුදනා වෙන්න හදනවා. එයා හොඳයි. අපි වැරැදියි කියනවා. එයා කරපු වැරැදිවලටත් අපියි දැන් බැණුම් අසන්නේ.

අපි ත්‍රස්‌තවාදය අවසන් කළා. දැන් බලන්න ඉන්පසු ඔබට තිබෙන නිදහස. නැතිනම් එදා හැමදාම පාරේ යනකොට නවත්වලා හැඳුනුම්පත් ඉල්ලනවා. පසුගිය දිනක මම කිලිනොච්චියට ගිය අවස්‌ථාවේ ඒ පළාතේ අය මාව හමුවෙලා පැවසුවා. ඔවුන් දැන් කියනවා ඒ අය දෙමළ ජාතික සන්ධානයට ඡන්දය දුන්නා. නමුත් ඒ අය අපිට කිසි වැඩක්‌ කරන්නේ නැහැ. අපි ගැන බලන්නේ නැහැ. ඒ නිසා ඔබතුමා අපි ගැන බලන්න කියල. ඒ අවස්‌ථාවේ මම තොණ්‌ඩමන් ඇමැතිතුමාට වගකීමක්‌ භාර දුන්නා. ඒ මේ ප්‍රදේශයේ පමණක්‌ නොව වව්නියාවේ, කිලිනොච්චියේ, මුලතිව් ප්‍රදේශවල ජීවත් වන ජනතාව පිළිබඳවත් සොයා බලන ලෙස.

වතුකරයේ ඔබ ජීවත් වන ආකාරය අපි දන්නවා. අපි නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා. එහි වගකීම නාගරික සංවර්ධන අධිකාරියට භාරදීලා දැන් එහි පළමු, දෙවැනි මෙන්ම තෙවන වැඩපිළිවෙළවල් ආරම්භ කර තිබෙනවා. පසුගිය දිනවල සිදු කළා වගේම තව මාස කිහිපයක්‌ යන විට අනිවාර්යෙන්ම ඔබව ලැයින් කාමරවලින් ඉවත් කර නිවාසවල පදිංචි කරවනවා. ඕනෑම පවුලකට ස්‌ථීර වහලක්‌ සහිත නිවසක අයිතිය තිබිය යුතු බව මම තරයේ විශ්වාස කරනවා. ඒ වගේම රැකියාවක්‌ හා ස්‌ථිර ආදායමක්‌ ලබාදෙන වැඩපිsළිවෙළක්‌ තිබෙන්න ඕනෑ. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අපි සකස්‌ කරනවා.

ඒ වගේම වතුකරයේ තිබෙන එක තේ ගසක්‌ හෝ ගලවන්න අපි ඉඩ තබන්නේ නැහැ. සමහරු අද තේ වගාව විනාශ කරන්න හදනවා. අපි එය සිදු කරන්න දෙන්නේ නැහැ. මම කවදාවත් බාර් ලයිසන් දීලා නැහැ. අලුතෙන් දෙන්නෙත් නැහැ. මේ ප්‍රදේශයේ ජනතාවගේ දරුවන්ට තිබූ මන්දපෝෂණ තත්ත්වය වළක්‌වන්න අපි ජනාධිපති කාර්ය සාධක බළකායක්‌ පත්කර තිබෙනවා. දෙමළ භාෂාව කතා කරන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු, පවුල් සෞඛ්‍ය සේවිකාවන් පන්සියයක්‌ මේ වතුකරයේ බඳවා ගත්තා. වතුකරයේ වගේම උතුරු නැගෙනහිරත් ආයුර්වේද රෝහල් ඇති කර තිබෙනවා. අපි කිලෝ 50 ක පොහොර මිටිය රුපියල් තුන්සිය පනහට තවදුරටත් ලබා දෙනවා.

