තැපැල් ඡන්දෙන් පසු
ආණ්‌ඩුව අරලියගහ මන්දිරයේ දී පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පවත්වලා
-මෛත්‍රීපාල සිරිසේන

කිසිදා නොදුටු පොදු සන්ධානයක්‌ රාජපක්‍ෂ පාලනය ගෙදර යෑවීමට ගොඩනැගී තිබෙනවා
- චන්ද්‍රිකා බණ්‌ඩාරනායක

විමල්ගේ කටේ තිබෙන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ හා විජාතික කුමන්ත්‍රණ පමණයි
- හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

කුෂාන් සුබසිංහ සහ අනුරාධපුර විශේෂ -

පර්සි කුරුනේරු සහ ත්‍රිකුණාමලය -

සමන් මල්ලවආරච්චි

පසුගිය තැපැල් ඡන්දයෙන් පසු ආණ්‌ඩුව අරලියගහ මන්දිරයේදී පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පවත්වා තිබෙනවා. ඒ තමයි රජයේ සේවකයන් තැපැල් ඡන්ද ප්‍රකාශ කර ඇති ආකාරය පිළිබඳව සිදුකළ පරීක්‍ෂණය. එයින් ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා රාජ්‍ය අංශයේ සේවකයන් සියයට 80 ක්‌ පමණ හංසයාට ඡන්දය ලබාදී ඇති බව ආණ්‌ඩුවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ කියන්නෙ ලබන මස 08 වැනිදාට අපේ ජයග්‍රහණය ස්‌ථිරයි කියන එක යෑයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අනුරාධපුරයේ දී හා කින්නියා හි පැවති ජන රැලි අමතා පැවසීය. ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ කින්නියා සහ අනුරාධපුර නගරයේ කඩපනහ වෙළෙඳ සංකීර්ණය අසලදී පෙරේදා (29 දා) සවස අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් පැවැති ජනහමු අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීවේය.

ශ්‍රීලනිපය සමග අවුරුදු 47 ක්‌ අඛණ්‌ඩව කටයුතු කළ මම ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌ තිබියදී මෙසේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස වෙනත් පක්‍ෂයකින් ඔබ හමුවට ආවේ ඇයිද කියාත් ප්‍රශ්නය ඔබ අද දන්නවා ඇති. 2005 බලයට පත්වූ මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව සහ මහින්ද රාජපක්‌ෂ මහතා ප්‍රමුඛ ආණ්‌ඩුව 2010 දී බලයට පත් නොවුණි නම් අද මේ රට කුමන තත්ත්වයට පත් වෙන්නේද කියා ජනාධිපති දැන් අහනව. මහින්ද රාdජපක්‌ෂ මහතාට පමණක්‌ම ඒ ආණ්‌ඩුවල ගෞරවය හිමි විය යුතුද? එසේම යුද්ධයේ ජයග්‍රහණය ගෞරවය තනි පුද්ගලයකුට පමණක්‌ නොව ත්‍රිවිධ හමුදාවට, ආණ්‌ඩුවට, පොලිසියට, සිවිල් ආරක්‌ෂක බළකායට සහ මුළුමහත් රටේ ජනතාවට ම අත්විය යුතුයි. අද ඔබ මෙතන ජයඝෝෂා නගන්නේ මහින්ද රාජපක්‌ෂව බලයෙන් පන්නා දැමීමටයි. දූෂිත මහින්ද රාජපක්‌ෂ යුගය අවසන් කළ යුතු බව කීමටයි මේ ජයඝෝෂා නගන්නේ. අශීලාචාර ආණ්‌ඩුව ඉවත් කර නව ආණ්‌ඩුවක්‌ පිහිටුවිය යුතුය යන අදහසිනුයි මේ ජයඝෝෂා නඟන්නේ.

