මෛත්‍රීපාල, රනිල්, චන්ද්‍රිකා හෝ පාඨලීගේ න්‍යායපත්‍ර නැහැ
ජනාධිපතිවරණයෙන් පසු ක්‍රියාත්මක වන්නේ රට ඉදිරියට ගෙනයන ප්‍රතිසංස්‌කරණයි
-පාඨලී චම්පික රණවක කියයි

පියදාස රණසිංහ සහ ඇන්ටන් ප්‍රනාන්දු

මෙවර ජනාධිපතිවරණයේදී හතරෙන් තුනක බලයක්‌ එක්‌ක 170 ක මන්ත්‍රී පිරිසකගෙන් සමන්විතව පිහිටුවාගන්නා ආණ්‌ඩුවක්‌ තුළ ක්‍රියාත්මක වන්නේ මෛත්‍රිපාල සිරිසේනගේ, චන්ද්‍රිකා කුමාරතුංගගේ, රනිල් වික්‍රමසිංහගේ හෝ පාඨලී චම්පික රණවකගේ න්‍යායපත්‍රයක්‌ නොවන බවත් එය රටේ ඉදිරි ගමනට අත්වැල් සපයන දේශපාලන ආර්ථික ප්‍රතිසංස්‌කරණ ක්‍රියාවලියක්‌ ලෙසට ගොඩ නැගෙන බවත් ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරණ විපක්‌ෂ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් අතුරුගිරිය නගරයේ පැවැති ජනහමුවකදීය.

කොළඹ දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‌ෂ සංවිධායක, එක්‌සත් ජාතික පක්‌ෂ කෘත්‍යාධිකාරි මණ්‌ඩලයේ සභික, කඩුවෙල මහ නගර සභාවේ විපක්‌ෂ නායක ප්‍රියන්ත පත්බේරිය මහතාගේ මූලිකත්වය ඇතිව මෙම ජනරැලිය සංවිධානය කර තිබිණි.

පාඨලී චම්පික රණවක මහතා - ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ 1956 එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ රැල්ල, 1970 සමගි පෙරමුණ ඇති වුණා වගේ 1977 දී ජයවර්ධන ජනාධිපති ගේ රැල්ල වගේ 1994 චන්ද්‍රිකා ගේ රැල්ල වගේ මේ ඇතිවෙලා තියෙන්නේ මෛත්‍රී රැල්ලක්‌, නව යුගයක්‌ කරා යන නව රජයක්‌ කරා යන මැතිවරණයක්‌.

අද මේ රැල්ලේ තරම ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහත්තයට තේරිලා රටේ සිදු කරපු සෑම සමීක්‌ෂණයකින්ම හෙළිවන්නේ පාරෙ කටවුට්‌ නැතුවට පාරෙ පෝස්‌ටර් නැතුවට රාජ්‍ය බලය පාවිච්චි කළේ නැතුවට මෛත්‍රී පාලනයකට රට සූදානම් බවයි.

මේ තීරණාත්මක සතියක්‌. ඒ නිසා දැන් සිදු වන්නේ ජනතාව බිය ගැන්වීමේ උත්සාහයක්‌. සෑම ගුවන් විදුලි රූපවාහිනි සේවයකින්ම අද ජනතාව බිය වැද්දවීම කරගෙන යනවා.

අද ජාතික හෙළ උරුමයේ අපිට කියනව රනිල් එක්‌ක ගිවිසුම් ගහනවා කියල. අපි නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්‌ක ගිවිසුමක්‌ ගහල නැහැ. අපි ඔක්‌කෝම පොදු එකඟතාවකට ඇවිල්ලා තියෙන්නේ.

එදා මහින්ද මහත්තයා මොකද කළේ. මුලින්ම රනිල් මහත්තයා එක්‌ක ගහ ගත්තා ගිවිසුමක්‌. මොකටද ප්‍රභාකරන් පරාජය කරන්නද? නැහැ. ජිනීවාවලට ගිහිල්ල ප්‍රභාකරන් එක්‌ක සාකච්ඡා කරන්න. එදා නිමල් සිරිපාල ද සිල්වා, බැසිල් රාජපක්‍ෂලා, සජින්වාස්‌ ගුණවර්ධනලා ගිහිල්ලා ජිනීවා වලට ප්‍රභාකරන් එක්‌ක සාකච්ඡා කරන්න එල්.ටී.ටී.ඊ. එක්‌ක තිබුණු ගනුදෙනුව ඉතාම පැහැදිලියි.

කොළඹ දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‌ෂ සංවිධායක, කඩුවෙල මහනගර සභාවේ විපක්‍ෂ නායක ප්‍රියන්ත පත්බේරිය මහතාද මෙහිදී කතා කළේය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.