මම අද උදේ තිබුණු රැස්‌වීම් මාලාව නතර කරලා බදුලු දිස්‌ත්‍රික්‌කයේ නායගිය ප්‍රදේශ බලන්න ගියා. ඒ අය සඳහා ආරක්‌ෂිත ප්‍රදේශවල නිවාස ලබාදීමේ කඩිනම් වැඩසටහනක්‌ ආරම්භ කරන්න මම උපදෙස්‌ ලබා දුන්නා. ඒ වගේම අද තොණ්‌ඩමන් ඇමැතිතුමා මතක්‌ කළ ආකාරයට නිවාසවලට තහඩු ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කළා. ආපදාවන්ට ලක්‌වන ජනතාව ඉක්‌මනින්ම යථා තත්ත්වයට පත්කිරීම සඳහා කටයුතු කිරීමට ජාතික වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා.

විපක්‌ෂයේ අපේක්‍ෂකතුමා කියා තිබෙනවා ඔබේ දරුවා ඉගෙන ගන්න මුදල් ගෙවන්න ඕනෑ කියලා. එයාගේ ප්‍රතිපත්තියේ තිබෙනවා තාක්‍ෂණික අධ්‍යාපන ආයතනවලට බාධාවකින් තොරව පිවිසිය හැකි ණය පහසුකම් විධික්‍රම හඳුන්වා දෙනු ලැබේ කියලා. ඒ කියන්නේ ණයට මුදල් දෙනවා. අපි කියා තිබෙන්නේ ඉගෙන ගන්නා අයට රුපියල් 3000 ක්‌ ලබාදෙනවා කියලා. මම මුදල් දීලා උගන්වනවා. එයා මුදල් ගෙවා ඉගෙන ගන්න කියනවා වෙනස ඒකයි. ජාතික විශ්වවිද්‍යාල තුළට ශිෂ්‍ය ණය ක්‍රමයක්‌ යටතේ ගාස්‌තු අයකර බඳවා ගැනීමට කටයුතු කරනු ලැබේ කියා එයා කියා තිබෙනවා. අපි විශ්වවිද්‍යාල විද්‍යා ආයතන 25 ක්‌ ආරම්භ කර ඉන් එක්‌ විද්‍යාලයක්‌ වතුකරයේත් ආරම්භ කිරීමට වැඩපිළිවෙළක්‌ සකස්‌ කර තිබෙනවා. එය නිකම් ලැබෙනකොට මෙයා කියනවා මුදල් දී යන්න ඕනෑ කියලා මෙයයි වෙනස. ඒ කියන්නේ මුදල් තිබෙන කෙනා ඉගෙන ගන්න. නැති කෙනා හැමදාම වත්තේ ඉන්න කියලා මෙයා කියන්නේ.

මේවා පිළිබඳව සිතන්න කාලය ඇවිත් තිබෙනවා. අද ඔබේ දරුවාගේ පාසලට තොරතුරු තාක්‌ෂණ අධ්‍යාපනය ගෙනැවිත් තිබෙනවා. මහින්දෝදය විද්‍යාගාර අද ඔබේ පළාතට ගෙනැවිත් තිබෙනවා. උපාධිධාරී තරුණයන්ට රැකියා අවස්‌ථාවන් ලබා දුන්නා. ඉංග්‍රීසි උගන්වන්න ගුරුවරුන් 3000 කට පත්වීම් ලබාදුන්නා. උසස්‌ පෙළ හා සාමාන්‍ය පෙළ සමත් තරුණ තරුණියන් 150000 කට නව රජයේ රැකියා අවස්‌ථා ලබාදීම සඳහා අපි අයවැය ලේඛනයෙන් මුදල් වෙන්කර තිබෙනවා. ග්‍රාම නිලධාරින් අපි අලුතින් පත්කළා. මේ ආකාරයට අපි රාජ්‍ය සේවයට අලුතින් රැකියා ඇති කරන කොට එයාලා රාජ්‍ය සේවය කප්පාදු කරනවා කියනවා. මේවා පිළිබඳව ඔබට සිතන්න කාලය ඇවිත් තිබෙනවා.