මහින්ද රාජපක්‌ෂ 2009 යුද්ධය ජයග්‍රහණය කළ විට ඔබ ඔහුට මහා රජාණෝ කිව්වා. ගීත ප්‍රබන්ධ මහා රජාණෝ ලෙස නිර්මාණය වුණා. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්‌ථාවක්‌ සහිත රටක රජෙක්‌ බිහි වෙන්න විදිහක්‌ නැති බව අද ඔබ මෙතන සිට ප්‍රකාශ කරනවා. අපේ ඉතිහාසයේ නම් නොයෙක්‌ ආකාරයේ රජුන් හිටියා. 2010 දී මහින්ද රාජපක්‌ෂ රජෙක්‌ ලෙස හිතන්න, දකින්න, වටපිට බලන විට අපි හිතුවා එතුමා දැහැමි රජෙක්‌ වෙන්න බලනවා කියල. ඒත් ඔහු දැහැමි රජෙක්‌ වුණේ නැහැ. අන්ත දූෂිත පාලනයක්‌ ඇති කළා. මහා අපකීර්තියක්‌ රටට ගෙනාව සංවර්ධනය යෑයි කියමින්. රට සුන්දර යෑයි පෙන්වමින් මහා දූෂණයක්‌, අල්ලසක්‌ ජනතාවට හොරෙන් ගෙන ගියා. ඉතිහාසයේ දූෂිතම පාලනය ඇති වුණා. දුරාචාරය, අශීලාචාරකම, නැහැදිච්චකම රට වහ ගන්නා විට ජනාධිපති මේවා නොදැක්‌කා වගේ හිටිය. කැසිනෝ, සුරාසල් විවෘත කළා. මේ ආණ්‌ඩුවේ කැබිනට්‌ ඇමැතිවරුන් 5 දෙනකුට එතනෝල් බලපත්‍ර ලබාදී තිබෙනවා. කැසිනෝ, ගණිකා වෘත්තීන් ප්‍රචලිත කළා. ඒත් කිසි කෙනකුට චෝදනා පත්‍රයක්‌ නැහැ. ඒ හොරු සුඛ විහරණ වින්දා. එහි මුල් කොටස, මුල් ඇවරිය රජ පවුලට ගියා. සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන්, වකුගඩු රෝගීන් වෙනුවෙන් මා කළ කිසිම ඉල්ලීමකට රජය ඇහුම්කන් දුන්නේ නැහැ. රටේ වකුගඩු රෝගීන් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒත් බාල පොහොර, බාල කෘෂි රසායන ගෙන්වීම ආණ්‌ඩුව නතර කළේ නැහැ. එයට වගකිව යුත්තේ රාජපක්‌ෂ පරම්පරාවේ ගම්පහ යුවරජ බව මම මෙහිදී කියනව. මම මේ ඡන්දය ගන්න නොවෙයි කතා කරන්නෙ. මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව තව කාලයක්‌ මේ රටේ තිබුණහොත් රටේ ගොවි ජනතාවගේ මළගම උදාවන බව ඒකාන්තයි. ඒත් අපි කොම්පැණි කාරයන්ගේ සාක්‌කුවට වැටෙන්නේ නැහැ. වකුගඩු රෝගය මර්දනය කිරීම සඳහා ගත යුතු හැම ක්‍රියාමාර්ගයක්‌ම අප ගන්නව.

ගොවීන් හිටියත් එකයි, නැතත් එකයි. ආණ්‌ඩුවට සල්ලි තමයි ඕන යන ප්‍රතිපත්තියේ තමයි වත්මන් පාලකයා කටයුතු කරන්නේ. අපි හදන්නේ ගොවි ජනතාවගේ ආණ්‌ඩුවක්‌. කම්කරුවාගේ ආණ්‌ඩුවක්‌. පිරිසිදු ශීලාචාර ආණ්‌ඩුවක්‌ අපි හදනව. මේ ආණ්‌ඩුව ජනතාවට කළ හැකි සියලු අසාධාරණකම් කළ ආණ්‌ඩුවක්‌. සෞඛ්‍ය අමාත්‍යාංශය අවුරුදු 5 ක්‌ තිස්‌සේ පාලනය කළේ මම නෙවෙයි. අරලියගහ මන්දිරයයි. අධ්‍යාපනයත් විනාශ කළා. රාජපක්‌ෂ පවුලේ කුමාරවරු අද සුර සැප විඳිනව. තාරුණ්‍යයට හෙටක්‌ යනු බොරුවක්‌. මේක හරියට බාලගිරි දෝෂය වගේ. මේ තාරුණ්‍යයට හෙටක්‌ මගින් ජනතාවට මොකක්‌ද කළේ? ජනතාවගේ සල්ලිවලින් කෝටි සිය දහස්‌ ගණනක්‌ වියදම් කර ජනාධිපති මන්දිර හදනවා. අලුත්වැඩියා කරනව. අපේ ආණ්‌ඩුවක්‌ යටතේ නිදහස්‌ අධ්‍යාපනය, නිදහස්‌ සෞඛ්‍යය, කාන්තාවන්ගේ ප්‍රශ්න මෙන්ම සියලු ජනතාවගේ ප්‍රශ්න දෙස අප සලකා බලනවා.

