ආණ්‌ඩුව ඇතුළේ සියලු වරප්‍රසාද භුක්‌තිවිඳ පසුව පිටව ගිය අය ජනතාවගෙන් ප්‍රතික්‍ෂේප වෙනවා
-අගමැති දි. මු. ජයරත්න

සිරිල් විමලසුරේන්ද්‍ර

ආණ්‌ඩුව ඇතුළේ සිට සියලු වරප්‍රසාද භුක්‌තිවිඳ අවසන් මොහොතේ පිටවී ගොස්‌ ආණ්‌ඩුවට පහර ගසන අකෘතඥ පුද්ගලයින් ජනතාව විසින් ප්‍රතික්‍ෂ්ප කරනු ලබනු ඒකාන්තයෑයි අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා කුණ්‌ඩසාල මැණික්‌හින්නේ දී පැවැති ජනාධිපති මැතිවරණ ප්‍රචාරක රැළියක්‌ අමතමින් ප්‍රකාශ කළේය.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය සඳහා මෙම ජන රැළිය ඉරිදා (28 දා) පැවැත්විණි.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා.

රජයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන අවස්‌ථාවේ තමා මුහුණ දුන් අඩුපාඩු පෙන්වා දී තමාට අවශ්‍ය දෙය ඉල්ලා සිටියේ නම් මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒ සියල්ල ලබා ගැනීමට අවස්‌ථාව තිබුණු බව පැවසූ අග්‍රාමාත්‍යවරයා කුමන්ත්‍රණකාරී කණ්‌ඩායමකට අසුවී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටම විරුද්ධව තරග කරමින් තමාට නොසලකා සිටි බව පැවසීම අකෘතඥ ක්‍රියාවක්‌ යෑයිද කීවේය.

තවදුරටත් කරුණු දැක්‌වූ අග්‍රාමාත්‍යවරයා පවුල්වාදයක්‌ රජයේ පවතින බව පවසමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට චෝදනා කරන පිරිස්‌ ලොව තවත් බොහෝ රටවල පාලකයන් අතර පවුලේ ඥතීන්ගේ සම්බන්ධතාව තිබෙන බව නොදන්නා බව කීවේය.

අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

බණ්‌ඩාරනායක පවුලේ අටදෙනකු දේශපාලනයේ සිටියා. විශේෂයෙන්ම ආසියාවේ බොහෝ රටවල මේ තත්ත්වය පවතිනවා. ඉන්දියාවේ දේශපාලනයේ ඥතීන් බලයේ සිටිනවා. පකිස්‌ථානයේ පවුලේ අය දේශපාලනයේ සිටිනවා මේවා නවත්වන්ට බැහැ. ආසියාවේ මේ තත්ත්වය විශේෂයි.

නමුත් දේශපාලනයේ දක්‍ෂයන් ගැන සිතන්නට ඕනෑ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කීර්තිමත් පවුලේ දක්‍ෂයින් සිටිනවා. මහින්ද රාජපක්‍ෂ ජාතික ආලයක්‌ ඇති දක්‍ෂ රාජ්‍ය පාලකයෙක්‌. මීට පෙර සිටි කිසිදු රාජ්‍ය නායකයකුට කළ නොහැකිවූ සේවයක්‌ මහින්ද රාජපක්‍ෂ මහතා සිදු කළා. තිස්‌ අවුරුදු කොටි ත්‍රස්‌තවාදයට විසඳුමක්‌ ලබාදුන් එකම නායකයා මහින්ද රාජපක්‍ෂ මහතායි.

යුද්ධය අවසන් කැර ජනතාවගේ බිය තුරන් කළ මහින්ද රාජපක්‍ෂ මහතා රට සංවර්ධනය කිරීමට පියවර ගත්තා. මාර්ග සංවර්ධනයෙන් නගර බද ජනතාවට මෙන්ම ගම්බද ජනතාවටද විශාල පහසුකමක්‌ සැලසුනා. මෙවර රාජ්‍ය නායක ලෙස පත්වීමෙන් පසුව සංවර්ධනය තවදුරටත් ක්‍රියාත්මක කරමින් ජනතාවට තව තවත් පහසුකම් සැලසීමට කටයුතු කරනු නොඅනුමානයි.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා අදහස්‌ දක්‌වමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙර විරෝදාර රජ දරුවන් ලෙස කටයුතු කරමින් 30 අවුරුදු රුදුරු ත්‍රස්‌තවාදය පරාජය කර ජනතාවට අභයදානය ලබාදුන්නා.

විධායක ජනාධිපතිවරු සිටියත් ඔවුන් ප්‍රභාකරන්ට බියෙන් සිටියා මිස ඔහු මෙල්ල කිරීමට අපොහොසත්වුණා. මහා වීරයකු ලෙස සලකන ලද වේළුපිල්ලේ ප්‍රභාකරන් බිංකුණ්‌ඩකු ලෙස බංකරයක සැඟවී සිටියදී එම බිංකුණ්‌ඩා විනාශ කර මේ රටේ සිංහල, ද්‍රවිඩ සහ මුස්‌ලිම් ජනතාවට නිදහස භුක්‌ති විඳීමට අවස්‌ථාව සලසා දුන් එකම නායකයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යෑයි පැවසීය.

සෞඛ්‍ය අමාත්‍ය තිස්‌ස අත්තනායක මහතා අදහස්‌ දක්‌වමින් මෛත්‍රිපාල සිරිසේන මහතා කෝටි 250 ක්‌ ඉල්ලා තර්ජනය කළත් සිරගෙට ගියත් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර තිබෙන කල්ලියේ වතගොත හෙළි කිරීමට නම් පසු බටවන්නේ නැතැයි කීවේය.

වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු කීපදෙනෙක්‌ද මෙහිදී කතා කළහ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය සඳහා වත්තේගම නගරයේ පැවැති මහ ජන රැස්‌වීමකට අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා (මැද) සමඟ සෞඛ්‍ය ඇමැති තිස්‌ස අත්තනායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රිනී චිත්‍රා ශ්‍රීමනී මන්තිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ යන මහත්ම මහත්මීහු ඇතුළු විහාල පිරිසක්‌ සහභාගී වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.