නාරාහේන්පිටෙන් මතු වූ
සැහැල්ලු ගුවන් යානයේ බරපතළ කතාව

පසුගියදා කොළඹ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්‌ථානයේ භාණ්‌ඩ ගබඩාවක තිබී සැහැල්ලු ගුවන් යානයක්‌ සොයා ගැනීමේ සිද්ධිය රටේ ආන්දොaලනාත්මක පුවතක්‌ බවට පත්විය. එය වඩාත් තීව්‍ර වූයේ එම සැහැල්ලු ගුවන් යානය යෝෂිත රාජපක්‍ෂට අයිති එකක්‌ බවට ප්‍රචාරය වීමත් සමඟයි. ඒ අනුව එම සැහැල්ලු ගුවන් යානය පිළිබඳ විවිධ කට කතා පැතිරිණි. නමුත් පසුව දැනගන්නට ලැබුණේ එය ඒෂියන් එවියේෂන් ගුවන් සමාගමේ හිමිකරු වන චන්ද්‍රන්රත්නම් මහතා යෝෂිත රාජපක්‍ෂ මහතාට ත්‍යාග වශයෙන් ලබාදුන් එකක්‌ බවයි.

මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන උසස්‌ පොලිස්‌ නිලධාරියකු සඳහන් කළේ මෙම සැහැල්ලු ගුවන්යානයේ හිමිකරු ඒෂියන් එවියේෂන් ගුවන් සමාගමේ හිමිකරු වන චන්ද්‍රන්රත්නම් මහතා බවයි. පසුගිය 14 වැනි දින චන්ද්‍රන්රත්නම් මහතා පොලිසියට පැමිණ එහි අයිතිය සහ ඊට අදාළ ලියකියවිලි පොලිසියට ප්‍රකාශයක්‌ ඉදිරිපත් කොට ලබාදුන් බවයි. ඒ අනුව මෙම ගුවන් යානයට අදාළව සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ලබාගත් කියකියවිලිද ඔහු විසින් ඉදිරිපත් කර තිබේ. මීට අමතරව මෙම ගුවන් යානය 2006 වසරේ සිට අක්‍රීය තත්ත්වයේ පවතින බවත් එයට අදාළව ලබාගත් සහතිකද ඒ මහතා විසින් පොලිසියට ඉදිරිපත් කළ බව එම පොලිස්‌ නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

එම ගුවන් යානය තිබී සොයාගත් ගබඩාව දැනට පොලිසිය මුද්‍රd තබා ඇති අතර මේ පිළිබඳව ඉදිරියේදී ගන්නා නීතිමය ක්‍රියා මාර්ග පිළිබඳව පොලිසිය උසස්‌ නිලධාරින්ගෙන් උපදෙස්‌ පතා තිබේ. දැනට එම සැහැල්ලු ගුවන් යානය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්‍ෂණවල තත්ත්වය එසේය. නමුත් මෙම ගුවන් යානයේ ඉතිහාස කතාව මීට වඩා බොහෝ වෙනස්‌ය. පහතින් පෙළ ගැසෙන්නේ එම කතාවයි.

මෙම සැහැල්ලු ගුවන් යානය නිපදවනු ලැබුයේ ශ්‍රී ලංකාවේ සිටි ප්‍රකට විද්‍යාඥයකු සහ නව නිපැයුම් කරුවකු වූ රේ. විඡේවර්ධන මහතා විසිනි. ඒ 1990 වර්ෂයේ දීය. මෙම සැහැල්ලු ගුවන්යානය "ලිහිණියා" යන නමින් ඒ මහතා නම්කර තිබේ.

1924 අගෝස්‌තු 20 වැනිදා උපත ලැබූ පිලිප් රේවත විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ සිටි ප්‍රකට විද්‍යාඥයෙකි. රේ. විඡේවර්ධන යනු අරුම පුදුම මිනිසෙකි. ඔහු යම් දෙයක්‌ කරන්න හිතුවොත් ඒක කෙසේ හෝ කරන පුද්ගලයෙකි. ඔහුගේ සාර්ථකත්වයේ රහසද එයම විය.

විදෙස්‌ අධ්‍යාපනය හමාර කර රේ. විඡේවර්ධන ලංකාවට පැමිණියේ 1950 දී පමණය. එවිට හෙතෙම දක්‍ෂ ගුවන් නියමුවෙක්‌ද විය. කුඩා කල සිටම ඔහුගේ සිතේ එක්‌ බලාපොරොත්තුවක්‌ තිබිණි. ඒ කෙදිනක හෝ තමා විසින් නිපදවූ ගුවන් යානයක්‌ පදවාගෙන යැමේ ආශාවයි. ඔහුට එය ඉටු කර ගැනීම සඳහා විශාල කැපකිරීමක්‌ කිරිමට සිදුවිය.

විඡේවර්ධන යනු ගුවන් යානා සම්බන්ධයෙන් ආසියාවේ සිටි විශිෂ්ට දැනුමක්‌ සහිත පුද්ගලයා විය. ඔහුගේ ජීවිත කාලය තුළ සැහැල්ලු ගුවන් යානා දහයකුත්, හෙලිකොප්ටර් යානා තුනකුත් නිර්මාණය කර තිබේ. එහිදී වඩා වැදගත් වනුයේ මෙම සියලු සැහැල්ලු ගුවන් යානා සහ හෙලිකොප්ටර් නිපදවා තිබෙන්නේ ඔහුගේ නිවසේ දී ඔහුගේ අතින්මයි.