ඔබට විදුලිය ලබාදී තිබෙනවා. ජලය ලබාදීමේ වැඩපිළිවෙළක්‌ තිබෙනවා. ඔබේ නුවරඑළිය රෝහල ලක්‌ෂ 2000 ක වියදමින් හදලා තිබෙනවා. ගම නැගුම, මහ නැගුම, සුළුÊවාරිමාර්ග ක්‍රම මේ සියල්ල මේ ප්‍රදේශ තුළ ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබ මා කෙරේ විශ්වාසය තබන්න. කෙනක්‌ කියනවා තොණ්‌ඩමන් ඇමැතිතුමාව ඉන්දියාවට යවනවා කියලා. එයාව යවන්න ලැබෙන්නේ නැහැ. නව වැනිදාටත් මමයි මේ රටේ ජනාධිපති. ඒ නිසා ඒ පිළිබඳව බය වෙන්න දෙයක්‌ නැහැ.

ජනාධිපතිවරයා දෙමළ බසින් කළ කතාවේ පරිවර්තනය අද ඔබ ඉදිරියේ කතා කිරීමට ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා. ඔබ දක්‌වන ආදරය හා ස්‌නේහය මට ලොකු සතුටක්‌. ඔබ හැම දෙනාමත් මේ රටේ කොඳු නාරටියක්‌ තමයි. කාටවත් මේක අමතක කරන්න බෑ. ඒකයි සත්‍යය. අපි හැමෝම එකට ජීවත් වෙන්න ඕනෑ. හොඳින් ජීවත් වෙන්න ඕනෑ. ඔබේ නායක ආරුමුගම් තොණ්‌ඩමන් මැතිතුමා බොහොම ක්‍රියාශීලී පුද්ගලයෙක්‌. ඨැබඑකැප්බ කෙනෙක්‌. කිසිම ප්‍රශ්නයක්‌ නැතිව කොන්දේසියක්‌ නැතිව සහාය ලබාදෙන බව පොරොන්දු වුණා. මම මේක කවදත් අමතක කරන්නේ නෑ. මම එතුමාට ස්‌තුතිවන්ත වෙනවා. ඔබලාටත් ස්‌තුතිවන්ත වෙනවා.

ඔබලා තව තවත් දියුණු වෙන්න ඕනෑ. පහසුකම් ලැබෙන්න ඕනෑ. ඔබගේ දරුවන් දියුණු වෙන්න ඕනෑ. දමිළ, සිංහල, ඉංග්‍රීසි භාෂාවත් ඉගෙන ගන්න ඕනෑ. අපි අලුත් ගුරු පත්වීම් ඔබේ ප්‍රදේශයට ලබා දුන්නා. ඔබේ ප්‍රදේශයෙන් අලුතෙන් උපාධිධාරීන් තව තවත් බිහි වෙන්න ඕනෑ. වතුකරයේත්, විශ්වවිද්‍යාල කොලීජියක්‌ ආරම්භ කරනවා. දරුවො තමයි ඔබේ සම්පත. මේ රටේම සම්පත. ඒ දරුවෝ මේ රටෙත් පිටරටවලදීත් හොඳ නමක්‌ ලබාගෙන ජයගන්න ඕනෑ.

මහාමාර්ග, විදුලිය, අධ්‍යාපනය, සෞඛ්‍ය, රැකියා පහසුකම් හැම එකක්‌ම අපි තව තවත් ලබා දෙනවා. මේ රටේ හැම දෙනාම සම අයිතිවාසිකම් ඇතිව ජීවත් වෙන්න ඕනෑ. ගෞරවයෙන් ජීවත් වෙන්න ඕනෑ. ඔබලා දියුණු වෙන්න ඕනෑ. ඔබේ ප්‍රදේශය දියුණු වෙන්න ඕනෑ. කවුරු කවුරු කොයි පැත්තට ගියත් අපි හැමදාම ඔබේ පැත්තේ තමයි. ඔබලාත් අපේ පැත්තේ තමයි. මම හැම විටම ඔබලා සමගයි ඉන්නේ. හැම විටම මම ඔබලාව ආරක්‌ෂා කරනවා. එක මගේ යුතුකමක්‌. ඒක මගේ වගකීමක්‌. බොරු පොරොන්දු කිසිවක්‌ දෙන්නේ නෑ. අපි කියන දේ කරනවා. කරන දේ කියනවා. මම ඔබේ ආරක්‌ෂකයා. මම ඔබේ ඥතියා. එදත් අදත් කවදත් ඉන්දියාව අපේම මිත්‍ර රටක්‌ තමයි. සහෝදර රටක්‌ තමයි. මේකේ කිසිම වෙනසක්‌ වෙන්නේ නෑ.

