පරාජය හමුවේ වියරුවැටී ඇති ආණ්‌ඩුව බොලිවුඩ් නළුවන් ගෙන්වා නාඩගම් නටනවා
-මංගල සමරවීර

අකිත පෙරේරා

ඉදිරි ජනාධිපතිවරණයෙන් පරාජය වන බව දන්නා නිසා මහින්ද රාජපක්‍ෂ, මහතා පරාජයෙන් වියරු වැටී බොලිවුඩ් නළු නිළියන් තම මැතිවරණ ව්‍යාපාරයට යොදා ගනිමින් විවිධ නාඩගම් නටන බව එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පැවසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (30 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටි අතර එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා තමන් ඉදිරියේ තිබෙන නියත පරාජය දැක දැන් විවිධ නාඩගම් නටනවා. අපි දැක්‌කා බොලිවුඩ් නළු නිළියන් දැන් ශ්‍රී ලංකාවට ගෙන්වන්න තරම් ඔහු බංකොලොත් වෙලා. විශේෂයෙන්ම මේ මොහොතේ පවතින ආපදා තත්ත්වයෙන් මරණ 30 ක්‌ සිදුවී, ජනතාව ලක්‍ෂ 11 ක්‌ අවතැන් වී සිටින මොහොතකයි රුපියල් දෙසීයකට ආප්පයක්‌ පුච්චන ජැක්‌ලින් ෆර්ඩිනැන්ඩස්‌ වගේම ඉන්දියාවේ විවිධ චෝදනාවන්ට ලක්‌වුණු සල්මන් ඛාන්ට විශාල මුදලක්‌ ලබාදී ගෙන්වා තිබෙන්නේ.

අපිට ආරංචි හැටියට මේ එක්‌ අයෙකුට ඩොලර් මිලියන දෙකක්‌ ගෙවල. තිබෙනවා. එය මා ඉතා වගකීමෙන් කියන්නේ. ටයිම්ස්‌ ඔෆ් ඉන්දියන් පුවත්පතේ කියලා තිබෙනවා මේ වගේ බොලිවුඩ් නළු නිළියන් මෙරට මැතිවරණයකට දායක කර ගත් ප්‍රථම අවස්‌ථාවයි කියලා. ආණ්‌ඩුවට ඕනෑ තරම් කලාකරුවන් සිටිනවා කියන මොහොතකයි මේ බොලිවුඩ් නළු නිළියන් ගෙන්වන්නේ.

ජැක්‌සන් ඇන්තනී, රවීන්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා, රෝහණ වීරසිංහ ඇතුළු කලාකරුවන් රාශියක්‌ සිටිද්දී ඒ අය හොඳ මදියි කියලා දැන් පිටරටින් නළු නිළියන් ගෙන්වනවා. මේ දේශප්‍රේමි නායකයාගේ වැඩ. ඒත් අපේ කලාකරුවන් කුරුණෑගලදී ප්‍රහාරයකට ලක්‌වුණා. සමනලී ෆොන්සේකා, ලක්‍ෂ්මන් විඡේසේකර වැනි අයට ඉතාමත් පහත් අන්දමින් පහරදීලා තිබෙනවා. ඒ ගැන සල්මන් ඛාන් දන්නවාද දන්නේ නැහැ.

ඒ විතරක්‌ නොවෙයි ජාතික ගීයත් ජනාධිපතිවරයා තමන්නේ මැතිවරණ ව්‍යාපාරයට යොදාගෙන තිබෙනවා. මෙය ඉතා බරපතළ කටයුත්තක්‌, අප ජීවය ඔබ, අප ශක්‌තිය ඔබ, අප ප්‍රාණය ඔබ වශයෙන් ජාතික ගීයේ කොටස්‌ භාවිතා කරගෙන පුවත්පත් දැන්වීම් පළකොට තිබෙනවා. මේ සම්බන්ධව මා බලාපොරොත්තු වෙනවා පුවත්පත් කතුවරුන්ව දැනුවත් කර ලිපියක්‌ යොමු කරන්න. මෙවැනි පුවත්පත් දැන්වීම් පළනොකරන මෙන් මා ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම ආණ්‌ඩුව තවත් විකට නළුවෙක්‌ව යොදාගෙන තිබෙනවා. විකට නළුවට ආර්. ඒ සිරිසේන කියලා ඔහුට වියදම් කරන්නේ ආණ්‌ඩුව, ඔහු ලබන සතියේ ජනාධිපතිවරණයෙන් ඉල්ලා අස්‌වන්නයි සැලසුම් කර තිබෙන්නේ. ඉන් පසුව සිරිසේන ඉල්ලා අස්‌වෙයි කියලා ලොකු ප්‍රචාරයක්‌ දෙන්න ආණ්‌ඩුව සැලසුම් වෙනවා. මේවා ගැන ජනතාව අවධානයෙන් ඉන්නවා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ හිටපු ඇමැති නවීන් දිසානායක මහතා.

මා විපක්‍ෂයට පැමිණි මොහොතේ මා ප්‍රකාශ කළා මට ආණ්‌ඩුවේ තවදුරටත් රැඳී සිටින්න රුපියල් මිලියන 100 ක්‌ දෙන්න අයෙක්‌ ඉදිරිපත් වුණා කියලා. ඒ පිළිබඳව ආණ්‌ඩුවේ මාධ්‍ය ආයතනයක්‌ මා ඒ කී දේ අසත්‍යයි කියලා වෙනත් සංවාදයක්‌ ප්‍රචාරය කරනවා මගේ කටහඬ කියලා. මා කිව යුතුයි ඒ මාගේ කටහඬ නොවෙයි මා ඕනෑම විද්‍යානුකූල පරීක්‍ෂණයකට මුහුණ දෙන්න සූදානම්. සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රචාරයක්‌ කරන්නේ මේ මාධ්‍ය ආයතනය. මා ඒ පිළිබඳ ලිපියකුත් යොමු කරනවා මගේ නීතිඥයින් මාර්ගයෙන්.

මෙහිදී ආණ්‌ඩු පක්‍ෂයේ සිට විපක්‍ෂයට එක්‌වූ වයඹ පළාත් සභා මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතාද අදහස්‌ දැක්‌වූ අතර වයඹ පළාත් සභාවේ විපක්‍ෂ නායක ඡේ. ඩී. අලවතුවල මහතාද මාධ්‍ය හමුවට සහභාගි විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.