ගංවතුර, නායයැම් සහ ස්‌වභාවික විපත් මගින් දහස්‌ ගණනක්‌ ජනතාව විපතට පත්වෙලා තිබෙනවා. ඒ අයට මොනවද ඕනා කියලා ජනතාවගේ සැප දුක්‌ බලන්නේ නැති ආණ්‌ඩුව බජව් දාන්න රුපියල් හත්කෝටියක්‌ දීලා ඉන්දියාවේ සල්මන් ඛාන්ව ගෙනැවිත් තිබෙනව. සල්මන් ඛාන්ට දුන්නු කෝටි 7 න් අර ගංවතුරෙන් අසරණ වෙච්ච ජනතාවට කන්න ටිකක්‌ දුන්න නම් මොකද වෙන්නේ කියලා මම අහනවා. ආණ්‌ඩුව කොතරම් අසරණ වෙලාද කියලා මේ දේවලින් පේනව. මේ අසරණ ජනතාවට ගෙවල් දෙන්නේ, ඉඩම් දෙන්නේ, රැකවරණය දෙන්නේ අපි ලබන 09 වැනිදා බිහි කරන ආණ්‌ඩුවෙන් බව කියනව.

මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව පරාජය කර පුළුල් ජනතා බලවේගයන් එකතුව නව ආණ්‌ඩුවක්‌, නව රටක්‌ හදන්න දැන් සියල්ල සූදානම් වෙලා තිබෙනවා. පුළුල් දේශපාලන බලවේගයක්‌ අප වටා එකතුවෙලා තිබෙනවා. උතුරේ ද්‍රවිඩ ජනතාවටත්, ද්‍රවිඩ ජාතික සන්ධානයටත් අපට සහය දෙන්න කියා මම ඉල්ලනව. අපි කිසිම දේශපාලන පක්‌ෂයක්‌ සමග හොර ගිවිසුම් ගහලා නැහැ. හැබැයි රටේ හැම පක්‌ෂයකින්ම අපට සහය ලැබෙනවා. සමහර පක්‌ෂවලින් කොටස්‌ වෙන් වෙමින් අපට එකතු වෙනවා. මේ රටේ අති බහුතරය රාජපක්‌ෂ පාලනය පරාජය කරන්න සූදානම් වෙලා තිබෙනවා.

අරලියගහ මන්දිරයේ පශ්චාත් මරණ පරීකAෂණයක්‌ පසුගියදා සිදුකරලා තිබෙනවා. ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති ඒ පශ්චාත් මරණ පරීක්‌ෂණය නම් තැපැල් ඡන්දයෙන් මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුවේ මිය යැමයි. සෑම මැතිවරණයකදීම ආණ්‌ඩුවක්‌ පිහිටුවන පක්‌ෂයට තමයි වැඩිපුර තැපැල් ඡන්ද ලැබෙන්නේ. එහෙනම් පළමු සුබදායි පණිවිඩය ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු රාජ්‍ය අංශය අප වෙත ලබාදී තිබෙනවා. තැපැල් ඡන්දයෙන් මෙවර සියයට 80 ක්‌ හංසයට ලැබී තිබෙනවා. ඒ කියන්නේ අපේ ජයග්‍රහණය ලබන 08 වැනිදාට ස්‌ථිරයි. රාජපක්‌ෂ පාලනය මෙරටින් අතුගා දැමීමට රජරට හඬ අද මෙසේ පෙළගැසීම ගැන අතිශය සතුටුයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය - අද මේ රටේ කිසිදාක නොදුටු පොදු සන්ධානයක්‌ මහින්ද රාජපකAෂ පාලනය ගෙදර යෑවීමට ගොඩ නැගී තිබෙනවා. එක කාලයක්‌ භේද බින්න වී ඇන කොටා ගත් ප්‍රධාන දේශපාලන පක්‌ෂ දෙක වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයත්, එක්‌සත් ජාතික පක්‌ෂයත් අද ඉතාමත් මිත්‍රශීලිව, සහෝදරත්වයෙන් එකට එකතුවී පොදු අරමුණක්‌ සඳහා ක්‍රියාකරනවා. ඒ වගේම තමයි අනිකුත් පක්‌ෂ හා බලවේග විශාල සංඛ්‍යාවක්‌ අද මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වටා ඒකරාශී සිටිනවා.