අපි ඉදිරියටම යනවද? නැතිනම් ආපස්‌සට එනවද? හොඳින් කල්පනා කර බලන්න. හෙට දවස අපේමයි. මේ රටත් අපේමයි. බුලත් කොළය අමතක කරන්න එපා. බුලත් කොළයේ ජයග්‍රහණය ඔබේ ජයග්‍රහණයයි. ඔබේ දරුවන්ගේ ජයග්‍රහණයයි. මේ රටේ ජයග්‍රහණයයි.

පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන ඇමැති ආරුමුගම් තොණ්‌ඩමන් මහතා කඳුකරයේ වෙනසක්‌ ඇති කරවනවා නම් එය කළ හැකි එකම නායකයා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පමණයි. අපි එතුමාට කොන්දේසි විරහිතව සහය පළකර තිබෙනවා.

කඳුරට ජනතාව වෙනුවෙන් සංවර්ධන කටයුතු රාශියක්‌ රජය සිදුකර තිබෙනවා. නමුත් එය ප්‍රමාණවත් නොවන බව මාත් පිළිගන්නවා.

අපි ඔක්‌කොම එකම පවුලක සාමාජිකයො. අපි ඔක්‌කොම එකා වගේ ජනාධිපතිතුමා දිනවීමට කටයුතු කළ යුතුයි.

ජනාධිපතිතුමා බලයට ආවට පසුව මුල් අවුරුදු පහ යුද්ධය වෙනුවෙන් කටයුතු කළා. ඉන්පසු අවුරුදු පහ එතුමා සංවර්ධනය සඳහා පියවර ගත්තා.

ජනවාරි නම වැනිදායින් පසුව ජනාධිපතිතුමා වතුකරයේ ජනතාවගේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා. ලංකා කම්කරු කොන්ග්‍රසයත් මා ගැනත් විශ්වාසයක්‌ ඇත්නම් ලබන අටවැනිදා ජනාධිපතිතුමාට ඡන්දය දෙන්න. අපි කවදත් ජනාධිපතිතුමාගේ පසුපසින් සිටිනවා.

පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමැති හා නුවරඑළිය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සී. බී. රත්නායක මහතා.

තේ දල්ලේ ආර්ථිකයත් එක්‌ක රටට බරක්‌ නොවී විශාල වැඩ කොටසක්‌ ආර්ථිකයට දායකත්වයක්‌ ලබා දෙමින් වතුකරයේ ජනතාව කටයුතු කරනවා. දෙදහස්‌ පහෙන් පස්‌සෙ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ අධ්‍යාපන මට්‌ටම පහත වැටි තිබුණා. ඒ වගේම සෞඛ්‍ය මට්‌ටමින් පල්ලෙහට වැටී තිබුණා. ඒ වගේම මාර්ග පද්ධති අපිට යා කරගෙන යන්න බැරිවෙලා තිබුණා. නමුත් අද ජනාධිපතිතුමාගේ නිසි මග පෙන්වීම යටතේ, ඒ ජනතාව දුක්‌ත තත්ත්වයෙන් මුදා ගන්න හැකි වී තිබෙනවා. ඒවගේම ප්‍රදේශයේ මහා මාර්ග පහසුකම්, රෝහල් වැඩි දියුණු කර තිබෙනවා. ඒ වගේම අනෙකුත් යටිතල පහසුකම් දියුණු කර තිබෙනවා. අද අපිට එක මවකගේ දරුවන් වගේ ගමයි වත්තයි දෙකක්‌ නොවී මිත්‍රශීලීව සුහද ශීලීව ඒ ගමන යන්න පුළුවන්කම ලැබුණේ මේ ජනාධිපතිතුමා නිසයි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගම් තොණ්‌ඩමන් මහතාගේ සාමාජිකයන් අද අපිත් එක්‌ක අත්වැල් බැඳගෙන ඒ සටන ඉදිරියට ගෙනියන්න සූදානම් වෙනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.