4R - RAශ නමැති මෙම ගුවන් යානය විඡේවර්ධන මහතා විසින් නිපදවා ඇත්තේ 80 දශකයේදී පමණය. එවකට පැවැති යුදමය තත්ත්වය මෙම යානය නිර්මාණය කරගෙන යැමේදී විශාල බාධාවක්‌ද වී තිබිණි. නමුත් බාධක සියල්ල ජයගෙන රේ. විඡේවර්ධන මහතා එම සැහැල්ලු ගුවන් යානය නිපදවා තිබිණි.

මෙම සැහැල්ලු ගුවන්යානා විඡේවර්ධන මහතා දිවයින පුරා පියාසර කර තිබූ අතර එහිදී සිදුවූ රසබර සිද්ධීන් රැසක්‌ද තිබේ. එක්‌ අවස්‌ථාවක රත්මලාන ගුවන් තොටුපලින් පියාසර කිරීම ඇරඹූ සැහැල්ලු ගුවන් යානය දිවයිනේ වෙනත් ගුවන් තොටුපළකට ගොඩ බස්‌සවා නොමැති බවට වාර්තා විය. වහාම ක්‍රියාත්මකවූ සිවිල් ගුවන් සේවා අධිකාරිය ඒ පිළිබඳව පරීක්‍ෂණ සිදු කළේය. එහිදී දැන ගන්නට ලැබුණේ එය විහාර මහා දේවි උද්‍යානයට ගොඩබස්‌සවා ඇති බවය. පසුව ඒ පිළිබඳව විමසීමේදී විඡේවර්ධන මහතා සඳහන් කර ඇත්තේ ගුවන් නියමුවාට වැසිකිළි යැමට අවශ්‍ය වූ බැවින් සැහැල්ලු ගුවන්යානය විහාර මහා දේවි උද්‍යානයට ගොඩ බැස්‌වූ බවයි.

එම කතාවේ ලොකු අරුතක්‌ තිබිණි. එනම් ඕනෑම ස්‌ථානයකින් ගුවන්ගත වීමටත්, ගොඩබැස්‌සවීමටත් හැකි සැහැල්ලු ගුවන් යානා නිපදවිය හැකි බවයි. ඔහුට වුවමනා වූයේ එම කාරණය අදාළ බලධාරීන්ට පෙන්වීමටයි. නමුත් එය සාර්ථක වූයේ නැත.

මෙම සැහැල්ලු ගුවන්යානය විඡේවර්ධන මහතා විසින් අවසන්වරට ගුවන් ගතකර තිබුණේ 2000.07.09 වැනිදාය. ඉන්පසු එවකට පැවැති ආරක්‍ෂක තත්ත්වය මත තවදුරටත් එය ගුවන්ගත කිරීමට රජය විසින් අවසර ලබාදුන්නේ නැත.

මීට අමතරව රෝද දෙකේ අත් ට්‍රැක්‌ටරය ලෝකයට හඳුන්වා දුන්නේද රේ. විඡේවර්ධන මහතා විසිනි. කුමන හෝ හේතුවක්‌ මත ශ්‍රී ලංකාව තුළ ඔහුගේ සොයාගැනීම්වලට අවස්‌ථාවක්‌ ලබානොදුන් නිසා එංගලන්තයට ගොස්‌ ලෑන්ඩ්මාස්‌ටර් නම් අත් ට්‍රැක්‌ටරය නිෂ්පාදනය කළේය. පසුව එය ලෝකය පුරා ජනප්‍රිය විය. අවසානයේ දී අපට සිදුවුනේ විදේශයකින් මුදල් දී එම අත්ට්‍රැක්‌ටරය ලබා ගැනීමටය.

කාලයක්‌ පියාසර නොකර තිබූ මෙම ගුවන් යානය පසුව චන්ද්‍රන් රත්නම් මහතාට ලබාදී තිබේ. එය ලබාදී තිබුණේ රත්මලානේ ගුවන්යානා පිළිබඳ පාසලේ ප්‍රයෝජනයට ගන්නයි. එය චන්ද්‍රන්රත්නම් මහතාට ලබාදී ඇත්තේ නොමිලේය. විඡේවර්ධන මහතාගේ බලාපොරොත්තුව වී තිබුණේ චන්ද්‍රන්රත්නම් මහතා මෙම ගුවන්යානය හොඳින් බලාගනීවි කියාය. නමුත් එය එසේ සිදුවී නොමැත. අවසානයේදී කුමන හෝ හේතුවක්‌ මත මෙම සැහැල්ලු ගුවන්යානය චන්ද්‍රන්රත්නම් මහතා යෝෂිත රාජපක්‍ෂ මහතාට ලබාදී තිබේ. නමුත් මෙම ගුවන්යානය ලබාදීම පිළිබඳව රේ. විඡේවර්ධන පදනමටද චන්ද්‍රන්රත්නම් මහතා දැනුම් දී නොමැත.

ශ්‍රීලාංකික ජාතිකයකුගේ විශිෂ්ට නිර්මාණයක්‌ වූ මෙම සැහැල්ලු ගුවන්යානයට අවසානයේ සිදුවූයේ සිදුනොවිය යුතු දෙයකි.

ගයාන් සමරසිංහ




 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.