එයින් පෙනී යනවා ලබන ජනවාරි මස 08 වෙනිදා පත්වන රජය මොනතරම් ශක්‌තිමත්ද කියන එක. මෙතෙක්‌ කල් අපි ඇන කොටා ගත්තා. දැන් ඉන්නෙ අත්වැල් බැඳගෙන. ඉදිරි අනාගතයේ මේ රටේ ජනතාවට හා රටට ඉතාම සුබ පෙර නිමිත්තක්‌ මේක. අපේ නව රජයෙන් දින සියයක්‌ තුළ රටට හා ජනතාවට කරන්නෙ මොනවද කියල. අපි ජනතාවට පැහැදිලි කර තිබෙනවා. එය ඒ ආකාරයෙන්ම ඉටු කරනවා.

එජාප නායකත්ව මණ්‌ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා - විපක්‌ෂය කෙරෙහි ජනරැල්ල දිනෙන් දින ඉහළ යනවා. සමීක්‌ෂණවලින් අපගේ ජයග්‍රහණය තහවුරු වෙනවා. මේ ගමන කාටවත් නතර කරන්න බැහැ. ගංවතුර ගලමින්, ජනතාව පීඩාවට පත්ව සිටින කාලයක ජනාධිපතිවරණය ඉලක්‌ක කර ගෙන ඉන්දියාවෙන් රුපියල් ලක්‌ෂ 700 කට ආණ්‌ඩුව නළුවෙක්‌ ගෙන්වා තිබෙනවා. මේක තමයි ආණ්‌ඩුවේ පිරිහීම. අපේ ගමන ගැන විශ්වාසයි. මෛත්‍රිපාල මහතා ජනාධිපති වෙන එක ඉර හඳ වගේ විශ්වාස බව මේ විශාල ජනකාය දුටුවිට පැහැදිලියි.

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය - අද මහින්ද රාජපක්‌ෂ මහත්තයා වටේ ඉන්නෙ කවුද ජාත්‍යන්තර විශ්ලේෂක විමල් වීරවංශ. ඒ මිනිහගෙ කටේ හැම වෙලාවෙම තියෙන්නෙ ජාත්‍යන්තර කුමන්ත්‍රණ හා විජාතික කුමන්ත්‍රණ පමණයි. මට හිතෙන්නෙ විමල් වීරවංශ ඉපදිලා තියෙන්නෙත් විජාතික කුමන්ත්‍රණයකින් කියලයි.

අද ඉන්දියාවේ සුප්‍රකට නළුවෙක්‌ වන සලමන් ඛාන් ලංකාවට ඇවිත් තියෙනවා ජනාධිපතිවරයට සහාය පළ කරන්න. මම විමල් වීරවංශට කියනව මෙන්න මේකත් නිර්වචනය කර දෙන්න කියල. අද අපේ ජනාධිපතිවරණ පොදු අපේක්‌ෂකයාට රැස්‌වීමක්‌වත් තියන්න මේ ආණ්‌ඩුව ඉඩක්‌ දෙන්නෙ නෑ. රැස්‌වීමේ වේදිකාව ගිනි තියනව. රැස්‌වීම්වලට ගල්ගහනව. අපේ මිනිසුන්ට ගල්, සලමන් ඛාන්ට මල්. මෙන්න මේ ක්‍රමය අපි වෙනස්‌ කරන්න ඕන. තවත් කෙනෙක්‌ මේ ආණ්‌ඩුවේ ඉන්නව එයාට හැම වෙලාවෙම කාන්තාවන්ගෙ නිරුවත බලන්න ඕන. මේ වගේ උදවිය තමයි මහින්ද රාජපකAෂ මහත්තයා වටේ ඉන්නෙ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.